ලංකාවෙන් එක් චිත්‍රපටයක් හෝ අරගන්න, සංජිව Netflix ආයතනයෙන් ඉල්ලයි
දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ සිනමාවේදී සංජිව පුෂ්පකුමාරට ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර හොලිවුඩ් නේවාසික සිනමා වැඩමුළුවකට සහභාගී වීම සඳහා ශිෂ්‍යත්වයක් පසුගියදා හිමිවී තිබුණා.
ග්ලෝබල් මිඩියා මේකර්ස් ආයතනය විසින් වාර්ෂිකව සංවිධාන කරන එම වැඩමුළුව මේ දිනවල පැවැත්වෙන අතර සිනමාකරණයේ නියැලෙන්නන්ට එය සැබවින්ම සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළ යුතු ය.
සංජිව පුෂ්පකුමාර ඇතුළු වැඩමුළුව සඳහා තෝරාගත් පිරිසට ලොස්ඇන්ජලීස් නුවර නෙට්ෆ්ලික්ස් ආයතනය වෙත යාමට එහිදී අවස්ථාව හිමිවී තිබුණි. ඒ අත්දැකීම සම්බන්ධයෙන් සංජිව සිය මුහුණුපොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණි.
“අද සවස ලොස් ඇන්ජලීස් නුවර NETFLIX ආයතනයට ගිය field trip එකේදී NETFLIX නිළධාරීන් සමග විශේෂ සාකච්ජාවක් සංවිධානය කර තිබුණා. එහිදී මගේ එකම සහ ප්‍රධානම ඉල්ලීම වුණේ අවම වශයෙන් වසරකට එක චිත්‍රපටිය බැගින් හෝ ලංකාවෙන් මිලදී ගන්නා ලෙසයි. NETFLIX නිළධාරීන් එය යහපත් යෝජනාවක් ලෙස පිළි ගැනීම සතුටක්. විශේෂ ස්තුතිය Global Media Makers සහ FiLM iNDEPENDENT.”