ලෝක කාන්තා දිනයේ ප්‍රදර්ශනය අරඹන “කැප්ටන් මාවල්” සහ “බද්ලා”
හෙටට (08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන සිනමාපට දෙකක් ගැනයි මේ ලිපියෙන් අපි අවධානය යොමු කරන්න සුදානම් වන්නේ.
ඉන් එකක් හොලිවුඩ් සිනමාපටයක් වන අතර අනෙක බොලිවුඩ් සිනමාපටය කි. පළමුව අප කතා කරන්නට සුදානම් වන්නේ හොලිවුඩ් සිනමා කෘතිය ගැන යි.
කැප්ටන් මාවල්
කැප්ටන් මාවල් කියන්නේ මාවල් සිනමා ලෝකයට එක් වන අලුත්ම සුපිරි වීර සිනමාපටය යි. මාවල් චිත්‍රකතා චරිතයක් වන කැරොල් ඩැන්වර්ස් කැප්ටන් මාවල් ලෙස හැඳින්වෙන අතර මාවල් චිත්‍රකතා ආශ්රයෙන් සුපිරි වීරවරියකගේ චිත්‍රපටයක් ගෙන ආ පළමු අවස්ථාව ද මෙය වේ. කැප්ටන් මාවල් චරිතයට ඔස්කාර් සම්මානලාභිනි බ්රි ලාසන් පණ පොවන්නි ය. පිටසක්වල ජීවි කණ්ඩායම් දෙකක් අතර ඇතිවන චක්‍රාවාට යුද්ධමය අවස්ථාවක් අළලා නිර්මාණය වී ඇති මෙම සිනමාපටය ඇනා බෝඩන් සහ රයන් ෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණය කි.
බද්ලා
සුජෝයි ඝෝෂ්ගේ අධ්‍යක්ෂණයක් වන “බද්ලා” 2017 නිෂ්පාදිත Contratiempo නම් ස්පාඥ සිනමාපටයේ අනුවර්තනය කි. තාප්සේ පානු සහ අමිතාබ් බච්චන් එහි ප්‍රධාන චරිතවලට පණ පොවති. විවාහක තරුණ ව්‍යාපාරික කාන්තාවක් වන “නේනා”ට සිහිය එන විට ඇය සිටින්නේ අගුළු දැමූ හෝටල් කාමරයකයි. සිය මියගිය පෙම්වතාගේ සිරුර සමඟ ඇය එහිදී පොලිස් අත්අඩංගුවට පත් වෙයි. එහිදී සිදුවුයේ කුමක් දැයි නොදන්නා ඇය මෙම ගැටලුව විසඳීමට නම ගිය නීතිවේදීයකුගේ සහාය පතයි. මේ සිදුවීම් පෙළ අළලා නිර්මාණය වී ඇති “බද්ලා” ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමනු ඇති බවට විචාරකයෝ මත පළ කර තිබේ.