සුනිල් මාධව (සුනිල් අයිය) ගැන පත්තරේකට ලියපු තිස්ස කොරතොට කියල කෙනෙක් ගැන කතාවක් යනවා දැකල මේ ටික ලියන්න හිතුව. තිස්ස කොරතොට කියන්නේ 1979 ඇත්ත පත්තරේට ටයිප්සෙට කෙනෙක් හැටියට සම්බන්ධ වෙලා පසුව 1982 දිවයින පත්තරේට ගිහින් පසු කාලෙක පරිගණක අංශය භාරව ඉදල සෝදුපත් බලන වැඩවලට සම්බන්ධ වෙලා පසුව සබ් එඩිටින් කරලා තවත් කාලෙක දිවයිනට ලිපි පවා ලියපු කෙනෙක්. දිවයිනේදි සුනිල් අයියගේ අතින් ලියන ලිපි කිසිම ආයාසයකින් තොරව ටයිප් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ තිස්ස.
දිවයිනේ වැඩකරන අතරේ සුනිල් අයිය තිස්සගෙන් ලක්මිනට වැඩ කරගන්නවා. ඒ දිවයිනේ වැඩකරන අතරේ හොරෙන් වැඩකරන්නෙ. පසුව ලක්දිව, ඉන් පසුව හිරු පත්තරේ මුල් කාලේ ටයිප්සෙටින් බොහෝ විට කරගත්තෙ තිස්සට කියල. හිරු පත්තරේ හිටපු මුල්ම ටයිප්සෙටට පස්සෙ ආපු රාජිත උඩවත්ත ගේන්නෙ චින්තක බාලසුරිය. ඒ චින්තක හිරු එකට එවන්නෙ තිස්ස. පසුව හිරු පත්තරේට නොමිලේම ටයිප්සෙටින් කරන්න එන්නෙ චින්තක.
සුනිල් අයිය හිරු එකෙන් අයින් උනාට පස්සෙ පටන්ගත්ත හැම පත්තරේකටම පරිගණක වැඩ වලට කතාකළේ තිස්සට. තිස්ස කොහෙන්හරි හොයල කොල්ලො ගෙනල්ල දෙනවා. ලක්ජන, ලක්නද පත්තරවල සුනිල් අයියා නිවුස් හෙඩින් දාන්න පවරන්නෙ තිස්සට. උදේට දිවයිනේ වැඩකරල රෑ වෙනකොට සුනිල් අයිය ඉන්න පත්තරේට ඇවිත් වැඩ කරල දෙන එක තිස්සගේ පුරුද්දක්. ඒ කාලවල සුනිල් අයිය රාත්‍රියට කොස්වත්ත හන්දියට දාන්නෙ තිස්සගෙ පරණ ලඩි කාර් එකේ. ඒක නතරකරන්නෙ පල්ලමක් තියන තැනක, මොකද හැම තැනම කාර් තල්ලුකරන්න උදව් වෙන අය නැති නිසා.
පසුකාලෙක සුනිල් අයියට කරපු උපහාර උත්සවයකට සමගාමිව ඉරුදින පත්තරෙන් බෙදපු සුනිල් අයිය ගැන ලියවුන පිටු හතරක අතිරේකයක එක පිටුවක්ම ලියන්නෙ තිස්ස.
මේවගේ පිටු ගණන් සුනිල්ගෙයි තිස්සගෙයි සම්බන්ධතා ලියන්න පුළුවන්. තිස්සට බේගල් ලියන පත්තරකාරයෝ කියල ලියපු හාදයෝ දන්නෙ කතු මණ්ඩලේ සම්බන්ධකම් විතරයි. ඒත් මේ පත්තර වල ජිවත් වෙන අය දන්නවා බෙදාහැරීම්, මුල්‍ය අංශ, පරිගණක, ඉස්සර නම් පත්තර නමන, පත්තර අදින වාහන මේ හැම අංශයක් එක්කම පත්තර කාරයෝ බැදිලා හිටිය. ඇතැම් ඒවායේ අදටත් එහෙමයි. මම මේ ලියපු කාරණා හොදින්ම දන්නවා සුනිල් අයියගේ බිරින්දෑ (මනෝරා අක්ක) .
පසුව අවුරුදු 29 ක් දිවයිනේ ඉදල තිස්ස මව්බිමට යනවා. දැන් මොනරා පුවත්පතේ.
රවීන්ද්‍ර පුෂ්පකුමාර