පිලිපීනයේ මැනිලා නගරයේ පැවති 2023 Mrs. Glamour Look ජාත්‍යන්තර රූපරාජිණි තරඟයේ ජයග්‍රාහිකාව වූයේ ශ්‍රී ලංකාවේ හර්ෂණී වෙලගෙදරය. මේ වන විට සිය 35 වැනි විය ගෙවා දමමින් සිටින හර්ෂණී දැනට ඩුබායිහි පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටියි.
මෙවර මිරර් ආර්ට්ස් තරු කතා බහා දිගහැරෙන්නේ ඇය සමගයි.
මුලින් හර්ෂණී ජයගත් තරගය ගැන කතා කරමු?
මේ තරගයේ නම තමයි 2023 Mrs. Glamour Look International රූපරාජිණී තරගය. මේක තිබුණේ පිලිපීනයේ මැනිලා නගරයේ පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා. රටවල් 32ක් නියෝජනය කරමින් තරඟකාරියන් මේ තරගයට සහභාගි වෙලා හිටියා. ඒ පිරිස අභිබවලා තමයි මම මේ තරගයේ කිරුළ දිනාගත්තේ.
මේ තරගයට කොහොමද ඔබ එකතු වුණේ?
'ද මොඩල් ඒජන්සිය' හරහා තමයි මම මේ තරඟයට සහභාගි වුණේ. එකේ ජාතික අධ්යක්ෂවරයා තමයි ශාන් මල්ලව. දේශීය තරඟයේදී මේක Mrs. Glamour Look, Miss Glamour Look, Mr. Glam trough කියන අංශ තුනකින් පැවැත්වුණා. Mrs. Glamour Look තරගයේ ජයග්‍රාහිකාව මම වුණ නිසා 2023 Mrs. Glamour Look International රූපරාජිණී තරගයට සහභාගි වෙන්න අවස්ථාව මට ඒ හරහා ලැබුණා.
ලංකාවේ දැන් රූපරාජිණි තරග ගොඩක් තියෙනවා නේද?
ඔව්, මීට දශකයකට දෙකකට උඩදි මේ තරම් විශාල ප්‍රමාණයක් රූපරාජිණී තරඟ තිබුණේ නැහැ ලංකාවේ. කොපමණ රූපරාජිණි තරග ලංකාවේ තිබුණත් ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් තියෙන තරග තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක්. ඒ වගේ එකක් තමයි Mrs. Glamour Look කියන තරගය. ඉතින් ඒ තරගයේදී ලංකාව නියෝජනය කරලා එහි කිරුළ දිනා ගැනීමට හැකි වීම පිළිබඳව මට තියෙන්නේ කියන්න බැරි තරම් සතුටක්. තමන්ගේ රට වෙනුවෙන් කිරුළක් දිනනවා කියන්නේ ඉතින් ඒක ලොකු වටිනාකමක් වගේම ආඩම්බරයක්.
මේ ජයග්රහණයෙන් පස්සේ ඔබගේ ඉදිරි වැඩ කටයුතු?
මම දැනට ඉන්නේ ඩුබායිවල. එහි ඇමෙරිකානු පාසලක ගුරුවරියක් විදිහට වැඩ කරනවා. දැනට කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පිළිකා රෝගීන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න අදහසක් තියෙනවා. ලංකාවට ඇවිල්ලා ඒ දේ ක්‍රියාත්මක කරන්නත් මම දැනට සැලසුම් කරමින් යනවා.
මවක් බිරිඳක් විදිහට මේ වගේ තරගයක් නියෝජනය කරන ඒක ලොකු අභියෝගයක්?
මම ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තමයි මේ තරඟයට සහභාගි වුණේ. මගේ සැමියා ශෂිකාන්ත් වගේම මගේ පවුලේ හැමෝම මට ලොකු සහයෝගය දුන්නා මේ තරගය පුරාවටම. ඒ වගේම මගේ සැමියා හැම වෙලාවේම මාව ආරක්ෂා කරමින් දිරිගැන්වුවා මේ තරඟය ජයගන්න. ඇත්තටම මගේ රට වෙනුවෙන් මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණ ඒක ගැන ගොඩක් සතුටුයි මට.
සංවාදය : බුද්ධික සේනාධීර