ප්‍රවීන රංගන ශිල්පිනි චන්ද්‍රා කළුආරච්චිගේ අවසන් කටයුතු නොවැම්බර් 3 වැනිදා
ප්‍රවීන රංගන ශිල්පිනි චන්ද්‍රා කළුආරච්චිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 3 වැනිදා සවස 5 ට දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව ඇයගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබේ.
අසනීප තත්වයේ පසුවූ මේ සම්මානලාභී රංගනවේදිනිය අද (1) පස්වරුවේ දිවියෙන් සමුගත් අතර ඇගේ දේහය නොවැම්බර් 2 වැනිදා පෙරවරු 10 සිට නොවැම්බර් 3 වැනිදා පස්වරු 4 දක්වා ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ, කලාපුර 140/31 දරන තැන පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
ගුවන් විදුලියේ ළමා පිටියට පිවිස හඬ නළුවෙන් නිළි භූමිකාව ඇරඹි චන්ද්‍රා කළුආරච්චි වේදිකාවට පිවිසුනේ සෝමපාල ගුණධීරයන්ගේ 'රත්තරන් පුතා' වේදිකා නාට්‍යයෙනි.
1964 නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය පිටපත හා හොදම නළුවා සම්මානද දිනාගත් ප්‍රේමරංජිත් තිලකරත්නගේ 'වහලක් නැති ගෙයක්' හැඩ කළ හොඳම නිළිය ලෙසයි චන්ද්‍රා පළමු වරට රාජ්‍ය සම්මානයට පාත්‍ර වුයේ. ඉන් අනතුරුව ආර් ආර් සමරකෝන් හා දයානන්ද ගුණවර්ධන රංගවේදීන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා ඇය රාජ්‍ය සම්මාන දිනා ගත්තා ය.
ජී ඩී එල් පෙරේරා 1968 දී අධ්‍යක්ෂණය කළ 'දහසක් සිතුවිලි' චිත්‍රපටයෙන් රිදී තිරයට එක්වූ චන්ද්‍රා කළුආරච්චි සිනමා රංගනය සඳහා ද කීප වරක් සරසවි සම්මාන දිනා ගත්තා ය. එසේම මොකද වුණේ, රොමියෝ ජුලියට්, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි, මාතර ආච්චි, හත්දින්නත්තරු, සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, ආරාධනා, පවුරු වළලු, සෙයිලම ඇතුළු චිත්‍රපට 40 කට ආසන්න ගණනක විවිධ චරිත ඇය නිරූපණය කළා ය.
ප්‍රකට ප්‍රාසංගික ටෙලි නාට්‍යයක් වූ දිමුතු මුතු තුළින් ඇරඹු ඇගේ ටෙලි නාට්‍ය දිවියේ මවකගේ චරිත නිරුපණය කළ බුමුතුරුණු ,චාතුර්යා , විළම්බීත වැනි නිර්මාණ කැපී පෙනුනි.
මෙරට රංගන ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබූ චන්ද්‍රා කළුආරච්චි රංගනවේදිනියට නිවන් සුව පතමු!