කාවඩි කූනන්ලාගේ ජීවිත පටන් ගන්නේ මුරුගන්ගෙනි. මුරුගන් නැතිනම් කාවඩි කූනන්ලාගේ අසම්පූර්ණය. එහෙයින් බොහෝ ජීවිතවල ආලෝකය වෙනුවෙන් කූනන්ලා ජීවිතාවසානයම තෙක් වැඩ කරති. කාවඩි යන අති විශේෂණ පදය කූනන්ගේ ජීවිතයට එකතු වූයේ කූනන්ගේ කුඩා වයසේදීමය. සිය සංස්කෘතියෙන් බැහැර හෝ පොදු සමාජයෙන් බැහැර අයවලුන්ට කාවඩිය නොවැදගත් එකක් වුව්වත් කූනන්ලා කාවඩියෙන් ජීවිත බොහෝ ගණනක් සුවපත් කරන්නෝය.
යාපනයේ සුප්‍රසිද්ධ නල්ලූර්, කූනන්ලා හමු වීමට යොදා ගත් වැල්වැටිතුරෛ සෙල්වසන්නදි වාගේම යාපනය නගරයේත් ඉන් ඇතුළට වන්නට සියලූම හින්දු කෝවිල්වලත් කාවඩි යනු නිරන්තර දසුනකි.
මිනිසුන් ජීවත් කරවන්නේ ආහාර නොවේ. වෙනත් භෞතික කිසිවකුදු නොවේ. මිනිසුන් ජීවත් කරවන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුය. ආසියාතිකයින් පමණක් නොව බොහෝ දෙනකුගේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා සමග පැහැදිලි සංගණනයකට යා හැකි ක්‍රමයක් ඇත්තේය. ඒ සමස්ත සිද්ධස්ථානවල දැල්වූ ඉටි පහන්, බෝ ගස් - පඬුරු පෙට්ටි - කොඩි ගස් හා මෙකී නොකී තැන්වල ගැට ගැසූ භාර ගණනය කිරීමෙනි.
කූනන්ලා උදව් වන්නේ මෙවන් භාර හාර වූ බලාපොරොත්තු සහිත හින්දු ආගමිකයින්ටය. කාවඩි යනු හින්දු ආගමිකයින් භාර හාර ඔප්පු කිරීමට යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේය. යාපනය සෙල්ව සන්නදි කෝවිල අවට වෙඩි හඬ වෙනුවට දැන් කෝවිල අවට පංච තූර්ය රාව ප්රතිරාව නැංවේ.
යාතිකා කියමින් මිනිස්සු කෝවිල වටා බිම පෙරළෙති. වැඳ වැටෙති. නොනවත්වා කාවඩි නටති. නුවර පෙරහැරේ නටන නැට්ටුවන්ට වාගේ කාවඩි නටන, ගයන කූගන්ලාගේ කාණ්ඩවලටද ඉතිහාසයක් ඇත. පැවැත්මක් ඇත. ගැඹුරක් ඇත. නමුත්, පරම්පරා කිහිපයකට එහා පැවතියා සේ එය සාම්ප්‍රදායිකව නඩත්තු කිරීමට ක්‍රමවේදයක් නැත. කෙසේ නමුදු දෙවියන්ට තුති පුදන්නට ඇප කැප වන කාවඩිකරුවන් හින්දු කෝවිලේ මූර්තියක් වන්නේය. ඔවුන්ට සිය සාම්ප්‍රදායික රැකියාවෙන් බැහැර යාමට ඉඩක් නැත්තේ හින්දූන් තුළ ඇති දේව භක්තිය අඩු නොවීම හේතුවෙනි.
"අපි පරම්පරාවෙන්ම කාවඩිකරුවන් වශයෙන් කටයුතු කරන්නන්. පරම්පරා කිහිපයකට පෙර මේ රැකියාවට වටිනාකමක් ලැබුණා. දැනුත් එහි අඩුවක් නැහැ. අපි රට පුරා භාර ඔප්පු කිරීම සඳහා වූ කාවඩි නැටීම් හා කාවඩි පැවැත්වීමේ උත්සවවලට සහභාගි වෙනවා. දෙවියන් වෙනුවෙන් අපට එය සිදු කිරීමට ලැබීම භාග්‍යයක්. කාවඩි නැටීමත්, ගීතිකා ගැයීමත්, කටු අමුණා දෙමින් පරවා කාවඩි, කූත්තු කාවඩි, සෙදිල් කාවඩි කිරීමත් සිදු කරනවා. දෙවියන් වෙනුවෙන් එය සිදු කිරීම අපේ කාර්ය භාරයයි." කාවඩි කූනම් මහතා පැවසීය.
කාවඩි කිවූ පමණින් මොනර පිල්වලින් සැකසුණ සැරසිලි කර මත රඳවා නර්තනයේ යෙදීම කාවඩි නැටීම යැයි දන්නා බොහෝ දෙනකුට කාවඩි කූනන්ලාගේ කතාව ඉතා වැදගත්ය. තමන්ට ඉතිහාසයක් ඇති බවත් තම මහන්සියේ හෝ නර්තනයේ යෙදීමේ ගැඹුරක් ඇති බවත් කියා දෙන්නට සුදුස්සන් වන්නේ කාවඩි කූනන්ලා වෙති.
කෝවිල් මංගල්‍ය හින්දූන්ගේ සුප්‍රසිද්ධ මංගල්‍ය කාලයකි. සිය ජීවිතයේ වඩාත් හොඳින් සැරසෙන්නේත්, වඩාත් හොඳින් කා බී සතුටු වන්නේත් දරුවන් හා එක්ව හින්දූන්ට කාලය බෙහෙවින් ගෙවන්නට හැකි වන්නේත් කෝවිල් මංගල්‍ය කාලයට වේ. හැමදා පුරුදු පරිදි යාපනය ජනතාව කෝවිල් මංගල්‍ය කාලයට නැගිටින්නේත් උදෑසනය. ඒ දෙවියන් සමගය. දෙවියන්ටම වෙන් වූ කාමරය තුළ අශුද්ධ දේ නොතබන ඔවුන් ඒ තුළ දෙවියන් වැඳ කුංකුම තිලක නළල මත තියා දවස අරඹන්නේය. බොහෝ විට මස් මාංශයෙන් වැළකී 'සයිවර්' (නිර්මාංශ ) කෑමට පුරුදුව සිටින්නේය. කුඩා දරුවන් පවා සිය දෛනික ජීවිතය එයට හුරු කොට සිටින්නේය. කෝවිල් මංගල්‍ය සමයේදී මාස කිහිපයක් නිර්මාංශ වී සිටීම ඔවුන්ගේ පුරුද්ද වේ. යාපනය කෝවිල් භූමි හැමෙකක්ම වාගේ කියා පාන්නේ එහි බහුතර හින්දු ජනතාව දෙවියන් සමග සිය ජීවිතය බද්ධ කර ඇති ආකාරයයි. කතෝලික, ක්‍රිස්තියානි සැවොමද එම පිළිවෙත් කෙරෙහි ගරු කරමින් කෝවිල් මංගල්‍යවලට සහභාගි වෙති. බැතිමතුන්ගේ භාර හාර ඉටු කිරීමේ වගකීම ඇත්තේ කාවඩි නටන්නන්ටය. ඒ කාවඩි වර්ග හතක් හත් ආකාරයකට ඉටු කිරීමෙනි.
සාම්ප්‍රදායික කාවඩිකරුවන් නිරන්තරව කාවඩි හදමින් ඒවා කෝවිල් භූමියට රැගෙන එන්නේය. කාවඩිය යනු අර්ධ කවාකාරව සැකසුණ, මොනර පිලෙන් සැරසුණ ආම්පන්නයකි. කාවඩිය - යාපනය හින්දු මිනිසුන්ගේ ඉටු වූ ප්රාර්ථනාවල සංතෘප්තිය, සන්තෝෂය කියා පාන්නේය. සිය ඉටු වන ප්‍රාර්ථනාහි ප්රමුඛ කොටස්කරුවා වන දෙවියන් අමතක කිරීම දුර්ගුණයක් බව ඔවුහු විශ්වාස කරති. කෝවිල කුමක්ද, කොතැනද කියා නැත. කෝවිල් මංගල්‍යවලදී සෑම පවුලකම අයෙකු කාවඩියකට සහභාගි වන්නේය. කුඩා දරුවන්ට ඉසිලිය හැකි කාවඩිත්, ගැහැනුන්ට වාගේම සවි ශක්තිය ඇති පිරිමින්ට සරිලන බර සහිත කාවඩිත් කෝවිල් භූමියේ හැම අතම දකින්නට ලැබේ. මොණර පිලෙන් සැරසූ රතු සහ කොළ මිශ්‍ර කාවඩිය සැබවින්ම මුරුගන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් පිළිබඳව ශ්‍රද්ධාව වඩන බව කාවඩි කූනන් මහතා පැවසීය.
මොණර පිහාට්ටෙන් සැදුණු කාවඩි කර තබාගෙන දේව ගායනා මැද කුඩා එව්වෝ රැසක් නටමින් පෙරහැරක ඇදී එති. අව්වද, වැස්සද, තෙහෙට්ටුවද කියා ඔවුනට වගක් නොවන්නේය. කාවඩි කර මත තබා නැටීමෙන් ඔවුහු දෙවියන්ට සිය සතුට භාර කරති. සිය භක්තියේ මහිමය පෙන්වති. භාර හාර ඉෂ්ඨ වීමේ ප්‍රීතියට නැටීම ආනන්ද කාවඩි යනුවෙන් හැඳින්වේ. හින්දු කෝවිලට හඳින සාම්ප්‍රදායික කෝවිල් වේට්ටි හැඳ කාවඩි නටන කුඩා පිරිමි දරුවන් සැබවින්ම ප්‍රීතියෙන් සිටින්නේය. ඔවුන්ගේ හිස මත සිය සිරුරට දැරිය හැකි බරැති කාවඩිය. බොහෝ විට ඔවුන් කාවඩි නටන්නේ තමන් වූ භාර -හාරවලට අනුව නොව තම දෙමව්පියන්ගේ භාරවීම් ඔප්පු කිරීමටය. දරුවන් පිළිබඳ දෙමව්පියන් වූ භාර හාර තිබෙන්නේ නම් ඒවා හඳුනා ගත හැක්කේ දරුවන්ගේ කරැති කාවඩි කෙරෙනි. දෙමව්පියන්ට සිය දරුවන් ගැන ඇත්තේ මහා කැක්කුම හේතුවෙන්ම ඔවුහු දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, අනාගතය ගැන සිතා දෙවියන්ට භාර වෙති. ඒ භාර සාර්ථක වූ විට ඒවා ඔවුන් ඔප්පු කරන්නේ දරුවන් මගිනි.
දෙවියන් තමන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන බව දැඩිව අදහන හින්දූන්ට දෙවියන් වෙනුවෙන් කටුකත්වය ඉසිලීම එතරම් භාර දූර එකක් වන්නේ නැත. සිය සිරුර හිල් කොට, කොකු අමුණා ඔවුහු දෙවියන්ට කැප වන්නේ එහෙයිනි. යාපනය හින්දු බැතිමත්හු පරම්පරා භේදයකින් තොරව ඒ සඳහා සහභාගි වෙති. තමන් සහභාගි වන කෝවිලක් හෝ තම විශ්වාසය අනුව තෝරා ගත් ඕනෑම පෙරහැරක කොකු එකක හෝ කිහිපයක එල්ලී කෝවිල කරා යාම ඔවුන්ගේ භක්තිය වන්නේය; දෙවියන්ට දිය හැකි උපරිම උපහාරය වන්නේය. ඔවුන්ට වේදනාවක් නොදැනෙන්නේය. දේව භක්තිය එපමණටම උසස්ය. කොකු එකක් හෝ අටක් අතර ගණකින් එල්ලී ගමන් කිරීම කූත්තු කාවඩි වන්නේය. කොකු ගණනාවකින් එල්ලී දෑත් දෙපසට විහිදා පියාඹන ආකාරයට ගමන් කිරීම පරවා කාවඩි නමින් හඳුන්වන බව කූනන් මහතා ප්‍රකාශ කළ අතර සිය කාණ්ඩයේ කූත්තු කාවඩි කටයුතුවල නිරත වන්නන් සිටින බවත් බැතිමතුන් විසින් තමන්ම කොකු අමුණා භාර ඔප්පු කරන විට ඔවුන්ට කුකු ඇමිණීම සිය කාණ්ඩය සිදු කරන බවත් කූනන් මහතා කීවේය. කොකු අමුණා මහමග ඇවිද යමින් දේව ගීතිකා අනුව නැටීම සෙදිල් කාවඩි නමින් හැඳින්වේ. කටවල් හිල් කොට දෙවියන්ට උපහාර දීම යමෙකු දැක තිබේ නම් එයද සෙදිල් කාවඩි ගණයට අයත් වන්නේය.
