ප්‍රසන්න විතානගෙ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වූ 'ගාඩි' (Children of the Sun) හී ජගත් මංගල සිනමා දැක්ම (World Premiere) අද දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Busan International Film Festival) පැවත්වේ. 'අ වින්ඩෝ ඔන් ඒෂියන් සිනමා' (A Window on Asian Cinema) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ බූසාන් සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද 'ගාඩි' සිනමාපටය, අවස්ථාවන් තුනකදී උළෙල තුල ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, ඒ අනුව අද සවස 4.30 ටත්, එළඹෙන 10 වෙනිදා රාත්‍රී 7.00 ටත් සහ එළඹෙන 11 වෙනිදා සවස2.00 ටත් මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
වත්මන් ආසීයාවේ විශාලතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසින් ශ්‍රේණිගත කීරීම්වලට ඇතුලත්ව ඇති බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ සමාරම්භය 1996 වර්ෂයේදී සනිටුහන්වූ අතර, එහි 24 වෙනි අදියර මේ වසරේදී ක්‍රියාත්මක වේ. එකී ඉතිහාසය තුල උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් ප්‍රසන්න විතානගෙ අධ්‍යක්ෂණය කල 'අනන්ත රාත්‍රිය' සිනමාපටය 1996 වර්ෂයේ පැවැති 01 වෙනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී තිරගත වූ අතර, ඊට අමතර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'පුරහඳ කළුවර' චිත්‍රපටය 02 වෙනිශ්රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් 1998 වර්ෂයේදීත්, 'ඉර මැදියම' සිනමාපටය 06 වෙනිශ්රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් 2003 වර්ෂයේදීත් සහ 'ආකාස කුසුම්' සිනමාපටය 08 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් 2008 වර්ෂයේදීත් බූසාන් සිනමා උළෙලේදී තිරගත විය. ඒ අනුව 'ගාඩි'සිනමාපටය මෙවර බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල නීයෝජනය කරන්නේ එකී උළෙල නියෝජනය කරන 20 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසිනි. පෙරකී ලෙසින් ගෙවීගිය වසර 23 පුරාවට ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 19ක් උළෙල නියෝජනය කිරීමට සමත්ව ඇති අතර, එයින් සිනමාපට 06ක් (අනන්ත රාත්‍රිය, පාදඩයා, නිකිණි වැස්ස, දැවෙන විහඟුන්,නොමියන මතකය,අසන්ධිමිත්තා) උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය නියෝජනය කිරීමට හෝ තරඟකාරී සම්මානයක් වෙනුවෙන් තරඟ වැදීමට සුදුසුකම් ලබා ඇත. එහෙත් මේ දක්වා බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල තුල සම්මානයට පාත්රව ඇති එකම ශ්‍රී ලාංකේය සිනමාපටය වන්නේ ප්‍රසන්න විතානගෙගේ 'අනන්ත රාත්‍රිය' සිනමාපටය පමණකි.
දිනාරා පුංචිහේවා, සජිත අනුත්තර, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, දමයන්ති ෆොන්සේකා, ශායාම් ප්‍රනාන්දු යන රංගන ශිල්ප ශිල්පීනියන්ගේ රංගනයෙන් හැඩවී ඇති 'ගාඩි' සිනමාපටය, ප්‍රසන්න විතානගෙගේ තනිව අධ්‍යක්ෂණය කළ 08 වෙනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය වේ. ශ්‍රී ලංකා සහ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙසින් එළිදකින 'ගාඩි' සිනමාපටයේ නිෂ්පාදන හිමිකාරිත්වය ශ්‍රී ලංකාවේ ප්‍රසන්න විතානගෙ ප්රඩක්ෂන්ස් , එච්.ඩී ප්‍රේමසිරි සහ ඉන්දියාවේ ජාර් පිච්චර්ස් සතුවේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi