කළුබෝවිල ගම් පළාත කරගත් හිත මිතුරු හමුවක් යෙදෙන දිනයක් නිමිති කරගනිමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කරුණාරත්න අමරසිංහයන් විසින් රසවත් පද මාලාවක් පබැඳ තිබිණි.
හිතක මතක
දිගු කල් දිනේවා මගෙ ගම පරම රම!
[2023 වස්හි උඳුවප් මස්හි 16 වැනි ශනි දින ප්‍රශාන්ත නිශා සමයෙහි නමෝ විත්තියෙන් සිදුවන කළුබෝවිලයන්ගේ මංගල මධුර මිලනය නිමිතිකොට මහද තුළ ගිගුම් දී උතුළ උදම් රළ පතර අතරින් පැන නැගී නිනද වන අමොද පැදි නදියෙකි.]
පළමුව ඉර නගින හැටි මා දැකපු
ගමයි
පළමුව හඳ නගින හැටි මා දැකපු
ගමයි
ඒ දෙක නැග බහින බව මා දැකපු
ගමයි
යළි ඒ දෙකම පායන බව දැකපු
ගමයි
පැදකුණු කර ගලන ඇළකින් රැකපු ගමයි
අසමින් පාරු කවි නිදි සුව විඳපු
ගමයි
යක් බෙර ගෙජ්ජි හඬ මුළු රෑ අහපු ගමයි
අලුයම ගරා යකු අයිලය පැදපු
ගමයි
හැම ලෙඩ දුකකටම හඳහන බලපු ගමයි
අපලෙට ගෙල වටේ යන්තර බැඳපු ගමයි
බාරහාර වී දරු පල පතපු
ගමයි
දහ අට සන්නි එළි වෙන තුරු නටපු ගමයි
දෙමළ බාබර්ට මාමා කියපු
ගමයි
රාමන් මාම තණකොළ කොටු වවපු ගමයි
පාන් මාමගේ පෙට්ටිය දැකපු
ගමයි
මාළු මාමලා මාලෝ කියපු
ගමයි
චීන වෙළෙන්දෙක් රෙදි විකුණාපු
ගමයි
තොරොම්බොල් කාරයෙක් බඩු දීපු ගමයි
ණය දෙන බායියෙක් ඉඳ හිට ආපු
ගමයි
කඩල ආච්චිගෙ තෝසෙත් කාපු
ගමයි
වැසිකිළි රැකි නොරට පිරිසක් හිටපු ගමයි
මිනිසුන් ලෙස ඔවුන් සැලකිලි විඳපු
ගමයි
පඩි දා තප්පු ගසමින් උන් නටපු
ගමයි
පිඹිමින් නළා උන් පෙරහැර කරපු
ගමයි
කැරන් නමැති සුදු මහතා වසපු
ගමයි
ඔහු තම ගමේ එකෙකැයි හැම හිතපු ගමයි
මාක්ස්වාදියෙකු මැති සබ යවපු
ගමයි
ඔහු තම මුල්ම ඡන්දෙන් දිනවාපු
ගමයි
කළුබෝවිල රෑට කළුවර වහපු
ගමයි
විදුලි එළි නොදැක තරු එළි දැකපු
ගමයි
බස්සන් රැහැයි පලඟැටි රෑ අඬපු
ගමයි
වෙල කෙළවරේ නරි රැළ හූ කියපු
ගමයි
සූ එක දෙසින් එන ගෙරවිලි අහපු
ගමයි
මහ මූදෙන් හූල්ලන අඬ අහපු
ගමයි
කෝච්චියක් දුවනා අඬ අහපු
ගමයි
ඒ හඬ ඇහෙන රෑ නිහඬව හිටපු
ගමයි
නා ලොව පේන ගල්වළවල් කැනපු
ගමයි
ඒවට නිතර ජීවිත බිලි පුදපු
ගමයි
එය කරුමෙකැයි අදහන අය හිටපු ගමයි
වළවල් අයිති අය පෝසත් කරපු
ගමයි
ටකරන් අතු ගෙවල් වැඩිපුර තිබුණු ගමයි
සිංහල උළු ගෙවල් තැන තැන හැදුණු ගමයි.
වලව් ගෙවල් දෙක තුනකුත් පෙනුණු ගමයි
උනුනුන් අතර උස්මිටිකම් නොවුණු ගමයි
උඩු යටි දෙපිල ඉඳ අංකෙළි කෙළපු ගමයි
ඒ දෙපිලට වෙලා පොරපොල් ගහපු
ගමයි
කැටයම් වෙසක් කූඩුව නම් දරපු
ගමයි.
දිවි හිම් මගේ හද තුළ පණ ගැහෙන ගමයි
විස්කම් පා බබළවා නන්
කලාවන්
රැන්දූ දනන් තුඩ තුඩ
වර්ණනාවන්
කළුබෝවිලුනි තොප හැම රස
අමාවන්
සසර වසන තුරු මට
වාසනාවන්