ආනන්ද කාවඩියට අනුව කාවඩි කර මත තබා පෙරහැරේ නැටීම කුඩා එව්වන්ටත් වැඩිහිටි ගැහැනු - පිරිමින්ටත් පොදුය. නමුත් කාන්තා පාර්ශවය බොහෝ විට පාල් කුඩම් කෙරෙහි ඇල්මක් දක්වති. හිස මත තබා ගත් කළ රැගෙන කෝවිල වෙත පයින් යාම කාන්තාවන් වැඩියෙන්ම භාර ඔප්පු කරන ආකාරයයි.
කූනම් මහතා සමග කාවඩි ගීතිකා ගායනය කිරීමට දායක වන්නේ කේ. එම්. අරුල් මහතාය.
"බැතිමතුන් තනි මතයට කටයුතු කර කාවඩිවලට සහභාගි වන්නේ නැහැ. බැතිමතුන් තවමත් සාම්ප්‍රදායික කාවඩිකරුවන්ට එදා තිබූ ගෞරවය ලබා දෙනවා. අපිට ඒ කාර්ය කිරීමටත් ඔවුන් කරනවා නම් ඒ සඳහා අපේ සහය ගැනීමටත් බැතිමතුන් නිහතමානීයි. ඉන් දෙවියන් කෙරෙහි ඔවුන්ට ඇති ලැදියාව විද්‍යාමාන වෙනවා. බැතිමතුන්ගේ ශරීරවල කොකු ඇමිණීමේ කාර්ය ගැන අපි වගකීමෙන් ඉටු කරනවා. එය වගකීම්සහගතව අප ඉටු කරන්නේ දෙවියන් වෙනුවෙන්මයි. අරුල් මහතා කියන්නේ එසේය.
හින්දු නොවූ අයෙකුට කාවඩිය ආගන්තුක කටයුත්තක් මෙන් පෙනෙන අතර ඇතමෙක් මෙය අන්ධ විශ්වාසයක් මෙන් සලකති. යාපනයේ හින්දූන් දෙවියන් සමග ජීවත් වන්නට ඇති කර ගෙන ඇති ගිවිසුම ගරු කටයුතු වන බව අරුල් මහතා වැඩිදුරටත් පවසයි.
වර්තමානයේ සාම්ප්‍රදායික කාවඩිකරුවා බැතිමතුන්ගේ කොකු ඇමිණීමට යම් මුදලක් අය කරන්නේය. බැතිමතුන් සැමෙකෙකුගේම ජීවිතය පිළිබඳව ඔවුන් වගකීමෙන් වැඩ කරන බවට පෙනෙන්නට ඇත්තේ බැතිමතුන් එකෙකු හෝ තුවාල සිදු වී ඇති බව දකින්නට නොලැබීම හේතුවෙනි. කාවඩි වෙතින් පෙනෙන්නේ බැතිමතුන් දෙවියන් සමග ඇති කර ගත් ගිවිසුමයි. භෞතිකවාදයෙකුට මේ සම්බන්ධයෙන් වන කියවීම වෙනස් එකක් වන්නේය. යාපනය ජනතාව වසර තිහක් ගෙවී ගිය පසුත් ඔවුන් දෙවියන් වඳින්නට පටන් ගෙන ඇත්තේ එය අවසන් කළ තැනින් මිස අලුත් තැනකින් නොවේ. වඩා වැදගත් වන්නේ ඔවුන් දෙවියන් සිටින එකම ස්ථානයකට ඒකාත්මික වීමය. දෙවියන් මත හිඳ තවමත් එකිනෙකා පිළිබඳව වගකීමෙන් වැඩ කිරීමය.
යාපනයට ආවේණික ජීවිතය හැඩ ගස්වනු ලබන්නේ දෙවියන් විසින් යැයි කිවහොත් ඇතමෙකු පුදුම විය හැකිය. නමුත් ශිව, ශිවගේ පුත් මුරුගන් දෙවියන්ගෙන් තොර ජීවිතයක් යාපනය ජනතාවට නොවන්නේය. වසර තිහක් තුළදී යුද්ධය විසින් තුනී කර දැමීමට නොහැකි වූ යාපනය ජනතාවගේ සවිය වන්නේ දෙවියන්මය. දෙවියන්ට උපහාර දැක්වීමේ සිය ජීව ගුණය පෙන්වීමට හින්දු ජනතාව දක්වන ඇල්ම වඩාත් අලංකාරවත්, සාඩම්බරනීය ලෙසත් ඔවුන් පෙන්වන්නේ කාවඩි මගිනි.
කාවඩි නටන කූනන්ලාගේ ජීවිතය පිළිබඳ කතා බහ ඇරඹෙන්නේ මේ සියල්ලට පසුවය.
කූනන් සහ අරුල් යාපනය, වැල්වැටිතුරෛ, පේදුරුතුඩුව ප්රමුඛ උතුරු පළාතේ කාවඩි ගානයේ නිරත වන්නෝ වෙති. ඔවුන් සිය ජීවිකාව වන කාවඩි ගායනය සමග කාවඩි නාර්තනය සඳහාද දායක වන්නෝය. සිය මුතුන් මිත්තන්ගෙන් පැවත එන සාම්ප්‍රදායික කාවඩි ගායනය වසර තිහක යුද සමයේදී තමන්ට වඩාත් අසීරු වූ බව කූනන් මහතා කීවේය. යුද සමයේදී මිනිසුන් දෙවියන් වඳින්නට ඒම කෙසේ වෙතත් කෝවිල් මංගල්‍ය නොපැවැත්වීම කූනන්ලාට වඩාත් අසීරු ජීවිතයකට පාර කපා තිබිණි.
"ඒ වකවානුවේ මම විවිධ කුළී රක්ෂා කළා. කාවඩි නටන්න කලාතුරකින් ගියා. අපි වැඩියෙන් කරන්නේ කාවඩි භාර හාර ඔප්පු කිරීම. අපි බැතුමතුන්ගේ ශරීරවලට කටු ගසා ඔවුන්ගේ භාර දෙවියන්ට ඔප්පු කිරීමට සහය වෙනවා. අපිට කීවොත් ඔවුන් වෙනුවෙන් අපිත් ඒ භාර ඔප්පු කරනවා. යම් මුදලක් අය කිරීම ඔවුන්ට ගැටලුවක් වන්නේ නෑ. එය අපේ ජීවිකාවයි. කිසිවකුත් තුවාල් වී නැහැ අපෙන් කටු ගසාගෙන. වෙනත් කාණ්ඩවලින් කළත් ඔවුන් තුවාල වන විදිහට කටයුතු කර නෑ. මේ සියල්ල කරන්නේ දෙවියන් වෙනුවෙන් බව අපි දන්නවා." කූනන් කියන්නේ එසේය.
යාපනය ආගමික බහුතරයක් වූ හින්දූන් - දෙවියන් සමග ජීවත් වන්නේ එසේය. ඔවුහු දෙවියන්ගෙන් උදව් ලැබේය යන විශ්වාසය මත දෙවියන්ට පෙරළා කෘතගුණ දක්වති. දෙවියන් වෙනුවෙන් කැප වී සිටිති. ජීවිතයේ කොතරම් කර්තව්‍යන් තිබුණද ඔවුන් අංක එකට ගනුදෙනු පවත්වන්නේ දෙවියන් සමගය. මෙය සැබෑවක්ද යන්න තහවුරු කර ගත හැකි වන්නේ යාපනයත් කාවඩි ආශ්‍රිතව සිය ජීවිතය පවත්වන කූනන්ලාගේ ජීවිතයත් සියැසින් දකින්නකුට පමණක්ම වේ.
සටහන: ශිවන්ති ප්‍රනාන්දු ('රැස' පුවත්පතේ පළ කළ ලිපියකි)
ඡායා: දිල්හාන් විමල්ක