පවනි දැනට අහපු හොඳම ගීතය මොකක්ද?
මේ දිනවල වැඩියෙන්ම අහන සිංහල ගීතය නම් ශේහංගා දිසානායක ගායනා කරන 'පාළුවේ සතුට' කියන ගීතය. ඒක අමුතුම හැඟීමක් එක් කළ ගීතයක් කියලා මට හිතෙනවා. ගීතයට එකතු කරලා තියෙන සංගීතය වගේම පද පේළි ටික ගොඩක් හැඟීම්බරයි. දවසට දෙතුන් පාරක් වගේ මේ ගීතය මම අහනවා දැන්.
ඔබ කැමති ගායිකාවක් ඉන්නවාද?
ඔව්, ඇය උමාරියා සිංහවංශ. ලංකාවේ මම දැකපු දක්ෂතම ගායිකාවක් තමයි උමාරියා කියන්නේ. තමන්ගේ දක්ෂතාවය නිසාම ගායන ක්ෂේත්රය තුළ ඇය ඉහළින්ම ඉන්නවා කියලා මම හිතනවා. ඒ වගේම එයාගේ පෙනුම හැසිරීම ගීත ගායන විලාසය මේ ඔක්කොටම මම ගොඩක් කැමතියි. ඒ හින්දා තමයි ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නෙත්.
පවනි කවුරු හරි ගායිකාවක් අනුකරණය කරනවද?
නැහැ. ඇත්තටම මම කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට අහන්නේ වෙන රටවල ගීත. ඉතින් ඒ රටවල ගායිකාවන්ගේ විලාසිතා එහෙම බලනවා. ඒ වගේ අඳින්න පළඳින්න උත්සාහ කරනවා. ඒ හැරුණාම ඒ අයම වෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. මම කැමතියි මගේම විදිහකට ජීවත් වෙන්න. මොකද, මගෙන් වෙන කෙනෙක්ව දැක්කොත් පවනි කියලා කෙනෙක් නැති වෙනවානේ.
මෑතකදි අහපු ගීත අතරින් ඔබේ සිත්ගත් ගීතයක් තියෙනවද?
'දෑත දරා' ඒක නාදගම කණ්ඩායම ගායනා කරන ගීතයක්. මගේ ගීතවලට ගොඩක් ආස වුණ කෙනෙක් දවසක් මට විඩියෝ එකක් හදලා එවලා තිබුණා මේ දෑත දරා ගීතය දාලා. එදා තමයි මේ ගීතය මම පළමු වතාවට ඇහුවෙත්. ඊට පස්සේ ගොඩක් ආස හිතුණා මේ ගීතයට මම.
ඔබ ගායනා කරපු ගීතවලින් මිනිස්සු ඉතාමත් ආදරයෙන් රසවිඳපු ගීතය මොකක්ද?
'ගිහින් ආදරෙන්' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. හැබැයි මිනිස්සු අතරට ගොඩක් ගියේ මම 'දුම්බර මැණිකා' කියන කවර් ගීතය හරහා කිව්වොත් හරි. තව මම ගායනා කරපු ටෙලි නාට්‍යය ගීත කිහිපයකුත් මිනිස්සු අතරට ගියා.
දෙමළ හා හින්දි ගීත අහනවද පවනි?
කලාතුරකින් තමයි දෙමළ ගීත නම් අහන්නේ. හැබැයි හින්දි ගීත නම් නිතරම වගේ අහනවා. ගොඩක් වෙලාවට මම අහන්න කැමති ඉංග්‍රීසි ගීත තමා. ප්‍රසංග වේදිකාවේදී ඉල්ලීම් ලැබිලා තියෙනවා හින්දි ගීත ගායනා කරන්නත්. හැබැයි ගොඩක් වෙලාවට මම ගායනා කරන්නේ සිංහල ගීත. නමුත්, ඉල්ලීම් මත මම හින්දි ගීතයක් වගේ ප්‍රසංග වේදිකාව තුළ ගායනා කරනවා.
සංවාදය: බුද්ධික සේනාධීර