"විෂම භාග" නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී වටයට
එළඹෙන 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 03 වෙනි නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ (Nepal International Film Festival) ප්රධානතම තරගකාරී අංශය ලෙසට සැලකෙන "World Panorama- International Feature Competition" නම් වූ අංශය නියෝජනය කිරීමට ලලිත් රත්නායක අධ්යක්ෂණය කළ "විෂම භාග" චිත්රපටය සුදුසුකම් ලබා ඇත. ඒ අනුව එළඹෙන 14 වෙනිදා සවස 5.30 එය උලෙළේදී තිරගත වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ප්රංශය, චීනය, ඉන්දියාව ,මෙක්සිකෝව, තුර්කිය, තායිවානය යන රටවලට අයත් සිනමාපට 09 ක් ශ්රී ලංකාවේ "විෂම භාග" සමග උලෙළේ පිරිනමන ඉහළම සම්මානය වන "ගෞතම බුදුන් සම්මානය" (Gautama Buddha Award) වෙනුවෙන් මෙහිදී තරග වදී.
2018 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ ශ්රී ලාංකේය සිනමාපටයක් තිරගතවන දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර 2018 වසරේදී ජයශිකා පද්මසිරිගේ "දිය කිඳුරියන්ට ඇබෑර්තු ඇත" යන සිනමාපටය උලෙළේ ප්රධාන තරගකාරී අංශය යටතේ තිරගත විය.
2020 ජනවාරි මස ඉන්දියාවේ පැවති ජයිපූර් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ "විෂම භාග" චිත්රපටය මෙම වසරේදී නියෝජනය කරන දෙවන අන්තර්ජාතික සිනමා උලෙළ (International Film Festival) නේපාල අන්තර්ජාතික සිනමා උලෙළ වේ. එයට අමතරව 2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා තරග උලෙළයන් ( Festivals of International Film Competitions) 2ක් නියෝජනය කිරීමට (Calcutta International Cult Film Festival- India/ International Peace & Film Festival- USA) සමත් වූ "විෂම භාග" සිනමාපටය, එළඹෙන 16 සිට 22 දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර "උතුරු යුරෝපීය අන්තර්ජාතික සිනමා උලෙළ " (North Europe IFF) නමින් පැවැත්වෙන අන්තර්ජාතික සිනමා තරග උලෙළේ සම්මාන පහක් සඳහා නිර්දේශ නාමයන් ලැබීමට සමත්ව ඇත.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි