ඩබ්ලිව්. ජයසිරි යන කෘතහස්ත සම්මානලාභි රංගන ශිල්පියා පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නොවෙතැයි මා විස්වාස කරන්නේ , ඒ රූපය වේදීකාව, පුංචි තිරය හෝ රිදී තිරයෙන් නොදුටු කෙනෙක් ඇතැයි නොසිතන නිසාය. ඒ නිසාම ඔහුගේ රංගන හැකියාවන් හෝ නිර්මාණ පිළිබඳව නොලියමි .
ඔහු අති දක්ෂ ගීත රචකයෙකු බව දන්නේ අතලොස්සක් පමණි. ඔහුද ඒ පිළිබඳව පුරසාරම් දොඩවන්නෙකු ද නොවේ. ඒ ඔහුගේ ස්වරූපයයි.
මේ කෙටි සටහනේ පරමාර්ථය වන්නේ ,ඔහු විසින් වේදීකා නාට්‍ය , ටෙලි නාට්‍ය , චිත්‍රපට හා ගුවන් විදුලිය ඇතුළු වෙනත් මාධ්‍යයන් සඳහා ඔහු විසින් ලියා ඇති ගීත පිළිබඳව ගීත ශ්රාවකයා දැනුවත් කිරීමයි.
ඩබ්ලිව් .ජයසිරි විසින් පබැදින ලද ප්‍රථම ගීතය පටිගත වන්නේ 70' දශකයේ මුල් භාගයේදීයී.ඒ සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායන ශිල්පියාගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් වෙනුවෙනි. ඉන් අනතුරුව එය නිතර දෙවේලේ ගුවන් විදුලියෙන් ඇසෙන ගීතයක් බවට පත්විය . ඒ ඔහුගේ ගී කෙතේ ආරම්භයයි.
" සුළං හමයි ලොව නිසලයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී //
බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිලෙයි පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී
ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී
සංගීතය හා ගායනය : සංගීත් නිපුන් සනත් නන්දසිරි
ප්‍රවීණ නිර්මාණවේදි ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කල " ධවල භීෂණ " වේදිකා නාට්‍ය සඳහා ඔහු රචනා කල ගීතයයි මේ.
" ඇසුනා වෙඩි හඬක්
නමස්කාර ගී වදාරමින් වැඩි
කසාවතින් සිටි ස්වාමිනේ
ඇසුනා වෙඩි හඬක්
බෝ සෙවනේ වැඩ
නවගුණ වැල ගෙන
බවුන් වැඩූ දසසිල් මෑණියනේ
ඇසුනා වෙඩි හඬක්
සිහින් සරින් බෝ වන්දනාව ගැයූ
සුදුවත හැඳි සිල්මෑණියනේ
ඇසුනා වෙඩි හඬක්....""
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණවේදියා අධ්‍යක්ෂණය කල "වෙද හාමිනේ" ටෙලි නිර්මාණය සඳහා ඔහු ගීතයක් පබදින ලදී.
" බොඳවී බොඳවී හිස් අවකාසේ
අල්තාරය උඩ
සුරුවම මත නැග
හිස් අවකාසේ
දෝත පුරා මිට මොලවාගත්
සීතල සවිබල ගත බිඳි සොම්නස
උඩු යටි කුරු වී
අන්තිම දවසේ මහ රෑ සාදේ
මත් වුණු ජීවේ
බොඳවී බොඳවී
බිඳුණු ආත්මය
පොළොවට බියවුන අහස වගේ මම
ඉර පායන තෙක් අඳුරු වුනේ
අඳුරු වුනෙ...""
ගායනය : රොස්කෝ විලියම්ස්
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමා නිර්මාණය වූ " හංසවිලක් " සඳහා ඔහු විසින් රචිත ගීතයයි මේ.
