අයෝධ්‍යාව ඉන්දියාවේ රාම කුමරුන්ගේ උපත ලද ස්ථානය බව අනාරණ කරගෙන එම ස්ථානයේ ඉදි කළ මන්දිරය රාම් මන්දීර් දෙවොල වශයෙන් ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා (22) පැවැත්වුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.
මෙම ස්ථාපිත කිරීමේ අවස්ථාව සඳහා බොලිවුඩයේ ආගමික පදනම අනුව රාම දෙවියන් අදහන බැතිමතුන් හැටියට සුපිරි තරු පවුල්ද සහභාගි වී සිටිනු දක්නට ලැබුණ අතර ඉන්දීය ජාතික සම්මානලාභී ජනප්‍රිය නිළි ආලියා භට්ගේ සාරිය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් ලැබී තිබිණි.
ඒ තමන් හැඳි සාරිය පවා රාම තේමාවට අනුව වෙන් කරමින් හැඳි නිළියන් අතර ආලියා වෙනස් පියවරක් අනුගමනය කර තිබීම හේතුවෙනි.
ආලියා එහිදී කර තිබුණේ රාමායණය අතින් චිත්රණය කර වැඩ දැමූ සාරියක් ඇඳීමයි. ඇයගේ සාරිය අග (පල්ලු) රටාව තුළ සමස්ත රාමායණ කතාව අන්තර්ගත කර සකසා ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබිණි.
එය බෙහෙවින් අගය කරමින් බොහෝ දෙනෙකු මෙහි විශේෂත්වය පෙන්වා දී තිබූ අතර ආගමික වශයෙන් සහ පොදුවේ ඉන්දියාවේ සංකේතයක් වශයෙන් පෙන්වන, දෙවියකු හැටියට හින්දූන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාම කුමරුන්ගේ කතාව (රාමායණය) සාරියක් අගට දැමීම ගැන ආලියාට විවේචන නොතිබිණි.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ ආධිපත්‍ය පවත්වාගෙන යන හින්දු ආගමික සංවිධාන බොලිවුඩයේ චිත්‍රපට පවා වාරණය කිරීමට තරමේ තාර්කික, ආගමික අදහස් හා තදින් බැඳී සිටින නමුත්, හින්දූන් සිය ඇඳුම් තුළ දේව කතා, දේව රූප, සලකුණු සටහන් කරගැනීම ගෞරවනීයව ඉන්දියාව තුළ දකින බව මෙම සිදුවීමෙන් අනුමාන කළ හැකිය.