2020 වසරේ ශ්‍රී ලාංකේය පළමු අන්තර්ජාතික උලෙළ නියෝජනය "ගාඩි"
2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උලෙළක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ගාඩි" (Children of the Sun) සිනමාපටය ඉන්දියාවේ පැවැත්වෙන 18 වෙනි පුනේ අන්තර්ජාතික සිනමා උලෙළේදී (Pune International Film Festival) අද (10) තිරගත වීමට නියමිත ය. පළමු ප්‍රදර්ශනය ලෙසින් අද සවස 4.45 ට "INOX Bund Garden" සිනමා සංකීර්ණයේදී තිරගතවන "ගාඩි", දෙවන වරට එළඹෙන 12 වෙනි දින සවස 6.00 ට "PVR- The Pavallion Mall" සිනමා සංකීර්ණයේ දී තිරගත වේ. මේ වසරේ පූනේ උලෙළ නියෝජනය කිරීමට සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටය වන ගාඩී, ගෝලීය සිනමාව (Global Cinema) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ පුනේ උලෙළ නියෝජනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 65 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින්, සිනමාපට 191ක් මෙවර 18 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උලෙළේ දී (ජනවාරි 09 සිට 16 දක්වා) තිරගත වේ.
2005 වසරේදී සාමාරම්භය සනිටුහන් කළ පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කරන 12 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය "ගාඩි" වේ. මීට පෙර උලෙළ නියෝජනය කළ සිනමාපට 11 අතුරින් "පාංශු" (විසාකේස චන්ද්‍රසේකරන්ගේ) සිනමාපටය පමණක් උලෙළේ අන්තර්ගත ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අතර , අනෙක් සිනමාපට 10 (සුළං කිරිල්ලි, ධවල දූවිලි, මචං, ඉගිල්ලෙන මාළුවෝ, ඔබ නැතිව ඔබ එක්ක, ඉනි අවන්, නෙලා, දැවෙන විහඟුන්, සුළඟ එනු පිණිස) තරගකාරී නොවන අංශයන් යටතේ තිරගත විය. ඉන්දියාවේ පැවැත්වෙන 60කට ආසන්න අන්තර්ජාතික සිනමා උලෙළයන් අතුරින්, පළමු උලෙළයන් 10 අතර ශ්‍රේණිගත වන පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ තුල මේ දක්වා ශ්‍රී ලංකාව සම්මානයකට පාත්රව නොමැත.
2020 වසරේ ශ්‍රී ලාංකේය පළමු ජාත්‍යන්තර නියෝජනය අද දින සනිටුහන් කරන "ගාඩී", 2019 වසරේ ශ්‍රී ලාංකේය අවසන් ජාත්‍යන්තර නියෝජනය (24 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළේදී) සනිටුහන් කළ සිනමාපටය ද වේ. "ගාඩි" තිරගත වන සිව් වන අන්තර්ජාතික සිනමා උලෙළ පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ වේ. පූනේ අන්තර්ජාතික සිනමා උලෙළයන් පසුව "ගාඩි", ජනවාරි මස අග නෙදර්ලන්තයේ පැවැත්වෙන රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළේ සහ පෙබරවාරි මස ප්‍රංශයේ පැවැත්වෙන විසූල් අන්තර්ජාතික ආසියානු සිනමා උලෙළේ තිරගත වීමට නියමිතව ඇත.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි