lan englan tam

පුවත්

මන්ත්‍රිනී කන්ගනාට කම්මුලට ගැසීම ගැන ආන්දෝලනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් දැන් නිළියක පමණක් නොවෙයි. දැන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවටත් පත්ව සිටිනවා. පසුගිය දා අවසන් වූ එරට මහා මැතිවරණයට ඇයත් තරග කළ අතර එයින් විශිෂ්ට ජයක් ලබන්නට ඇය සමත් වුණා.

මේ වනවිට 37 වැනි වියෙහි පසුවන කන්ගනා කාලයක සිටම දේශපාලනය ගැන විශාල උනන්දුවක් දැක් වූ කෙනෙකු බව බොහෝ රසිකයන් දන්නා කාරණයක්. ඇය අගමැති නරේන්‍ද්‍ර මෝදිට සහ ඔහුගේ පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයටයි සහය දැක්වුවේ. කන්ගනා පසුගිය දා මැතිවරණයට ඉදිරිපත් වූවේත් එම පක්‍ෂයෙනුයි. තමා උපන් ප්‍රදේශය වන හිමාචල් ප්‍රදේශ් නමැති ප්‍රාන්තයේ මන්ඩි නමැති ආසනයෙන් තරග කළ ඇය ජයග්‍රහණය කළේ ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා වැඩි ඡන්ද 74,000කින් පමණ පරාජය කරමින්. ඇය උපත ලැබූ මේ ප්‍රදේශය පිහිටා ඇත්තේ උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආසන්නයේ යි.

කෙසේ හෝ වේවා, මැතිවරණයෙන් ජය ගෙන දින දෙකකට පසු කන්ගනා එක්තරා ආන්දෝලනාත්මක සිද්ධියකට මුහුණ දුන්නා. එනම් එක්තරා කාන්තාවකගෙන් ඇයට කම්මුල් පහරක් එල්ල වීමයි. මේ සිද්ධිය සිදුවී තිබුණේ ඇය මැතිවරණයෙන් පසු ඇයගේ ප්‍රදේශයේ සිට නවදිල්ලි නුවර බලා පැමිණෙමින් සිටියදී යි. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට කන්ගනා මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ චන්දිගාර් නමැති නගරයේ ගුවන්තොටුපළක දී යි.

ඇයට කම්මුල් පහර එල්ල කර තිබුණේ අරක්‍ෂක නිලධාරිනියක් බවයි සඳහන් වුණේ. මෙම නිලධාරිනියගේ සේවය අත්හිටුවා තිබූ අතර ඇය අත්අඩංගුවටත් ගෙන තිබුණා. කුල්වින්දර් කවුර් නමැති මෙම ආරක්‍ෂක නිලධාරිනිය කන්ගනාට පහර දී තිබුණේ ගුවන්තොටුපළේ ආරක්‍ෂක ෙදාරටුවක දී ඇයව පරීක්‍ෂාවට ලක් කරමින් සිටින අතර යි.

මාධ්‍ය වාර්තාවල සඳහන් වූ ආකාරයට ආරක්‍ෂක නිලධාරිනිය කන්ගනාට පහර දීමට හේතුව කලකට පෙර කන්ගනා කර තිබූ මතභේදාත්මක ප්‍රකාශයක්. ඇය ඉහත කී ප්‍රකාශය කර තිබුණේ 2020 වසරේ ඉන්දියාවේ ගොවි ජනතාව මෝදි රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පවත්වමින් සිටිය දී යි. ඇය මෙම ගොවීන්ට අපහාස වන ආකාරයෙන් ඇතැම් ප්‍රකාශ කර තිබූ ආකාරයක් දැකිය හැකි වුණා. වරක් ඇය පවසා තිබුණේ මෙම විරෝධතා දක්වන්නේ ගොවීන් නොව ත්‍රස්තවාදීන් බව යි.

සමහරුන් රුපියල් 100ක් වැනි මුදලකටත් මෙම විරෝධතාවලට එක් වන බව ද තවත් අවස්ථාවක ඇය සඳහන් කර තිබුණා. ඇය මෙම ප්‍රකාශ කර තිබුණේ ඇගේ සමාජ මාධ්‍ය පිටු හරහා යි. කෙසේ නමුත් මෙම ප්‍රකාශවලට එරෙහිව විශාල විරෝධයක් එල්ල වෙද්දී කන්ගනා ඒවා ඉවත් කර ගත්තා.

චන්දිගාර් ගුවන්තොටුපළේ දී ඉහත කී නිලධාරිනිය කන්ගනාට පහර දීමේ සිද්ධියෙන් දිනකට පසුව කන්ගනා ඒ සිද්ධිය ගැනත් සිය X පිටුවේ සටහනක් යොදා තිබුණා.

“මට පහර දුන්නේ ඇයි කියා මම ඇයගෙන් ඇසුවා” යයි කන්ගනා එහි ලියා තිබුණා. “ඇය එවිට කීවේ ඇය ගොවීන්ට සහය දක්වන්නියක බවයි” කන්ගනාගේ සටහනේ එසේ ද සඳහන්ව තිබෙනු දැකිය හැකි වුණා. මෙම නිලධාරිනිය පවසා තිබුණේ ඇයගේ මව ද ඉහත කී ගොවි විරෝධතාවට සහභාගි වූ බවයි. මෙම නිලධාරිනිය ගොවි පවුලක කෙනෙකු බවයි පෙනුණේ.

කන්ගනා කොහොමටත් ඉතා ආන්දෝලනාත්මක, මතභේදාත්මක ප්‍රකාශයන් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නියක බව ඇගේ රසික රසිකාවියන්ට අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි.

ඇයගේ ආන්දෝලනාත්මක සිනමාපටයකුත් ළඟ දී ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි. එහි නම Emergency. මෙහි කන්ගනා රඟපාන්නේ ඉන්දියාවේ හිටපු අගමැතිනියක වූ ඉන්දිරා ගාන්ධි ගේ චරිතය යි. මෙම චිත්‍රපටය තිරගත වීමටත් පෙරම ඇතැම් පාර්ශ්ව එය විවේචනය කර තිබෙනු දැකිය හැකි වුණා. ඉන්දිරා ගාන්ධි අයත් වූ කොංග්‍රස් පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වරක් පවසා තිබුණේ කන්ගනා මෙම චිත්‍රපටය නිර්මාණය කළේ ඉන්දිරා ගාන්ධි අපකීර්තියට පත් කිරීමට බවයි. කොංග්‍රස් පක්‍ෂය කන්ගනා අයත් වන භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා යි.

Emergency චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේත් කන්ගනාමයි. මෙම චිත්‍රපටය තිරගත වන දිනයක් ගැන තවමත් ප්‍රකාශයට පත්ව නැතත් ළඟදීම එය ප්‍රේක්‍ෂකයන් හමුවට එනු ඇති බවයි පැවසෙන්නේ.

කසුන් අරවින්ද - සිළුමිණ - රසඳුන අතිරේකයට කළ ලිපියකි

Back to top
Go to bottom

Popular News