කාන්තාවෝ වැඩක් පටන් ගත්තම අතහරින්නේ නැහැ
ප්‍රථම වරට සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ අවසන් දිනය අද යි.
දින අටක් පුරා පැවැත්වුණු මෙම සිනමා දැක්මේ දී දෙස්, විදෙස් නිර්මාණකාරිනියන්ගේ සිනමා කෘති රැසක් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි වුණා.
මේ කටයුත්ත සංවිධාන කිරීමෙහි ලා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ තැනැත්තියක ලෙසින් සිනමාවේදිනි අනෝමා රාජකරුණා, උළෙල පිළිබඳ මිරර් ආට්ස් වෙත මෙසේ සිය අදහස් ප්‍රකාශ කළා,
“පසුගිය දින අට ඇතුලත අපිට ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා අධ්යක්ෂවරියන්ගේ නිර්මාණ ගණනාවක් සහ ලංකාවේ මේ වෙනකොට සිනමාකරණයේ යෙදෙන කාන්තාවන්ගේ නිර්මාණ රාශියක් සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලැබුණා වාර්තා, වෘතාන්ත සහ කෙටි චිත්‍රපට වශෙයන්. සිනමා නිර්මාණ නැරඹීමට බොහෝ දෙනා පැමිණියා ඒ සමඟම සංවාදවලට සහභාගී වුණා. අපි පැවැත්වුව රාත්‍රී 9 දර්ශන වාරය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. රාත්‍රී 9 කියන්නේ මේ වෙනකොට ලංකාවේ එතරම් ජනප්‍රිය දර්ශන වාරයක් නෙවෙයි. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත් රෑ 11 ත් පහුවෙනකම් සංවාදයේ යෙදුණු ප්‍රේක්ෂකයන්ට මගේ ගෞරවය හිමිවෙනවා. එකම වේදිකාවක කාන්තාවන් මෙතරම් විශාල ප්රමාණයකගේ නිර්මාණ ඉදිරිපත් වූ මුල්ම අවස්ථාව මෙයයි. කාන්තාවන්ගේ සිනමාව කාන්තාවන්ගේ ඇසින් නරඹන්න අවස්ථාවක් මෙමගින් උදා වුණා.
අවසන් දවස වන අද විශේෂාංග දෙකක් සිදු කිරීමට නියමිත යි. සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා මෙහෙය ඇගයීම පිණිස යාවජීව සම්මානය පුද කිරීමෙන් අපගේ ගෞරවය ඇයට පිරිනමනවා. එසේම මෙරට ඊළඟ පරම්පරාවේ කෙටි චිත්රපටකාරිනියන්ට අතහිත දෙන්න බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව උළලේ සමප්තියේ දී විශේෂ නිවේදනයක් සිදු කිරීමට නියමිත යි.
උළෙලට කෙටි චිත්රපටකාරිනියන්ගේ ඉඳලා ලංකාවේ ප්‍රධාන පෙලේ රංගන ශිල්පිනියන්, නිෂ්පදකවරියන් ඇතුළු සියලු දෙනාගේ දායකත්වය හිමිවුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු නම් කිහිපයක් තියෙනවා. කෞශල්‍යා ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න,රේණුකා බාලසුරිය, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, ගයත්‍රී කේමදාස ඇතුළු පිරිසක් මූලිකත්වය ගත්තා මේ සඳහා. අපි ඉතාම ස්තුති පුර්වක වෙනවා සියලු දෙනාටම මේ උළෙල සාර්ථකව කරගෙන යන්න පුළුවන් වීම සම්බන්ධයෙන්.
උළෙලක් ආරම්භ කරන්නේම ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින්. කාන්තාවෝ වැඩක් පටන් ගත්තම අත්හරින්නේ නැහැනේ. සියලු දෙනාම එකතු වෙලා මේ වැඩේ ඉදිරියට ගෙන යන එක තමයි අපේ බලාපොරොත්තුව.”