lan englan tam

පුවත්

ඔහු වැඩියෙන්ම කැමැති මං ගයනවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

– ‘රෝස කුමරී’ ගීතයට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා

– තබ්ලා වාදනය කරමින් හිටිය මට දර්ශන සර් තමයි ඩ්‍රම්ස් වාදනය පුහුණු කරවන්නෙ

 

ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වන්නේ “සංගීතේ” ටෙලි නිර්මාණයේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය වූ අමායාගේ භූමිකාවෙනි. එය රංගනයට පමණක් සීමා වූ හැකියාවක් ලෙස බොහෝ දෙනා සිතුව ද සැබැවින්ම ඇය ඩ්‍රම්ස් වාදනයේ දක්ෂ ශිල්පිනියක් බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එමෙන්ම ඇය දක්ෂ ගායිකාවකි. දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේ ඔපමට්ටම් කරගත් ගායන හැකියාව ඔස්සේ දිගු ගමනක් ආ ඇය ‘රෝස කුමරී’ ගීතය හරහා පසුගියදා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබුවාය. ඇය සචිනි රණවකය. දර්ශන රුවන් දිසානායකගේ “ගොවි තාත්තා” සිනමාපටයේ මලීගේ භූමිකාවෙන් මේ දිනවල ඔබ හමුවට එන්නේද ඇයයි.

 

16 3 2

සචිනි සිනමා තිරයේ දකින්නේ ප්‍රථම වතාවට. කොහොමද ඒ අත්දැකීම?

“ගොවි තාත්තා” සිනමාපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ දර්ශන රුවන් දිසානායක සර්ගේ ආරාධනයෙන්. මීට කලින් මගේ පළමු චිත්‍රපට ගීත අත්දැකීම ලබන්නෙත් දර්ශන සර් නිසා. ඒ ගීතය සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීතයට නිර්දේශ වුණු ‘කාල‘ චිත්‍රපටයට ගයපු ගීතය. “ගොවි තාත්තා” චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මීට අවුරුදු 6කට කලින්. ඒ වගේ ලොකු කණ්ඩායමක් එක්ක මේ වගේ වැඩකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව නිසා ඒක මට ලොකු අත්දැකීමක් වුණා.

ගොවි තාත්තා සත්‍ය සිද්ධියක් ඇසුරින් නිර්මාණය වූ සිනමාපටයක්. මලී කියන්නේ මේ මහ පොළොවේ ජීවත් වුණු සැබෑ චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?

මලී කියන්නේ කනේරු මල්වලට ගොඩක් ආස කරන හරිම අහිංසක ගැමි තරුණියක්. නිතරම කනේරු මලක් කොණ්ඩයේ ගහගන්න එක ඇගේ පුරුද්දක්. අන්තිමට ඇගේ ජීවිතය නැති වෙන්නෙත් කනේරු නිසා. ගොවි තාත්තා රූගත කළේ පොලොන්නරුවේ. අපි මාස තුනක් කාෂ්ඨක අව්වේ පොලොන්නරුවේ ගත කළා. පළමු අත්දැකීම දුෂ්කර අත්දැකීමක් වුණා. එක තැනක් තියෙනවා ගිනි කාෂ්ඨක අව්වේ මලීට සෙරෙප්පුත් නැතුව දුවගෙන එන්න. කකුල් පිච්චුණා. ඒ වගේමයි මට බයිසිකලයක් පදින්න තියෙනවා. එක තැනකදි සූර්යා දයාරුවන් අයියත් මඟදි නඟිනවා. බයිසිකල් පදින්න පුළුවන්කම තිබුණට ඒ බයිසිකලේ පරණ නිසා හරිම තදයි. පදින්න හරිම අමාරු වුණා. මං දවස් දෙකක්ම තනියෙන් බයිසිකලේ පැදලා පුරුදු වුණා. ඒ හැම සිදුවීමක්ම ආධුනික මට විශේෂ අත්දැකීම් වුණා.