" සෙනෙහස පුපුරා සෙනෙහස පුපුරා
සිහිනය මියයයි සිහිනය මියයයි
සැබෑ උදෑසන පිනි කඳුළක් මත
සෙනෙහස පුපුරා පුපුරා
පියවි මිහිතලේ තුරුහිස තලමල
නිමේෂයක ළය නිවා සණහවයි
ප්‍රාර්ථනාවක ලේ තිලකය මැද
සුන්දද් දූවිලි වලාපටල මැද
ගායනය : අයිවෝ ඩෙනිස්
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ඩබ්ලිව් ජයසිරි ලියූ හොඳම ගීතය ලෙස මා දකින්නේ , ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කල " බඹරු ඇවිත් " චිත්‍රපටය සඳහා ඔහු ලියූ මෙම ගීතයයි.
" උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දසදහසක් සම්මස් ඇට
සිනා කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත් වුණු දවසක්
සැණසෙන එක හැන්දෑවක
මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනිදිය ලෝ දිය වැස්සේ
කිරිසල් කිරි උදුම්බරා
සිනා කඳුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා....
හඳුනාගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මක
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම
හඳුනාගත්තොත් ඔබ මා
මහ මුහුදම ගොඩට ගලා
රත්වුනු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා කඳුළු සලයි "
ගායනය :ටී.එම්.ජයරත්න ,අයිවො ඩෙනිස්, සුනිලා අබේසේකර , සුභාෂිණි අරංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
විජය කුමාරතුංග ගැයු ප්‍රථම චිත්‍රපට ගීතය රචනා කලේද ඔහු විසිනි. ඒ ධර්මසේන පතිරාජ ගේ " පාර දිගේ " චිත්‍රපටය වෙනුවෙනි.
" පාවෙලා පාවෙල පාවෙලා
පාවෙලා යන පාර වටේ
කඳුහෙල් කටු ගේකට දාලා
අපි ගමනක් යනවා අපි ගමනක් යනවා
ඉරහඳ දේදුණු සළුපිලි ගලවා
නිරුවත් වූ මහපොළොවේ හුස්මෙන්
දෑත විදා යළි දෑස වසා
සුවඳක් උපදිනවා
කොල අතු ඇඳගත් දුනු හී අමුණා
ගිණියම් වූ මහගින්නේ රස්නෙන්
සීතවෙලා එන දෑස පුරා
උණුසුම සැතපෙනවා"
ගායනය : විජය කුමාරතුංග, අබේවර්ධන බාලසූරිය , සුනිලා අබේසේකර , සුභාෂිණි අරංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල " ගල් පිළිම සහ බොල් පිළිම " ටෙලිනාට්‍ය සඳහාද ඔහූ ගීයක් පබඳින ලදි.
" ගැඹුරු අනන්තේ පතුලට යටවී
අහස බලන්නට පෙරුම් පිරූ
කිරි සයුරේ දිය දෝතට
භූමි තලාවම කම්පා වී "
ගායනය සහ සංගීතය : කපිල පූගලආරච්චි
රයිගම් ටෙලි සම්මාන උළෙල ආරම්භ වූ 2005 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගීතයට හිමි සම්මානය හිමිවූයේද , ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කල " තෙත් සහ වියළි" ටෙලි නාට්‍ය සඳහා ඔහු ලියූ මෙම ගීතයටයි.
" මී මැසි
නොදනී නොදනී නොදනී
මල් පැණි තෙත්වේ
සසලප
නොදනී නොදනී නොදනී
සඳ කුල්මත්වේ
ඉරබටු තරුමල පිණිපොද වී
තුරුහිස ළා දලු තෙමා තෙමා
කෙඳිරිල්ලක් ගලා ඒවී
අරුණෝදේ හිස පීරන හිස පීරන
ඔබ නළලත තැවරී
කඳුළු තිලකයක් ඇඳලා
ඔබේ දුකට මම අඬනවා
හිනැහෙන් නුඹ සීදේවි සීදේවී
ගායනය : ටී.එම්.ජයරත්න
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ඩබ්ලිව් ජයසිරි විසින් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා වෙනුවෙන් පහත සඳහන් ගීතය රචනා කරන ලද්දේ , සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කල " චිට්ටි " චිත්‍රපටය සඳහායි.
