භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාර දීමට ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු සාමාජිකයින් පියවර ගෙන තිබේ.
චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව නව කෙටුම්පත සකස් කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය අද (18) නිවේදනය කළේය.
ජනාධිපතිවරයා පත් කළ කමිටුව සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යනාදීන් පත් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1912දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත වන අතර එය පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්ෂා කරයි.
වර්තමානයේ කලා නිර්මාණ සම්බන්ධයෙන් මතු වන බොහෝ ගැටලු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් ලබා දී ඇති බවත් නව පනත ක්‍රියාත්මක වීම සමග නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ජනාධිපතිවරයා මෙම නව පනත ගැන මීට පෙර නොවැම්බර් මස පැවති ජනාධිපති සම්මාන උලෙළේදී ප්‍රකාශයක්ද සිදු කළේය.