අධ්‍යක්ෂවරයාත් සිනමාවට අලුත්. කොහොමද ඔහුගෙන් ලැබුණු සහයෝගය?

ඒකනම් විශේෂයෙන් මතක් කරන්න ඕන. අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මට නිතරම කිව්වේ මට ඕන මෙන්න මේ වගේ දෙයක්. මෙතැනදී මට ඕන සචිනිව නෙවෙයි මලීව. හැම සීන් එකක්ම මට හොඳින් පැහැදිලි කරදුන්නා. ඔහු මට මුලින්ම හමුවෙන්නේ මගේ පාසල කොළඹ විශාකා විද්‍යාලයේදී. වසරක් පාසා තියෙන මියැසි විශාකා කොන්සට් එකේ ඔකෙස්ට්‍රා එක පුහුණු කරන්න ආවේ දර්ශන සර්. ඇත්තම කිව්වොත් ඔහු තමයි මට ඩ්‍රම්ස් වාදනය පුහුණු කරවන්නෙත්. මුලින්ම මම තබ්ලාව වාදනය කරමින් හිටියේ. ඩ්‍රම්ස්වලට ආස නිසා ලොකු අක්කලා ඩ්‍රම්ස් ප්ලේ කරනවා බලන් ඉඳලා මට එක බීට් එකක් වගේ පුළුවන්කම තිබුණා. ඔකෙස්ට්‍රා එකට තෝරද්දි එදා මං දන්න බීට් එකෙන් ඩ්‍රම් එක ප්ලේ කළා. ඊට පස්සේ දර්ශන සර් තමයි මට හොඳින් ඩ්‍රම්ස් පුහුණු කළේ.‍

 

16 2 2

සචිනිගේ ‘රෝස කුමරී’ මියුසික් විඩියෝ එක පහුගිය කාලයේ ගොඩක් ජනප්‍රිය වුණා නේද?

ඔව්. ඒක පසන් වෙනුවෙන් ලියවගත්ත ගීතයක්. මට මෙන්න මේ දේ එයාට කියාගන්න ඕන කියලා හෂිකා සුරේනි අක්කට කියලා ලියවා ගත්තේ. ඒකට ලස්සනට සංගීතය මුසු කළේ සන්තූර් මැද්දෙගොඩ මල්ලී. ටික්ටොක්වල ට්‍රෙන්ඩින් වුණා. යූටියුබ් එකේත් ට්‍රෙන්ඩින් වුණා. පුංචි ළමුන් අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් පුංචි දරුවන්ගේ අම්මලා ඇවිත් කියනවා ඔයාගේ රෝස කුමරි සින්දුවට අපේ බබා ගොඩක් ආසයි. ඒක දාගෙන තමයි හැම වැඩක්ම කරන්නේ. ඒක දාලා දුන්නම එයාලව කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් කියලා. ‘රෝස කුමරී’ ගීතයට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. රංගනය නිසා පහුගිය කාලෙ මං ගායනය පැත්තෙන් ටිකක් ඈත්වෙලා හිටියේ. රෝස කුමරීත් එක්ක ආයෙම ගායනය පැත්තට ආසාව ඇති වුණා. ඊට පස්සේ මං සන්තූර් මල්ලිත් එක්ක ‘ඇයිද ආවේ’ කියලා ඩුවට් එකක් කළා. පද රචනය යසත් සෙනෙවිරත්න. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒක තාමත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා.

පසන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් සඳහන් කරමු?

ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න වචන නෑ. ඔහු හැමවිටම මාව විශ්වාස කරනවා. විශ්වාසයයි, සහයෝගයයි දෙකම ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්. ඔහු මගේ රංගනයට කැමැති වුණාට වැඩියෙන් කැමැති ගායනය පැත්තට. මට නිතරම කියනවා මං කැමැති ඔයා ගායිකාවක් වෙනවට කියලා. ඉදිරියේදී ගායනය පැත්තෙන් ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක විස්මිත වෙනසක් වේවි කියලත් හිතනවා.

 

නාමලී ගමගේ (රසඳුන )

 

Back to top
Go to bottom