lan englan tam

විශේෂාංග

පශ්චාත් ජනපතිවරණය සහ පත්තර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

(උතුර නැ‍ගෙනහිර සහ වතුකරයේ ජනතාව ඇතුළු ආන්තීකරණයට ලක්වු ජන කොටස්වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව උතුරේ දකුණේ දේශපාලන වේදිකාවල මතුවන සංවාද සහ අදහස් දැක්වීම් සිංහල දෙමළ ඉංග්‍රීසි පත්තරවල පිළිඹිබු වන්නේ කෙසේද යන්න පිළිබඳව කරන අධ්‍යයනයක හත්වැනි ලිපිය. මෙම ලිපිය සඳහා මූලිකව පාදක වන්නේ සැප්තැම්බර් 23 වැනිදා සිට 30 වැනි දා දක්වා භාෂා ත්‍රිත්වයෙන් තෝරාගත් පුවත්පත් නියැදියකි.)

පශ්චාද් මැතිවරණ සමයේ උතුර නැ‍ගෙනහිර ජනතාවගේ අපේක්ෂා දෙමළ පත්තර පිටුවල ලියැවුණු අයුරු

ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත්වීමෙන් පසු එළැඹුණු සතියේ දෙමළ පුවත්පත් තුළ දැක්වුණු පිළිබිඹුව මූලිකව කොටස් දෙකකට වෙන් කළ හැකිය. එක් පාර්ශවයක් කළේ මෙතෙක් පැවති පාලන තන්ත්‍රය අහෝසි කර දමා පත් වූ නව ජනාධිපතිවරයාට සුබ පතමින් ඔහු පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් ඇතිව අදහස් දැක්වීමය. අනෙක් පාර්ශ්වය තමන් නියෝජනය කළ දේශපාලන මතවාදය, අපේක්ෂා කළ අන්දමින් ජයග්‍රහණය නොකළ නිසා පත්වන ඉච්ඡා භංගත්වය ප්‍රකට කරන අතරවාරේ, නව මානයක ‍දේශපාලන ක්‍රියාමාර්ගයක ඇති අවශ්‍යතාව පිළිබඳව ප්‍රකාශ කර සිටිමය.

‘අනුර කුමාර දිසානායක මෙරට 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.’ යන සිරස්තලයෙන් සහ ‘දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගයෙන් දැවැන්ත ජයග්‍රහණයක්’ යන අනුසිරස්තලයෙන් යුතුව සැප්තැම්බර් 23 වැනි දා රජයේ දෙමළ පුවත්පතක් වන තිනකරන් පුවත්පතේ විශාල ඉඩක පුවතක් පළ වී තිබුණි.

සැප්තැම්බර් 23 වැනි දා කාලෙයිමුරුසු, තිනකරන්, පුදියසුහන්දිරන් යන පුවත්පත්වල පිළිවෙලින් 5,3, 7 යන පිටුවල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නව ජනාධිපතිවරයාට ඔහුගේ නිල X සමාජ මාධ්‍ය අඩවිය ඔස්සේ කරන ලද සුබ පැතුම් පණිවිඩයක් සහිත වාර්තාවක් පළ කර තිබුණි. ඔහු එහි සඳහන් කොට තිබු‍ණේ ‘අනුරගේ ජයග්‍රහණය සමාජ සාධාරණත්වය වැළඳ ගන්නා නව ශ්‍රී ලංකාවක ආරම්භය වනු ඇත,’ යන්නය.
සැප්තැම්බර් 24 වැනි දා කාලෙයිකදිර් 5 වැනි පිටුවේ සහ ඊළනාඩු පුවත්පතේ 12 වැනි පිටුවේ පළවුණු වාර්තාවක, නැගෙනහිර පළාත්සභාවේ හිටපු මන්ත්‍රී මුරුගේසු රාජේෂ්වරන්, නව ජනාධිපතිවරයා ජාතිවාදී නොවන පාලනයක් ගෙනයනු ඇතැයි කී බවත්, අම්පාරේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳනු ඇතැයි බලාපොරොත්තු පළ කළ බවත් සඳහන් කොට තිබුණි.

එදිනම ඊළනාඩු පුවත්පතේ 7 වැනි පිටුවේ දෙමළ දේශපාලකයන් දෙදෙනෙක් අදහස් දක්වා තිබුණි.

එම්. ඒ සුමන්දිරන් පවසා තිබුනේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශාල ප්‍රගතිශීලී පියවරක් වන අතර, ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කළ හැකි සියලු කටයුතුවලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පෙන්වා දි තිබුනේ දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය විශාල වෙනසක් ඇති කරන බවත් ඔහුට ශ්‍රී ලංකාව, දූෂණයෙන් වංචාවෙන් තොර පිවිතුරු රටක් බවට පරිවර්තනය කළ හැකි බවට විශ්වාස කරන බවත්ය. එසේම දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සිහි කැඳවීමක් ද කර තිබුණි.

එසේම සැප්තැම්බර් 25 වැනි දින තමිලන් පුවත්පතේ 6 පිටුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් පැවසූ අදහසක් වාර්තා කර තිබුනි. නව ජනාධිපතිවරයාත් මේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කළ අතර ඔවුන් ද ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කළ යුතු බවය. එසේම ජනතා විමුක්තිය මැනවින් අවබෝධ කරගත් පුද්ගලයකු ලෙස ඔහු දෙමළ ජනතාවට ජීවත්විය හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට තවදුරටත් සදහන් කොට තිබුණි.

සැප්තැම්බර් 23 වැනි දා කාලෙයිමුරුසු සහ කාලෙයිකදිර් පුවත්පත් වල පළමු පිටුවේ, පොදු අපේක්ෂයකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාව දරුණු ලෙස අසාර්ථක වී ඇති බවට එම්. ඒ සුමන්දිරන් චෝදනා කරන අතර, මින් මතුවට එවැනි උත්සාහයන් නොගෙන දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සාධනීය උත්සාහයක යෙදිය යුතු බව ඉල්ලා සිටින වාර්තා පළ වී තිබුණි.

සැප්තැම්බර් 25 වැනි දා ඊළනාඩු පුවත්පතේ 4 වැනි පිටුවේ මැතිවරණ ප්‍රතිපලය පිළිබඳව කණස්සල්ල කියා පාන අතරවාරේ නව ‍දිශානතියකට හැරුණු දෙමළ දේශපාලන ගමන් මාර්ගයක් පිළිබද අවශ්‍යතාව පිළිබිඹු වෙන වාර්තාවක් පළ වි තිබුණි. එහි මුලිකව විමසුමට නඟා තිබුනේ, දකුණේ සිංහල ජනතාව කිසියම් වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිතා කොට තිබුණත් දෙමළ ජනතාව එවැනි වෙනසකට සූදානම් ද යන්නයි. එම වාර්තාවට අනුව සම්ප්‍රදායික දෙමළ නායකත්වය සිය නොහැකියාව පෙන්නුම් කර ඇත. එහෙත් දෙමළ ජනතාව ඔවුන්ට දිගටම සහයෝගය දෙති. එම වාර්තාවේ අවධාරණය කොට තිබුනේ, දෙමළ ජනතාව තවදුරටත් වෙනසක් ගැන නොසිතන්නේ නම් ඔවුන්ට දේශපාලන විමුක්තියක් නැති බවය.

 

පශ්චාද් මැතිවරණ සමයේ දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්

ජනාධිපතිවරණය අවසන් වීමත් සමග, මැතිවරණ ව්‍යාපාරය සක්‍රියව පැවතුණු කාලයේ දකුණේ දක්නට තිබුණු මහා මාධ්‍ය ඝෝෂාව එකවරම පහව ගිය අතරම ප්‍රධාන දහරාවේ පුවත්පත්වලට ද උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව පිළිබඳව ද එකවරම අමතක වූවාය සේය. පශ්චාද් මැතිවරණ සමයේ එළැඹුණු පළමු සතියේ, දකුණේ සිංහල ඉංග්‍රීසි ප්‍රධාන දහරාවේ පුවත්පත් වල එම ජනතාව පිළිබඳව වාර්තා පළ වුයේ නැති තරම්ය. සිංහල පුවත්පත් අතරින් දෙමළ ජනතාව පිළිබඳ කුඩා වාර්තා එකක් හෝ දෙකක් පළ වී තිබුණේ මව්බිම පුවත්පතේ පමණි. එහෙත් සිංහල පුවත්පත් වලට සාපේක්ෂව ඉංග්‍රීසි පුවත්පත් උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ප්‍රවණතා පිළිබද වාර්තා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබුනි.

ද ඩේලි මෝර්නින් පුවත්පතේ සැප්තැම්බර් 23 වැනිදා පළමු සහ දෙවැනි පිටුවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් විසින් දෙමළ පොදු අපේක්ෂකත්වය සහ එහි දේශපාලන ගමන් මග පිළිබඳ අදහස් දක්වන වාර්තාවක් පළ කර තිබුණි. ඔහු ප්‍රථමයෙන් දෙමළ යනුවෙන් ජනතාවක් ඉන්නා බව පිළිගැනීමත්, 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කරන ලෙසත් නව ආණ්ඩුවෙන් ඉල්ලීම් කර තිබුණි. උතුර නැ‍ගෙනහිර දෙමළ ජනතාව ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානයකට වඩා රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන ජාතික ජනබලවේගය දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්ට විරුද්ධව වැඩ කළ නිසා යැයි සිහිපත් කොට තිබුණි. එම වාර්තාවට අනුව ඡන්ද ප්‍රමාණය තරමක් අඩු සංඛ්‍යාවක් වුවත්, දෙමළ පොදු අපේක්ෂකයා යනු දෙමළ ජනතාවගේ එක්සත් වීම සළකුණු කරන්නක් බව ඔහු පවසා තිබුණේය. එසේම සිංහල ජනතාව රටේ කිසියම් වෙනසක් උදෙසා ඡන්දය පාවිච්චි කළා සේම දෙමළ ජනතාව ද එවැනි වෙනසට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළ බව සඳහන් කොට තිබුණි.

සැප්තැම්බර් 24 වැනි දා සි‍ලෝන් ටු‍ඩේ පුවත්පතේ තුන්වැනි පිටු‍වේ ‘මුස්ලිම් සහ දෙමළ පක්ෂ නව ජනාධිපතිවරයාට සුභ පතයි’ යන සිරස්තලය යටතේ වාර්තාවක් පළ වී තිබුණි. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) මහ ලේකම් සහ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාද, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (ACMC) සභාපති සහ හිටපු අමාත්‍ය අමීර් අලි වැනි විවිධ දේශපාලන කඳවුරුවල සිටි මුස්ලිම් සහ දෙමළ පක්ෂවල නායකයන් දැක්වූ අදහසක් එහි පළකර තිබුණි. එම නායකයන් නව ජනාධිපතිවරයාට සුබ පතා තිබුණු අතර, පොදු කාරණයක් ලෙස සඳහන් කොට තිබුණේ රටේ බහුතරයක් ජනතාව තැබූ විශ්වාසය කඩ නොකර, නව ජනාධිපතිවරයා රටේ ආර්ථිකය නංවන අතරවාරයේ ජනවර්ග අතර සංහිඳියාව ඇතිකිරීමටත් සියළු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමටත් මැදිහත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවයි.

එදිනම මව්බිම පුවත්පතේ පළමු පිටුවේ, දෙමළ අපේක්ෂකයා පිළිබඳ දෙමළ ජනතා සභාව දැක්වු අදහස් වාර්තා කිරීමට ඉඩක් වෙන් ‍කොට තිබුණි. එහි සිරස්තලය වූයේ “පොදු අපේක්ෂකයා උතුරු නැගෙනහිර එක් කළා - දෙමළ සභාව” යන්නය.

