සිංහල සිනමාවේ ආරම්භක යුගයේදී දමිළ අධ්‍යක්ෂවරුන්ගේ සම්ප්‍රාප්තිය දේශීය සිනමාවේ උන්තතියට විශාල දායකත්වයක් දැක්වූ බව නොරහසකි. වර්තමානයේද දමිළ අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය සිංහල සිනමාවට යම් ආලෝකයක් ලැබෙතැයි බලාපොරොත්තු තැබීමට හැකි වන ලකුණු විද්‍යාමානව පවතී.
'බොඳවූ සිහිනය' චිත්‍රපටය තිර රචනය හා අධ්‍යක්ෂණය කරමින් තිරයට රැගෙන එන එන්.එස්. තනපාල සුන්තරම් ඉන් අයෙකි. එසේම මෙම සිනමා නිර්මාණය සමඟින් නව නිෂ්පාදකවරයෙකු දේශීය සිනමාවට එක්වීමද, සිනමා කර්මාන්තයේ පැවැත්මට ආශිර්වාදයක් වනු ඇත. මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් හෙබවූ ආචාර්ය ඩබ්ලිව්.ජී. කරුණාදාස මෙහි නිෂ්පාදකවරයා ලෙසින් කටයුතු කරනු ලබන අතර මෙය සිංහල මෙන්ම දමිළ බසින්ද තිරගත කිරීමට සැලසුම් කර ඇත.
'බොඳවූ සිහිනය' චිත්‍රපටයට පාදකව ඇත්තේ මෙරට පැවැති එක්තරා අඳුරු කාල වකවානුවකදී උතුර බලා පිටත්ව යන මගී දුම්රියක් කුරුණෑගලදී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් තම දෙමව්පියන් අහිමිව අනාථභාවයට පත්වන ලබාල පිරිමි දරුවෙකු හා දමිළ ළදැරියක දැන හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් අතර සහෝදරත්වයක් ගොඩනැගෙයි. සමවයසේ තවත් පිරිමි ළමයෙකු පසුවදී ඔවුන් හා එක්වේ. ඔවුන් තිදෙනා එක්ව ජීවත්වීම සඳහා සොරකම වෘත්තීයක් කරගනී. ඔවුන් තිදෙනා යොවුන් වියට පත් වූවද අනීතික වැඩ නොනවතී. එක්තරා දිනෙක ඔවුන් තිදෙන එක්ව ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමෙන් අනතුරුව පිටස්තර ප්‍රදේශයක සඟවා තබා වාහනයෙන් යන අතරතුර අනතුරකට ලක්වීමෙන් එක් තරුණයෙකු මරණයට පත්වන අතර අනෙක් දෙදෙනා මතකය අමතකවූවන් බවට පත්වෙයි. මේ අතර පොලීසිය මංකොල්ලය පිළිබඳව පරික්ෂණ පවත්වයි. තරුණියගේ රෝගී තත්ත්වය එලෙසම පවතිද්දී තරුණයා සුවපත් වූවද එය නොපෙන්වන්නේ සැඟවූ ස්වර්ණාභරණ තමන් සතු කරගැනීමේ අරමුණෙනි.
මෙම චිත්‍රපටයේ රංගනයෙන් සංජය මුරමුදලි, පූර්විකා රාසසිංහම්, ගජන් කනේශන්, සුගත් ජානක, රෝහිත ඩයස්, චන්දන එදිරිසිංහ, ශාන්තා නානු, ජයන්ත වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව ඇති අතර කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර, අංග රචනයෙන් සුරේෂ් ඉන්දික, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ඩිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ෆර්හාන් ෂාන්, ගීත රචනයෙන් කරීන්ද්‍ර එදිරිසිංහ සමගින් සුනිල් ආනන්ද, ගීත ගායනයෙන් ෆර්හාන් ශාන්, රෙසංජනී තමෝද්‍යා, සධානි අප්සරා කල්හාර සහ රුචිර නදීර ද, නර්ථන නිර්මාණයයෙන් නිලාන් මලිගැස්ප සහ ඇඳුම් නිර්මාණයෙන් නිපුන් චතුරංග ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු