'ජලක් දික්ලා ජා' ඉන්දියාවේ සෝනි රූපවාහිනියේ විකාශය වන ජනප්රිය නර්තන වැඩසටහනට සහභාගි වෙමින් පසුගියදා ජනප්රිය බොලිවුඩ් නිළි ජුහි චව්ලා සිය සමකාලීන නළුවන් වන ආමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්, අජේ දේව්ගන්, කාජල් සමග පැවති ආදරණීය බැඳීම් සිහිපත් කළාය.
වැඩසටහනේ තරඟකරුවන්ට සෑම සතියකදීම තරඟකාරීත්වය වැඩි කරනවා සේම ප්රේක්ෂකයින්ද නැවුම් ආකාරයකින් පිනවීමට ජලක් දික්ලා ජා නිෂ්පාදකයින් බොහෝ අවධානයක් යොමු කර තිබෙන අතර ජුහි වැනි ජනප්රිය නිළියකට තරඟයේ එක් දිනක විකාශය සඳහා ආරාධනා කිරීමත් එවැනි පියවරක් වේ.
ජුහිගේ සහභාගීත්වය හේතුවෙන් ෆාරා ඛාන්, අර්ෂඩ් වර්සි, මලෛකා අරෝරා තරඟයේ විනිසුරුවන් සමග සුන්දර කැළඹීමක්ද වේදිකාවේ නිර්මාණය කර තිබිණි.
ජුහි වෙනුවෙන් වෙන් වූ වැඩසටහනේදී තරඟය රස විඳීම මෙන්ම ඇයගේ මිතුරු නළුවන් සමග ඇති බැඳීම ගැන කළ කතාබහද එහිදී සිත්ගන්නාසුළු විය.
එහිදී ජුහිට අඩුම මිලක තෑග්ගක් දුන් නළුවා වන්නේ ආමීර් ඛාන් වන බව ජුහි හෙළි කළාය. තමන්ගේ උපන්දිනය සිහි කළ දිනකදී ඇගේ නිවසට ආමීර් එන බව දැනුම් දුන් අතර නිවසේ සියල්ලන් ඒ ගැන සතුටින් බලා සිටිද්දී ඔහු උපන්දිනයට පැමිණ සුබ පතා තමන්ගේ උපන්දින තෑග්ග පිටතට ගත් බව ජුහි පවසා තිබේ. 'මේ තරම් කුඩා චොකලට් එකක්' යැයි ජුහි එහිදී චොක්ලට් එකෙහි ප්රමාණය පෙන්වා දුන්නාය.
තමන් නිළියක කාලයේ 'වැනිටි වෑන්' නොතිබූ බවත් විශාල බස් රථයක අවසන් පේළිය ඇගේ මේක්අප් රූම් එක වූ බවත් ජුහි එහිදී හෙළි කළාය.
තම සැමියා ජේ මෙහ්තා විවාහයට පෙර තමන්ට දිනපතා ලියූ අතර විවාහයෙන් පසුව එය නැවතුණ නමුත්, තවමත් විශේෂ අවස්ථාවලදී කාඩ්පත් හුවමාරු කරගන්නා බව මෙන්ම ජේ මෙහ්තා එක් වරක් ඇගේ උපන්දිනයකට රෝස මල් ට්රක් රථයක් එවූ බවත් ජුහි ජලක් දික්ලා ජා වැඩසටහනේදී හෙළි කළාය.