'ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය' බයිබලයේ සඳහන් වන අතර අද වන විට අප ජීවත්වන්නේ එකී ශ්‍රේෂ්ඨතම දහම අභියෝගයකට ලක් වන මොහොතකට ය.
'මේ මිහිමඬලේ' නමින් ගීතයක් ලිව්වේ ධර්මසිරි ගමගේ සූරීන් ය. ඔහු එහි මෙසේ ලියයි. ඇරියුම් කරයි.
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට අප හා එනු මැන
පාද යාත්‍රාවේ
යුද බිම මල් අතුරන්නටත් , ලොවම මලින් සරසන්නටත් යෝජනා කරන රචකයා 'මිනිස් සුගන්දේ - සිත් ආනන්දේ' නම් නවමු හැඟීමක් අප ඉදිරියේ තබයි. මිනිස් සුගන්දේ යනුවෙන් පවසන විට අපට සිහිනැගෙන්නේ 'මිනිසා සුවඳයි මල සේ' ගී පද වැල ය.
මිත්‍රවරුනි ;
මිනිසා මලක් සේ සුවඳ නම් ; යුද බිම අතුරන්නටත් ; ලොවම සරසන්නටත් අලුතෙන් මල් සොයා වෙහෙසෙනු කිමද ? මිනිස් සුගන්දේ හරහා සිත් ආනන්දය සොයා නොයන්නේ කිමද ?
නිරන්තරව ජන ගී රටා සහ විරිත් ඇසුරෙන් ගී ලියන වසන්ත කුමාර කොබවක සූරීන් 'ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු' නමින් ගීයක් ලීවේය. ඔහු වඩාත් සරලව ; තේරුම් ගත හැකි බසින් මෙසේ විමසා සිටියේය.
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
දහමේ ගුණ පත් ඉරු තුළ නිදන බව ජීවමානව සනාථ වන මොහොතක වඳවී යන මලක් හා සමාන මිනිසුන් සොයා ගැනීම දුෂ්කර වී ඇත.
මිත්‍රවරුනි ;
මිනිස් සුගන්දේ - සිත් ආනන්දේ ඇත්තේ අප තුළමය.
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට අප හා එනු මැන
පාද යාත්‍රාවේ
- සහන් කසීර වික්‍රමසිංහ -