සිංහල සිනමාව තව තව දියුණු වේවී. හොඳ ෆිල්ම් හැදේවි. අපිත් ඒවා ගැන කතා කරාවි. ලියාවී. ඒත් මේ ෆිල්ම් එකේ අවසන් මොහොතෙ පෙන්නන මේ වැළඳගැනීම තමයි මගේ ප්‍රියතම සිංහල සිනමාවෙ මොහොත වෙන්නෙ.
කමල් කියන්නෙ විශිෂ්ට නළුවෙක්. සංගීතා ලස්සන දක්ෂ නිලියක්. ඒ දෙන්නා මීට කළිනුත් එකට රඟපෑවා. ආයෙත් සමහරවිට රඟපායි. ඒත් මේ ක්ලිප් එකේ පේන ඒ වැළඳගැනීම ආයේ කිසිදාක එයාලට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන එකක් නැහැ.
(ජයන්ත චන්ද්‍රසිරි තව තවත් ආදරේ සහ සම්බන්ධතා ගැන ෆිල්ම් හැදුවොත් හොඳයි)
මේ ෆිල්ම් එක මම බැලුවෙ ටීවී එකෙන්. මේ අන්තිම වැළඳගැනීම බලලා මට ඇඬුණා. ඇයි ඇඬුවෙ කියලා මම දන්නෙ නැහැ. එක්කො මම දන්නවා සහ ඒ ගැන මම වැඩිය හිතන්නෙ නැහැ (ෂුවර් නැහැ). අඬලා මම ෆේස්බුක් එකේ පොඩි නෝට් එකක් ලිව්වා ඒ වැළඳගැනීමේ මොහොතෙ ෆොටෝ එකක් දාලා. ඒ පොඩි නෝට් එක 600ක් විතර ශෙයාර් කරලා තිබ්බා. එක එක අයගෙන් මැසේජස් ආවා එයාලටත් ඒ මොහොතෙදි ඇඬුණා කියලා. ඒ අතරෙ වයසින් සීයා කෙනෙක් වෙන මහත්මයෙක් මැසේජ් එකක් එවලා තිබ්බා
" දූ, කවදාවත් ඒ වැළඳගැනීම නොලැබී ගිය තරුණ මනුස්සයා මමයි. ඒක නිසා දැන් මගේ පපුව හිස්. ඔයාලගෙ පරම්පරාවෙ දරුවො හිතනවා ඕනවට වඩා හැඟීම් දැනීම් නැතුව පපුව හිස් කරගන්න එක තමයි දිනුම කියලා. ඔයාලා ඒකට මින්ඩ්ෆුල්නෙස්ස් කියලා නමකුත් දෙනවා. හැබැයි පපුව හිස් වෙන එක තරම් පරාජිත වේදනාවක් තව නැහැ කියලා මේ මහළු මිනිහා ඔයාට කියලා තියන්න ඕනේ. ඒ නිසා පපුව පිරෙන්න හැඟීම් විඳින්න. ආදරේ කරන්න. අඬන්න. රිදුණම අඬන්න. ඒත් හිස්කම දිනුමක් හැටියට සලකන තත්වෙකට යන්නෙපා. මේක ලියලා එවන්නෙ එහෙම සලකලා පරාද වුණු මිනිහෙක්" කියලා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ ආදි විද්‍යාර්ථියෙක් එයා. මට නාදුනන අයගෙන් ඇවිත් තියෙන මැසේජස්වලින් මාව වඩාත් කම්පනයට පත් කරපු මැසේජ් එකක් තමා ඒක.
ජයන්ත චන්ද්‍රසිරිට පුළුවන් එහෙම තත්වයන් නිර්මාණය කරන්න. කමල්ට සහ සංගීතට ස්තූතිවන්ත වෙන්න, මම ආයේ කවදාවත් මේ ෆිල්ම් එකනම් බලන්නෙ නෑ. ඒත් කිසිදාක අමතක වෙන්නෙත් නැහැ ♥️
ෂේනු පෙරේරා