" ලොරෙන්සෝද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දිකඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රටවටේට ණයවෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරිං බැංජො මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කනු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ බෑ කියනවා "
සංගීතය : කාලෝ විජේසිරි.
රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කල " සුළඟ මත මොහොතක් " ටෙලි නාට්‍යයේ තේමා ගීතය ද ඔහුගේ නිර්මාණයකි .
"හාංකවිසියක රැළි නගයි සුසුම
ගහකොළ මල වැල දවටා දොම්නස
සුළඟට සැරසී යලිදු පණ වෙවුලුවයි
නොයෙක් පැහැය වපුරා
පුදසුන සඟවා සෙනෙහස අතුරා
දෙතොල් සැරසිලා
පැහැදිලි සියුරුවමක නාදේ
හඬයි නිහඬවම
විසංවාදී ස්වර නිදිබරයි
තරු ලකුණක දුර දකින
අහස උසට කොත බැඳෙන
ආදරය ආදරය ආදරය
ගායනය සහ සංගීතය : කසුන් කල්හාර
ඔහු ලියූ , රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල " භවාන්තරා" ටෙලි නාට්‍යයේ තේමා ගීතය.
" ආකාසේ පදාසයක
තනියායට කඩා වැටෙන
තරු ලකුණක එළිය දිගාවී
හෙමි හෙමිහිට එළිය නිවෙන එළිය දිලෙන
පහන් වැටෙක අසිරි සිරිය
උපන්තෙකට නොපෙනෙන්නට
හැංගි හැංගි මුවාවෙනවා පමණක්ම ද
පඳුරු ලලා පූදින්නට
නා කපනා අඳුරු අඳුර
තුරුල්වෙන එළිමහනක
අදුරයි එළියයි "
ගායනය : ශ්‍යාමලී එදිරිසිංහ / දේශක බමුණුමුල්ල
සංගීතය : දේශක බමුණුමුල්ල.
ඩබ්ලිව්. ජයසිරි මෙතෙක් ආ මග වෙනස් කරමින් සංගීතවේදී හර්ෂ ආරියසිංහ ගේ ඇරයුමකට අනුව පෙර නිමැවූ ගී තනුවකට සංගීත් විජේසූරිය සඳහා ගීතයක් රචනා කරන ලදි.
නිවෙන හිනා නිවෙන හිනා
නිවෙන හිනාවක උණුහුම දෙතොල උනා
නාඹර තුරුලට කඳුලක සිසිල ගෙනා
නීල විලේ ඉවුරු බිඳේ
ගාටනවා මූදු කොනේ
අහස පොළොව එකතු නොවී යන්න ගියා
නිවෙන හිනාවක උණුහුම දෙතොල වුනා
දුටුව දිනේ රසය ගලා
නීලවිලේ මල් පිපුනා
සිපගනිමි වැළඳ ගමි සකිසඳුනි
සුළඟ වගේ නිවෙන හිනා
වෙන්ව ගියා දෙගොඩ තලා
පිපුණු මලේ රුව මැකුනා
තුරුළුවෙමි හඳුනගමි සකිසඳුනි
සුළඟ වගේ නිවෙන හිනා
නිවෙන හිනාවක උණුහුම දෙතොල උනා
ගායනය : සංගීත් විජේසූරිය
සංගීතය : හර්ෂ ආරියසිංහ
කුමාරි මුණසිංහ ගායන ශිල්පිනියගේ ප්‍රථම සරළ ගී වැඩ සටහන සඳහා රචිත පදපෙලක්
" මුහුණුවර ඔබේ දුටුවා
කළුවර පෝයට ඉඳහිට පායන
තනි තරුවක් වාගේ
මුහුණුවර මගේ හැඬුවා
පෝයදාට පෙර හැමදා වහිනා
මහ වැස්සක් වාගේ "
ගායනය : කුමාරි මුණසිංහ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කල " උත්තමාවි" ටෙලි නිර්මාණය සඳහා ඔහු අකුරු කල තේමා ගීතය
තාරකාව දුරට දකින්න
අහස උසට මෙගොඩ කරන්න ජීවිත මුහුදේ
ගිලෙනු අමාරුය
පිහිණනු ලේහෙසිය
අනන්තයේ එළියට
ඇහැ දල්වාගෙන
එගොඩට පිහිනමු දරුවනේ
අපේ දුකට මුසුවී
දුකත් සමඟ
රංකිරි කට ගෑ
දරුවනේ..දරුවනේ..
ගායනය : ශ්‍යාමලී එදිරිසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු මුල්වරට ගැයූ ගීතයක් නිර්මාණය කිරීමට ද ඔහුට හැකිවිය. මේ එම ගීතයයි.
කෝල සිතින් දෑස වසායා
බියක් දැනී ඇඟ වෙවුලායා
ඔතප් සිඳී අත් හකුලායා
නිරුවත් ඇඟ සිත සනසායා"
ගායනය : කෞශල්‍යා ප්‍රනාන්දු / ජගත් වික්‍රමසිංහ
සංගීතය : ජගත් වික්‍රමසිංහ
ඔහු විසින් රචනා කරන ලද තවත් ගී කිහිපයක්.
" සත්බුමු මහලේ සඳකත් සීතල සඳළුතලේ
කොඳමල් මුවරද විසුරුණු යහනට
මිනිමුතු බැඳි වා කවුලුව අතරින්
මුහුළස රාවය සවන් වැදේ"
ගායනය සහ සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව
"සිහින සඳුන් ගෑ නුවන'ග
නීල කැළුම් දෙන මොහොතක
එවන් කැළුම් මැදින් දුටිමි
මගෙ හදවත ඔබේ ඇසින් "
ගායනය : බන්දුල විජේවීර
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව
" බිඳුවෙන් බිඳුවට නෙක කඳුලැලි ගෙන
මාල සදා දෙන්නයි"
ගායනය : පණ්ඩිත් අමරදේව / නීලා වික්‍රමසිංහ සහ පිරිස
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් .ඩී. අමරදේව
" ඉර පේනා ඉර රශ්මිය දෙන්නේ
ගිනි පේනා ගිනි ගින්දර දෙන්නේ
කුස පේනා කුස රැල්ල වැටෙන්නේ
රස ඇති සැටියට කාපන්නේ "
ගායනය : නීලා වික්‍රමසිංහ සහ පිරිස
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් .ඩී. අමරදේව
" තනිවුන ඔරුවක මහ රෑ නිසංසලේ
පවුරු වලල්ලේ තනිවී නොපෙනේ කිසිවක්
නිම්වළල්ලෙන් ඈතට පාවෙන්නේ "
ගායනය සහ සංගීතය : ඩී. ඩී .ඩැනී.
මෙලෙස ඔහු විසින් ලියූ ගී අති විශාල ප්‍රමාණයක් නොවූවද , ලියූ ගී අතරින් කිහිපයක් සම්මානයට පාත්රවීමත්, තවත් ගී කිහිපයක් මිනිස් සන්තානයේ නොනැසී පවතින්නට හැකිවීමත් ඔහු ලද එක්තරා භාග්‍යක් ලෙස දකිමි. ඔහු නිර්මාණශීලී ගීත රචකයෙකු ලෙස බොහෝ අය නොදැකීමත් , ඒ මගේ ඔහු විසින් නොයෑමත් ගීත ශ්‍රාවකයාගේ අභාග්‍යයකැයි ද සිතමි.
සිතින් වියපත් නොවෙනා තාරුණ්‍යයේ පසුවන ඩබ්ලිව් ජයසිරි කලාකරුවානන්ට තව තවත් නිර්මාණ සමාජගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු
සටහන : ඇන්ටන් ජේ ප්‍රනාන්දු