දර්ශන අශෝක කුමාර "ලෝබ හිතෙන ජීවිතයක්" මැයෙන් සුනිල් ආරියරත්න පිළිබඳ සටහනක් ලියලා තිබුණා. සුනිල් ආරියරත්නයන්ගෙ වාසභවන දකින ඕනෙම කෙනෙක් එයට පෙම්බඳින එක, මේ මහාචාර්යවරයාගේ සැඳෑ ජීවිතය නම් අපූරුයි කියල හිතෙන එක අසාමාන්ය නැහැ.
නමුත් මොකක්ද මේ දර්ශන අශෝක කුමාර කියන්න උත්සාහ කරන්නෙ?
මොකද්ද සුනිල් ආරියරත්න කරන 'මාර වැඩේ'. මොකක්ද ඔය කියන 'උඩුගං බලා පිහිනීම'. ඔහු වසරකට එකක් චිත්රපට හදනව. ඒව ලංකාවේ ප්රේක්ෂකයො බලනවා. ඔහුට හොඳ ආර්ථික, සමාජ තත්වයක් තියනවා. තව පොත් ගොඩක් ලියල තියනවා. රටේ නම ගිය මහාචාර්යවරයෙක්. ප්රභූන් දේශපාලකයන් ආශ්රය කරල තියනව. ගීත ගොඩක් ලියලා තියනවා (මං ඔහුගෙ ගීතවලට කැමතියි).
සුනිල් ආරියරත්නගෙ සිනමාව කලාත්මක කාර්යභාරයකට වඩා දෘෂ්ටිවාදීමය කාර්යභාරයක් කරනවා. ඒක ලංකවේ බලදේශපාලනය සමඟ එක්ව ගමන් කරනවා. ඉතින් මොකක්ද සුනිල් කරන 'මාර වැඩේ'? ඒක 'උඩුගං බලා පිහිනීමක්'ද?
ආචාර්ය දර්ශන තමන්ගෙ අදහස සාධාරණීකරණය කරන්න සාත්රෙ අරං එනවා. ඔහු ඒ සටහනෙ මෙහෙම ලියල තියනව.
“ෂෝන් පෝල් සාත්ර කියනවා වගේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය තෝර ගන්න පුළුවන්. ඒත් අපි තෝර ගන්නේ අනුන්ට ඕන ජීවිතය. සාත්ර කියන්නේ ඒකට Bad Faith කියලා.”
මේකෙන් දර්ශන කියන්නෙ සුනිල් ආරියරත්න තමන්ට ඕනෙ ජීවිතය තෝරගෙන කියන එකද? ඒ නිසා ද සුනිල් මාර වැඩක් කරනව වෙන්නෙ?
මේක නිදහස පිළිබඳ දාර්ශනික අදහසක් වගේ පෙනුණට ඉතාම අදේශපාලනික අදහසක් කියලයි මම නම් හිතන්නෙ. තමන්ට ඕනෙ ජීවිතය තෝරා ගැනීම කියන එක පවා තීරණය වෙන්නෙ ව්යුහයන් ඇතුළෙ. එතනදි ඉහළම තෝරාගැනීම පවා කතිකාවක් විය හැකියි. “මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය තෝර ගන්න පුළුවන්” කියන එක අහසේ ලඹ දෙන කියමනක් නෙවේ!
බීච් සයිඩ් එකේ රේල් පාරෙ කෝච්චියක් යන විදිය ඩ්රෝන් ෂොට් එකකින් අරං පෙන්නුවාම ඒක ලංකාවෙ ලස්සන ම ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් විදියට පෙන්නන්න පුළුවන්. හැබැයි කැමරාව පහළට අරං ෂූට් කළාම ඒක වෙනමම කතාවක්. පැල්පත්, සෙනග තෙරපෙන කෝච්චි පෙට්ටි පේන්න ගන්නව. ඒක Beautiful Sri Lanka නෙවේ.
ඩ්රෝන් ෂොට් එක බලන අයට සාත්රෙගෙ කියමන වළංගු ඇති. ඒත් හෑන්ඩ්හෙල්ඩ් බලන අයට ඒක වළංගු නෑ.
කේ.ඩී. දර්ශන
ඡායා: දර්ශන අශෝක කුමාර