නීතියෙන් වෙන්කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් හදවතින් එක් කළ ජනාධිපති අපේක්ෂකයා පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් බව දෙමළ ජනතා සභාව ප්‍රකාශකොට තිබුණි. එම වාර්තාවේ සඳහන් වූ පරිදි ඔහු ඉදිරිපත් වූයේ දෙමළ ජනතාවගේ අභිලාෂය ලොවට පෙන්වා දීමටය. එම සභාව නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපැතූ අතරම රටේ බහුසංස්කෘතිකවාදය රැකගැනීමට හැකිවන්නේ, දෙමළ ජනතාවගේ පැවැත්ම මෙන්ම ස්වයං නිර්ණය සදහා අයිතිය පිළිගැනීමෙන් පමණක් බව ද සිහිපත් කර තිබුණි.

ඉංග්‍රීසි පුවත්පත් දෙකක් වන ඩේලි මිරර් සහ සිලෝන් ටුඩේ පුවත්පත් වල පිළිවෙලින් සැප්තැම්බර් 24 සහ 25 යන දෙ‍දින තුන්වැනි පිටුවල දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ ප්‍රකාශයක් සහිත වාර්තාවක් පළ කර තිබුණි. එම වාර්තා දෙකේම මුඛ්‍ය අදහස වූයේ ෆෙඩරල් විසඳුමක් පිළිබද සාකච්ඡා කිරීමට එකඟතාව පළ කරන්නේ නම් නව ජනාධිපතිවරයාට සහාය දීමට එම පක්ෂය සූදානම් බවයි. එම වාර්තාවේ තව දුරටත් සඳහන් වී තිබුනේ, සිංහල ජනතාව ඡන්දය පාවිච්චි කොට තිබුණේ වෙනසක් ඇති කිරීම සඳහාය, එම නිසා, එම නව පාලන තන්ත්‍රය දෙමළ ජනතාව සමඟ අර්ථාන්විත ලෙස දේශපාලනයේ නියැලීම පිළිබඳව ද නව ආරම්භයක් ගනිවී යැයි එම පක්ෂය අපේක්ෂා කරන බවය.

සැප්තැම්බර් 26 වැනි දා සිංහල ඉංග්‍රීසි කිසිදු පුවත්පතක දෙමළ හෝ මුස්ලිම් හෝ වතුකරයේ ජනතාව පිළිබඳ කිසිදු පුවතක් පළ වි නොතිබුණු අතර සැප්තැම්බර් 27 දා මව්බිම පුවත්පතේ පළමු පිටුවේ මහ මැතිවරණයේදි දෙමළ මුස්ලිම් පක්ෂ එකට තරග කිරීමේ සූදානමක් ඇතිබවට මුලාශ්‍ර නොදැක්වූ වාර්තාවක් පළ වි තිබුණි.

මේ ආකාරයෙන් එම ගෙවුණු සතියේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් වල උතුරු නැගෙනහිර හෝ වතුකරයේ හෝ වෙනත් පරිධියේ ජන කොටස් පිළිබඳව පළ වී තිබුනේ දහයකට වඩා අඩු පුවත් වාර්තා ප්‍රමාණයකි. එය මැතිවරණ සමයට සාපේක්ෂව පුදුම එළවන සුළු සංඛ්‍යාත්මක අඩු වීමකි. දකුණේ නව පත්වීම්, දිවුරුම් දීම්, වෙනසක් වෙනුවෙන් ඇති දකුණේ අපේක්ෂාවන් සහ පරාජය වීමේ පශ්චාත්තාපයන් හමුවේ ගිණිකන වැටී සිටින ජනතාව සේම මාධ්‍ය ද, තමන්ගේ අවම අයිතීන් ඉල්ලා සිටින ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ මැතිවරණ සමයේ කරළියට ගෙනා සීමිත සංවාදය එසැණින්ම අමතක කර දැමුවා සේය. එසේම ඒ බොහෝමයකට ඒ ජනතාව නැවත සිහිපත් වන්නේ තවත් මැතිවරණයක් ආසන්නයේදි පමණි. 

සටහන : සුභාෂිණී චතුරිකා

Back to top
Go to bottom

Popular News