ජාතික සමගිය වෙනුවෙන් සියලු අන්තවාදයන් පරදමු! කලාකරුවෝ කියති
පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ මුස්ලිම් අන්තවාදී මිලේච්ඡ ප්‍රහාරමාලාව සම්බන්ධව ඊයේ (05) කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන්ගේ අදහස් පළකර සිටියේය.
මෙම මාධ්‍ය හමුව කොළඹ බත්තරමුල්ල පිහිටි අවකාශය මධ්‍යස්තානයේ දී පැවැත්වූ අතර එයට ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ, සාහිත්‍යවේදී ඇන්තනී ජීවා, සාහිත්‍යවේදී කමල් පෙරේරා, සංගීතවේදී නදීක ගුරුගේ, ගීත රචක හා ප්‍රවීණ නිවේදක නිලාර් එම්. කාසිම්, ජ්‍යෙෂ්ඨ චිත්රශිල්පී අනුර ශ්‍රීනාත් , නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා යන මහත්ම මහත්මීන් එක්ව සිටිය හ.
එහිදී කලාකරුවන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් පහත දැක්වේ…
රට තුළ මතුවී ඇති ව්‍යාකූලත්ව නැති කිරීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි – සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා
අප සියළු දෙනා අද මේ ලෙස එකතු වෙන්නේ අපේ රට කිසියම් ව්‍යාකූලත්වයකට පත්වී තිබෙන මොහොතක. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සියලුදෙනා සහ තුවාල ලැබූ සියලු දෙනා පිළිබඳවත් අපි දැඩි කනස්සල්ලෙන් පසුවෙනවා. ඇතිවූ මේ ඛේදවාචකය පිළිබඳව අප සියළු දෙනා දැඩි කම්පනයට පත්වී සිටිනවා. රටතුළ ඇතිවී ඇති මේ ව්‍යාකූලත්වයත් සැකය, අවිශ්වාසය සහ බිය තුරන් කිරීම සඳහා රජය වහාම මැදිහත් විය යුතුයි. ඒ වගේම රටක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් එක් සමාජයක් ලෙස මේ තත්වයට මුහුණ දිය යුතුයි. කිසිවෙකු කිසිඳු අන්තවාදයකට ගොදුරු වෙන්න එපා. මේ සිදුවීම මුස්ලිම් ආගමික අන්තවාදී සුළු පිරිසකගේ මිලේච්ඡ ප්‍රහාරයක්. මේ පිටුපස කිසියම් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව පේනවා. මේ මොහොතේ අපි ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සමස්ථ මුස්ලිම් සමාජයම මේකට වගකිව යුතු නැහැ. සියලු අන්තවාදයන් පරාජය කිරීම වෙනුවෙන්, ජාතික සමඟය ගොඩනැගීම වෙනුවෙන් සියළු දෙනා එක්වෙමු.
ගීත රචක හා ප්‍රවීණ නිවේදක නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින්…
සිංහල ජන සමාජයත් එක්ක ඉතා සමීපව දශක ගණනාවක් ජීවත් වෙන ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් සහ ගේය පද රචකයෙක් විදිහට මුස්ලිම් ජන සමාජයේ ආගමික අන්තවාදී උමතු පිරිසක් විසින් කළ මේ ප්‍රහාරය මම හෙලා දකිනවා. මුස්ලිම් ආගමික භක්තිමතෙක් හැටියට මා අතිශයින්ම ලැජ්ජාවට පත්වී සිටිනවා. මේ සිදුවීම හරහා අප හිතන්න ඕනෑ පැති ගණනාවක් තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජය පැත්තෙන් කිසියම් සමාජීය ප්රතිසංස්කරණයකට ලක්විය යුතු බව කලාකරුවෙක් ලෙස මා පිළිගන්නවා. ඕනෑම සමාජයක මෙන්ම මුස්ලිම් සමාජය තුළ ද අතිශය පසුගාමී ප්රවණතාවයන් රාශියක් තිබෙනවා. ඒවාට එරෙහිව මුස්ලිම් සමාජය තුළ දීර්ග කාලීන සංවාදයක් තිබුණා මේ සිදුවීමත් එක්කම ඒ සියළු දේ එකතුවී බුර්කාව සහ නිකාබ් එක බැහැර කරන්නට මුස්ලිම් සමාජය මුස්ලිම් විද්වතුන් ඉදිරිපත් වුණා. ඒ වගේ නව ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු බොහෝ දේ තිබෙනවා. මේ සියළු පසුගාමීත්වයන් පිළිබඳ මුස්ලිම් ජන සමාජයත් සංගායනාවක් සිදුවිය යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී සති දෙකක් පසුවී ගියත් තවම මුස්ලිම් ජන සමාජයත් ඉන්නේ විශාල තැති ගැන්මකින්. සමාජයට මුහුණ දෙන්නට බැරි තත්වක බොහෝ දෙනා තවම ඉන්නෙ. එක් පැත්තකින් එනම් පස්චාත්තාපයකින් පෙලෙන අතර තවත් පැත්තකින් මුස්ලිම් ජන සමාජයම කිසියම් දැඩි පීඩනයකට ලක්වී තිබෙනවා.සමස්ත මුස්ලිම් සමාජයම චූදිතයන් ලෙස සලකන තත්වයක් උදාවෙලා තිබෙවා. ලක්ෂ 20 – 22 ක් වෙන මුස්ලිම් ජනසමාජයේ 150 – 200ක පිරිසක් කරපු මේ මිලේච්ඡ ක්‍රියාව නිසා සමස්ත මුස්ලිම් සමාජයම චූදිතයන් කළ යුතු නෑ. මේ උමතු අන්තවාදීන් පිළිබඳව මුස්ලිම් ජනසමාජයේ තිබුණේ බරපතල විවේචනයක්.
ඒ විවේචනය තිබුණේ මේ සිදුවීමට දශකයකට විතර පෙර ඉදලා. ඔවුන්ව ක්රියාකාරීත්වයන් ආරම්භ වූ කාලයේ ඉදලා මුස්ලිම් සමාජය ඔවුන්ගේ ක්රියාකාරීත්වයන් පිළිකුල් කලා. මේ සිද්ධියේ දී මුස්ලිම් සැකකරුවන් අත්අඩංගුවට ගන්න, පුපුරණ ද්‍රව්‍ය හදුනාගන්න විශාල වශයෙන් උදව් කළා. රටක් විදිහට අපව නැවත එකට නැගී සිටින්න අවශ්‍යයි. එතැන අර අන්තවාදයට එරෙහි බහුතර මුස්ලිම් ජනතාව සමඟ එකට අත්වැල් බැද සිටීම අපගේ වගකීමක්. එතකොට අපව අන්තවාදය, ජාතිවාදය හා මේ උමතුව පරාජය කර රටක් හැටියට නැගී සිටින්න හැකි වේවි. ඒ වගේම අපේ රටේ ජනමාධ්‍යත්, සමාජ මාධ්‍ය ජාලයත් මීට වඩා වගකීම් සහගතව වැඩ කළ යුතුයි කියල මා ඉල්ලනවා. අපි තව ටික කලකින් මියැදිලා යාවි. එත් අපි අපේ දරුවන්ට ශ්‍රී ලාංකිකයන් හැටියට සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතිරි කළ යුතුයි.