lan englan tam

පුවත්

ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි එකම සම්මානය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

– අම්මාගේ චරිතවලින් එහාට ගිහින් අත්තම්මා වෙලා ඉන්නේ

– වේදිකාවට වෙන් කරන්න කාලයක් මට නැහැ
– හැම චරිතයකට ආදරේ කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා

 

පවිත්‍රා වික්‍රමසිංහ කියන්නේ මේ දිනවල විකාශය වන නාට්‍යය බොහොමයක එකිනෙකට වෙනස් වූ චරිත තුළින් දකින්නට ලැබෙන රංගන ශිල්පිනියක්. අද මේ කතාබහ පවිත්‍රා වික්‍රමසිංහ සමඟ.

 

මේ දවස්වල මොකද වෙන්නේ?

අම්මෝ මේ දවස්වල නම් හුඟක්ම කාර්යබහුලයි. ටෙලි නාට්‍යය හය හතක් විතර විකාශය වෙනවා. ඒවායේ රූගත කිරීම් සිදුවෙන අතරේ විකාශය වෙන නිසා කාර්යබහුල කාලයක් ගත වෙන්නේ.

මේ දවස්වල රඟපාන නාට්‍යය හය හතේ නම් ටිකත් කියමුකෝ?

ජාතික රූපවාහිනියේ නාට්‍යය දෙකක් යනවා. සිටුවර පුවත සහ ඉර ගිනි මද්දහන. ස්වාධීන රූපවාහිනී සේවයේ යනවා සසංකාරා. සියත නාළිකාවේ සින්ධු. හිරු නාළිකාවේ වත්සුණු සහ රැල්ල වෙරළට ආදරෙයි. ඒ එක්කම සිරස නාළිකාවේ යනවා රොකී කියන නාට්‍යය.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම වගේ මඟ තොටේදී දැක්කම ළඟට ඇවිත් කතා කරනවා.

3 2 1

නාට්‍යය හය හතෙන් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන නාට්‍යය මොකක් ද?

ඒක නම් හිරු නාළිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරළට ආදරෙයි‘ නාට්‍යයට. ඒ නාට්‍යය කොටස් 909 කින් ලබන සතියේ අවසන් වෙනවා. ඒවගේම රූපවාහිනී නාළිකාවේ විකාශය වන ඉර ගිනි මද්දහන ගැනත් කතා වෙනවා. විශේෂත්වය තියෙන්නේ මේ නාට්‍යය සියල්ලේම මම ඉන්නේ එකිනෙකට වෙනස් වූ චරිත තුළ ඇඳුම් පැලඳුම් එකිනෙකට වෙනස්. මම රඟපාන හැම චරිතයකටම ආදරේ කරන ප්‍රේක්ෂකයින් පිරිසක් මට ඉන්නවා.

කලාවට ආවේ මොන කාලෙද?

මම ආවේ 1987/1988 කාලයේ. එහෙම බැලුවොත් සෑහෙන කාලයක් වෙනවා. හැබැයි මම 1991දී විවාහ වීමත් එක්ක කලාවෙන් ඈත් වෙනවා. 91දී මම අන්තිමට රඟපෑවේ කඩුල්ල නාට්‍යයේ. නැවත මම ආවේ අවුරුදු 16කට පස්සේ. ඒ ආවේ අම්මගේ චරිතවලින්. මෑතක වෙළඳ දැන්වීම් දහයකට වඩා කළා. දැන් අම්මාගේ චරිතවලින් එහාට ගිහින් අත්තම්මා වෙලා ඉන්නේ

කලා ශිල්පිනියක් වීම ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මටත් වඩා මගේ ගැන සතුටු වෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. එහෙම ඉන්න ඒක ගැන මම දකින්නේ ඒ මගේ වාසනාව නිසා කියලයි.

පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?

මගේ මහත්තයා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළේ. ඒ නිසා තමයි මට රඟපෑමට කාලයක් සමුදෙන්න වුණේ. මොකද අපි විවාහ වුණු මුල් කාලයේ එයා හිටියේ වැල්ලවායේ. අපිට දුවෙක් සහ පුතෙක් හිටියා. ඒ දෙන්නත් පොඩි නිසා මහත්තයා කැමති වුණේ නැහැ මම රඟපෑමට එනවට. වැල්ලවායේ අවුරුදු 6ක් හිටියා. මම නැවත කලාවට ආවේ දුව සාමාන්‍ය පෙළත් කළාට පස්සේ.

දැන් දරුවෝ දෙන්නා මොනවද කරන්නේ?

දුව දැන් හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ නර්තන ගුරුවරිය විදිහට වැඩ කරනවා. පුතා එයාගෙම ව්‍යාපාරයක් කරනවා. දෙන්නම මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

අලුත් නාට්‍යයක් කළා. බුද්ධික ලොකුකටියගේ නාට්‍යයක්. ජයකොඩි වලව්වේ රූපගත කිරීම් කළේ නයි හත් දෙනෙක් එක්ක. ඒ එක්කම රජිත හිරාන්ගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩ කළා. තව ෆිල්ම් එකකටත් ඇරයුම් ලැබිලා තියෙනවා.

එතකොට වේදිකාවට ඇරයුම් නැද්ද?

වේදිකා නිර්මාණවලට කතා කරනවා. නමුත් වේදිකාව වෙනුවෙන් වෙන් කරන්න තරම් කාලයක් මට නැහැ. ඒත් එක වේදිකා නාට්‍යයක් කළා මම. :”මල් සරාට වරෙන්තුවක්” කියලා. ඒකත් කොරෝනා කාලයේ නතර වුණා. දැන් හරි අමාරුයි රිහසල්වලට යන්න.

අලුත් පරම්පරාවේ අය එක්ක රඟපාන්නේ, ඒ ගැන කිවුවොත්?

ඇත්තටම මම හරි වාසනාවන්තයි. අලුත් පරම්පරාවේ වැඩිම කොටසකට මම තමයි අම්මා වෙලා තියෙන්නේ. හැමෝම එක්කම හොඳින් සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.

දිගටම රඟපාන්න ද කල්පනාව?

මේක මගේ පුංචිම කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. අවුරුදු 7 සහ 8දී ඉඳන් මම හරි ආසයි රඟපාන්න. අම්මලා එක්ක චිත්‍රපටි බලන්න යනවා. මේ ක්ෂේත්‍රයට මම පුදුම ආසයි. තාමත් මම කට්ට කනවා මේ තුළ නියැ­‍ෙළන්න. ඒ තරම් මම ළැදියි. මම මැරෙනකම්ම රඟපාන්න ආසයි. හරිම ආමාරුවෙන් ආව ගමනක් තියෙන්නේ. දැන් වැඩ එනවා මට. ඒ වැඩ ටික කරන් ඉදිරියට යනවා.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති?

අද වෙන තුරු මට කිසිම නරක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. හැමෝම හොඳ තමයි කියන්නේ. අත අල්ලාගෙන කතා කරන්නේ. ප්‍රේක්ෂකයින් නිසා තමයි අපි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි මම ලබන එකම සම්මානය. වෙන සම්මාන ඕනේ නැහැ. ඒ ආදරේට මමත් ආදරේ කරනවා.

 

අනුෂා රණසිංහ(රසඳුන)

Back to top
Go to bottom