සයිමන්ගේ සැබෑ ලෝකයත් සාහිත්ය ලෝකයත් යනු දෙකක් නො වී ය. ඔහු හැම විටම තමාගේ නිර්මාණයට අවංක වී ය. සයිමන් නවගත්තේගම සිය රූපකායෙන් අභාවිත වුව ද ඔහුගේ කෘති අදත් සමාජය තුළ හුස්ම ගනිමින් පවතින්නේ ඒවා ඔහුගේ අවංක අත්විඳීම්වලින් සාරවත් වූ හෙයිනි;එම අත්විඳීම් නිර්ව්යාජ ලෙස ම ඉදිරිපත් කළ හෙයිනි . ඔහුගේ පොත් කියවන විට විල්පත්තු මහ වනය අසල, ඔහුගේ ගමේ ජීවත් වූ අනේකවිධ ගැමියන්ගේ මුහුණු අපට පෙනේ; ඔහු සමග මධුවිත තොලගෑ මිතුරන්ගේ සාද තෙපුල් හඬ අපට ඇසේ; ඔහු ඇසුරු කළ ගාඩි මිනිසුන්ගේ දාඩිය කුයිල අපට දැනේ; ඔහුට සම්මුඛ වූ ගැහැනුන් හා මිනිසුන්ගේ කිකිණි සිනා හඬ මෙන්ම සෝ සුසුම් හඬ ද අපට ඇසේ; ඔහු සමග බුදියාගත් ගැහැනුන්ගේ කාම කෙඳිරිලි හඬ මෙන්ම රජස් චලනයේ දී උමුතුවෙන් කළ කෑගැසීම් හඬ අපට ද දැනේ .
නවගත්තේගමයෝ නිර්මාණකරණයේදී සිය නිර්මාණ තුළ ම ජීවත් වූහ. ඔහුගේ සුබ සහ යස වේදිකා නාට්යයේ යස හෙවත් යසලාලකතිස්ස රජුගේ චරිතය නිරූපණය කළේ ද ඔහු ම ය. සයිමන් යස ගේ චරිතය රඟපෑවේ යැයි කිවහොත් එය අසත්යයකි. සත්ය නම් සයිමන් යස ගේ චරිතය රඟ නො පෑවේ යන්න ය. ඔහු ඒ චරිතයේ ජීවත් වූයේ ය. රජුගේ ස්ත්රීලෝල ය, මධුලෝල ය, සෙල්ලක්කාරගතිය සයිමන් නිරූපණය කළේ නිරායාසී ගුණයෙනි.
"රජු: - ලෝක පාලනය කරන දෙවියනි - ඔබගේ රජතුමා මේ වන්දිභට්ටයන් ගෙන් ආරක්ෂා කර වදාරනු මැනවි.
දුවපියව් යන්න - මං හිතන්නේ හෙළ රාජ පරම්පරාවක් ම පිරිහිලා ගියේ මේ වන්දිභට්ටයෝ හින්දා..........
වන්දි : - අවසර පස්වාන් දහසක් බුදුවන්ට - අපේ නින්දගම භුක්ති විඳින්ට පුළුවන් වන්දි භට්ටකම් රාජකාරි කරන තාක් පමණයි.
රජු : - ඔව් - ඔව් - තොපිත් ලොකු අමාරුවක වැටිල තමයි ඉන්නේ......"
යසගේ චරිතය සයිමන් ගෙන් පසු ප්රවීණ වෘත්තිය නළුවන් කීප දෙනෙකු ම නිරූපණය කළ ද ඔවුන්ට සයිමන්ගේ නිරූපණයට අලගු තබන්නටවත් නො හැකි විය. සයිමන්ගේ රංගනයේ තිබූ චැප්ලීනියානු දුලබ හාස්ය වෙනුවට "ටෙනිසන් කුරේ" පන්නයේ සුලබ ගොරහැඩි හාස්යයක් මතු කර මේ ප්රවීණ නළුවෝ නාට්යයේ එන පරිදි සුබ විසින් ගෙළ කපා ඝාතනය කිරීමටත් පෙර ම යසගේ චරිතය ඝාතනය කළහ.
මහාවංශය නම් වීර කාව්ය යසගේ චරිතය නිරූපණය කරනුයේ මුග්ධ කවටයෙකු ලෙස ය. නමුත් සයිමන් යසව දකිනුයේ ඊට වෙනස් ආකාරයකිනි.
" තමාගේ රජ පදවිය විහිළුවක් කොට සලකා කවටකමකට ගොස් බෙල්ල කප්පවාගත් යසලාලකතිස්ස පැරැන්නන් විසින් මෝඩයෙකු කොට සලකනු ලැබීම පුදුමයක් නොවේ. රජ පදවිය හිස් දෙයක් සේ සලකා පෙර සිරිසඟබෝ රජ කළාක් මෙන් වනගත වූවා නම්, ඔහු තේරුම් ගන්නට පැරණි හෙළ ජනතාවට පහසු වන්නට තිබුණි. යසලාලකතිස්ස, බෞද්ධ චර්යාව පිළිපැදීමට තරම් සුදුසු නො වූ, අමුතු මානසික තත්ත්වයක් ඇත්තෙකු ලෙසනි ඔවුන් දුටුවේ.........."
නවගත්තේගම යසලාලකතිස්ස රජු දෙස හෙළන දෘෂ්ටිය ඔහුගේ උමතු ප්රඥාව විශද කරන්නකි.
සයිමන් තුළ තිබූ උමතු ප්රඥාව ඔහුගේ මුල් ම කෘතියේ සිට ම දැකිය හැකි ය. සයිමන් වයස 19 දී නිර්මාණය කළ "මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව" නම් කෙටිකතා සංග්රහයේ එන "ඔහුගේ කතාව" නම් කෙටිකතාව තුළ ඔහු උමතු ප්රඥාවෙන් යුතුව අප අභියස නැගී සිටී.
" මම නිකම්ම නිකං බේබද්දෙක් කියලා නේද ඔබ හිතන්නෙ...? කමක් නෑ... ලෝකයා මොනවා කීවත් කෙරුවත්, මාත් ඔබත් ලෝකයේ අනිත් කොයිම මිනිහෙක් වුවත් අතර වැඩි වෙනසක් නෑ.....තේරුණා ද? මගේ ඇඳුම් වැරහැලි බව ඇත්ත... නමුත් ඔබේ ඇඳුම් පිරිසුදුයි. මොකද්ද වෙනස...? ඔබ ලෝකයාට ඕන විදිහ ඇඳුම් පැළඳුම් කරනවා ... ජීවත් වෙනවා... මම මට ඕනෑ හැටියට ජීවත් වෙනවා.... මම කිසිම උත්සාහයක් ගන්නේ නෑ සමාජයට ඕන හැටියට වැඩ කරන්න එච්චරයි......
මොන විදියෙන් සැරසිලා හිටියත්, මොන සුවඳ විලවුන් මුණෙ තවරාගෙන හිටියත් ඒ හැම ගැහැනියෙකුගේම, හැම මිනිහෙකුගේම මුහුණක් දිහා බලපුවාම එක පාරටම පේන දෙයක් තමා ඒ හැම මූණකම මහා හිස්කමක් කැවිලා තියෙන බව. අපි මේ සේරම කරන්නේ මේ හිස්කම වහගන්න තේරුණා ද? මහත්තයා පොත් පත් බලනව ඇති - ඉගෙන ගන්නව ඇති - තව කෙනෙක් ආගම ධර්මය අදහනවා - සිල් ගන්නවා - තව කෙනෙක් සිනමා බලන්ට යනවා - තව කෙනෙක් ගණිකා මඩුවෙ පැය විසිහතර ම ගෙවනවා - මම බෝතලේ තුරුල් කරගෙන දවස් ගත කරනවා - අපි සියලු දෙනාම මේ සියල්ලම කරන්නේ අර හිස්කම වසාගන්න..... ඒ හින්දා සිල් රකින කෙනෙකුත් මාත් අතර පරමාර්ථ වශයෙන් කිසිම වෙනසක් නැහැ......."
මේ ඉන්නේ සයිමන් නවගත්තේගම නම් උමතු ප්රාඥායා ය. ඉතින් ඔහු උමතු ප්රඥාවෙන් ජීවිතය විනිවිද දුටු, සංස්කෘතික හෝ අසංස්කෘතික කිසිදු සීමා බන්ධනයකට කොටු නොවූ, අපා - දෙපා - සිවුපා - බහුපා ආදී සතා සීපාවන් කෙරෙහි මතු නොව ගහ - කොළ - ඇළ - දොළ ඇතුළු ජීව අජීව ලෝකය කෙරෙහි අසීමිත ආදරයක් දැක්වූ මහා මුනිවරයකු නොවන්නේ ද?
 
රවි කළුපහණ
( මෙම ලිපිය සංවාදයට විවෘතයි.
මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය)