යාපනය අන්තර්ජාතික සිනමා උළෙල: හම ගියේ කාගේ ද? නම ගියේ කාගේ ද?
කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ පැවැත්වෙන සිනමා උළෙලවල් බොහෝමය කි. නමුත් කොළඹින් පිටට සිනමාව ගෙන යාම කියන කාරණාව සැබවින්ම අභියෝගාත්මක එකකි. එලෙස අභියෝග මැදින් ගලා ආ මෙරට ප්රමුඛ පෙලේ සිනමා උළෙලක් වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල පස් වසරක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ඒමම ජයග්‍රහණයකි.
ඇජෙන්ඩා 14 ප්රමුඛව සිලෝන් තියෙටර්ස් සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව සංවිධාන කරන මෙම සිනමා උළෙලේ විශේෂ වැඩ කොටසක් සිදු කරන්නේ එහි අභිරක්ෂිකා අනෝමා රාජකරුණා ය. නිර්මාණකරුවන් සම්බන්ධ කරගැනීම, විවිධ රටවලින් චිත්‍රපට ගෙන්වා ගැනීම, ඒවා ප්‍රදර්ශනයට අනුමැතිය ලබා ගැනීම ඇතුළු එකී මෙකී නොකී සියලු කටයුතු අඩුපාඩුවකින් තොරව මෙහෙයවීම සඳහා මුලිකත්වය ගෙන ඇය කටයුතු කරන්නී ය.
එ නමුදු, උතුර දකුණ යා කරමින් මෙරට සිනමාවේ ඉදිරි ගමන් මං තහවුරු කරමින් වාර්ෂිකව පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මේ තාක් රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නොතිබීම කණගාටුවට කාරණයකි. යොවුන් නිර්මාණකරුවන් අගයා ඔවුන්ට සිනමාවේ ඉදිරි ගමනක් යාමට අත්වැල සපයන, ජාත්‍යන්තර සිනමාව හා දේශීය සිනමාව අතර පාලමක් ගොඩනගන යාපන අර්ධද්වීපයේ සිනමා වසන්තය ඇත්තේ බලධාරීන්ගේ ඇසට හසුනොවන මානයේ ය.
කොළඹට කිරි ගමට කැකිරි
කොළඹ ආශ්‍රිතව පැවැත්වෙන සිනමා උළෙලවලට අනුග්‍රහය දැක්වීමේ දී නොපැකිලෙන ජාතික චිත්‍රපට සංස්ථාව ද යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි ය. පස් වසරක් ගත වී ඇතත් සංස්ථාව මේ සම්බන්ධයෙන් දක්වන්නේ ඇල් මැරුණු පිළිවෙතකි.
නිවැරදි තොරතුරු ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමේ වගකීම මගහරිමින් ජාතික රූපවාහිනිය ද යාපනය සිනමා උළෙල ගැන හිතින් මවාගත් ප්‍රවෘත්තියක් විකාශය කර තිබුණේ පසුගිය 15 වැනිදා යි. එදින රාත්‍රී 8 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් කියවුනේ, යාපනය සිනමා උළෙලක් තිබෙනවා දැයි හාන්කවිස්සියක් නොදන්නා චිත්‍රපට සංස්ථාව විසින් එම උළෙල සංවිධාන කරන බවකි. වසර ගණනකට පසුව යාපනය සිනමා උළෙලේ වැදගත්කම මතක් වූ රූපවාහිනිය මෙවර සම්මාන දිනූ ජයග්‍රාහකයන්ව ද ප්‍රවෘත්තියෙන් හලා තිබුණි.
කෙසේ වෙතත් අවසානයේ කීමට ඇත්තේ, අනුග්‍රහය ලබාදීමට නොහැකි නම් අඩුම තරමින් අනෝමා ඇතුළු පිරිසගේ මහන්සිය අවතක්සේරුවට ලක් නොකර ඊට නිසි අගයක් හෝ ලබා දීමට කටයුතු කරන්නේ නම් අගනා බව ය.