“ජැක් ද රිපර්” දාම ඝාතකයාට ගොදුරු වූ කතුන් ගැන කියවෙන පොතකට සම්මාන
1800 ගණන්වලදී ලන්ඩනය බියට පත් කළ “Jack the Ripper” නම් හඳුනා නොගත් දාම ඝාතකයාට ගොදුරු වූ ගැහැණුන් ගැන “නොකියූ” කතා හෙළිකරන ග්රන්ථයක් සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලබා තිබේ.
හේලි රූබන්හෝල්ඩ් ලියූ The Five: The Untold Lives of the Women Killed by Jack the Ripper කෘතිය “2019 බේලි ගිෆර්ඩ්” සම්මානයෙන් පිදුම් ලැබුවේ ඊයේ (19) දිනයේ දී ය. මෙම සම්මානය ඉංග්‍රීසි බසින් ලියවුණු විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන කෘතියක් උදෙසා වාර්ෂිකව පිරිනැමේ.
නැගෙනහිර ලන්ඩනයේ දී අබිරහස් ලෙස මරා දැමූ ගැහැණුන් වෙනුවෙන් ලියවුණු මෙම කෘතියට ත්‍යාග වශයෙන් පවුම් පනස් දහසක මුදලක් ද හිමිවිය.
“දුෂ්කර අඩියකට ඇද වැටුණු ඔවුන් සාමාන්‍ය මිනිස්සු, හරියට මේ ඔබ මම වගේ” යැයි කෘතිය පිළිබඳ අදහස් දක්වමින් හේලි රූබන්හෝල්ඩ් පවසන්නී ය.
මේරි ඈන් “පොලි” නිකොලා, ඇනී චැප්මන්, එලිසබෙත් ස්ට්‍රයිඩ්, කැතරින් එදොව්ස් සහ මේරි ජේන් කෙලි යන කතුන් පස් දෙනාගේ ජීවිත මෙම කෘතිය මඟින් ප්‍රතිනිර්මාණය කර තිබේ.