lan englan tam

පුවත්

විසල් ආදරේ කියන්නෙ කාමසුඛල්ලිඛානු යෝග වාහකයෙක්; ලක්මිණ රණසිංහ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Facebook bio එකේ relationship කියන කොටසේ අපිට තෝරන්න එක්තරා සුවිශේෂී option එකක් තියනවා. ඒ තමයි... *It's complicated* කියන option එක. ඔව්... සමහර වෙලාවට ආදරය කියන්නෙ ගොඩක් සුන්දර වගේම හිතාගන්නවත් බැරි තරම් පැටළුන සංකීර්ණ සමීකරණයක්.

මේ ආදර සමීකරණ විසඳන්න ඇරිස්ටෝටල්, අයිස්ටයින් තියා පයිතගරස්ටවත් බෑ. විසල් ආදරේ ෆිල්ම් එකේ කතාවත් හරියට තුන්නොක් / සිව්කොන් ප්රේමයේ සංකීර්ණ පයිතගරස් ප්රමේයයක් වගේ.
*විසල් ආදරේ* කියන්නෙත් බිත්තර කටුවක් උඩ ඇවිදිනව වගේ හරිම පරිස්සමෙන් මුල මැද අග සම්බන්ධ කරලා ලියපු ලස්සන, සරල ස්ක්රිප්ට් එකක්. ඒත් අපේ සංකීර්ණ හැඟීම්වල ගැඹුරටම යන්න ඒ කතාවට පුළුවන්.
අද කාලේ කොල්ලො කෙල්ලො අතර මේ වගේ කතා අනන්තවත් වෙනවා. ඇත්ත ලෝකෙදි ප්රේමය පදනම්කරගෙන ඇතිවෙන අහිමි වීම්, කැපකිරීම්, දරාගැනීම් වගේ දේවල් මේ ෆිල්ම් එකේ තියන තරම් සුන්දර නෑ.
ඇත්ත ලෝකෙ තියන දේ සිනමාවට අනුවර්ථනය හෝ පරිවර්ථනය කරද්දි පොඩි පොඩි ෆැන්ටසි දේවල් අනිවාර්යෙන්ම ගේන්න සිද්ධ වෙනවා. එහෙම බලද්දි විසල් ආදරේ අධ්යක්ෂණය සහ කතාව ඉතාමත් සරල, හදවතට ළඟ, ඇත්ත සිද්ධි ඇසුරෙන් සිනමාවට පරිවර්ථනය කරපු, 'නැරඹිය යුතුම' ලස්සන ෆිල්ම් එකක්.
2006 ජනවාරි මාසයේ ප්රදර්ශනය ආරම්භ කරපු 'අංජලිකා' සහ 'හිරිපොද වැස්ස' කියන්නෙ අපේ ජනප්රියවාදී නූතන වාණිජ සිනමාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ 2 ක්. කොළ හැලිච්ච ගස් සහ වියළි කලාපයේ ඉරි තැලිච්ච පොළවේ *අත්ථකිලමතානු රූපරාමු* නිසා ඉරිතැලෙමින් ගිය අපේ සිනමාවට සීතල හිරිපොද වැස්සක් වස්සන්න අංජලිකා සහ හිරිපොද වැස්සට පුළුවන් වුනා. මේ නිසා අපේ සිනමාව ගොඩක් තරුණ වුනා සහ සිනමාවට ප්රේක්ෂකයින් ආකර්ෂණය වුනා.
අංජලිකා සහ හිරිපොද වැස්ස කියන පදනම උඩ 'විසල් ආදරේ' ඇතුළු ගොඩක් ෆිල්ම්ස් බිහි වුනා. මේ වගේ ෆිල්ම්වල හරය තමයි සරල කතාවක් තියන එක.
පහුගිය දශක කිහිපයේදී උදයකාන්ත වර්ණසූරිය සහ ප්රියන්ත කොළඹගේ අධ්යක්ෂවරු නවත්තපු තැනින් එහාට තවත් සාර්ථක පියවරක් තිබ්බ ෆිල්ම් එකක් විදිහට තමයි විසල් ආදරේ මට පේන්නෙ.
අපේ ඇස්වලට මනසට ඕනෙ කාමසුඛල්ලිඛානු යෝගී රූපරාමු. ඉතිං ඒ වගේ රූපරාමු, ලොකේෂන්, ඇඳුම්, වර්ණ තියන *විසල් ආදරේ කියන්නෙ කාමසුඛල්ලිඛානු යෝග වාහකයෙක්*.
හොලිවුඩ් බොලිවුඩ් ගැන අපිට තියන කාමාශාව වගේම, සිංහල සිනමාව ගැනත් කාමාශාවක් ඇති වෙන්න නම් විසල් ආදරේ වගේ කාමසුඛල්ලිඛානු ෆිල්ම්ස් අනිවාර්යෙන්ම හැදෙන්න ඕනෙ.
ඕනම ෆිල්ම් එකක මැජික් එක තියෙන්නෙ ප්ලොට් එකේ (මූලික කතාවේ) කියලා ගොඩක් අය කියනවා. ඒත් මම ඒකට එකඟ නෑ. හැමදාම දකින, පට්ට සාමාන්ය මූලික කතාවක් උනත්, ඉදිරිපත් කරන විදිහ නිර්මාණාත්මක නම් ඒක විශිෂ්ට නිර්මාණයක් වෙනවා.
උදාහරණයක් මම කියන්නම්... ප්රභූ පන්තියේ කෙල්ලෙකුයි සල්ලිකාර කොල්ලෙකුයි විවාහ වෙන්න සූදානම් වෙනවා. මේ කෙල්ලගේ හිත දුප්පත් කොල්ලෙක්ට ඇදිලා යනවා. දුප්පත් කොල්ලයි මේ කෙල්ලයි අතර සම්බන්ධයක් ඇතිවෙනවා. අන්තිමේදී දුප්පත් කොල්ලා මැරෙනවා. ඒ දුප්පත් කොල්ලත් එක්ක තිබ්බ ආදරේ මේ කෙල්ල ජීවිත කාලෙ පුරාම පරිස්සම් කරගෙන ජීවත් වෙනවා.
මේක ඉතිං පට්ට සරල, හැමදාම ඇහෙන, කිසිම මැජික් එකක් නැති සාමාන්ය කතාවක්. ඒත් වැදගත් වෙන්නෙ මේ කතාව ඉදිරිපත් කරන හැඟිම්බර විදිහ. මම මේ කිව්වෙ එතෙක් මෙතෙක් බිහි වුණ සුපිරිම ෆිල්ම් එකක් වුන TITANIC ෆිල්ම් එකේ මූලික කතාව ගැන.
ඒ සරල, සාමාන්ය කතාව ඉස්සරහට අරගෙන ගියේ විශාල සිහින නෞකාවක. ඒ නෞකාවෙන් කතාවට වෙනම වයිබ් එකක් සහ ඉමෝෂන් එකක් එකතු වුනා. ගිලීගිය ටයිටනික් නෞකා ගවේශණය, රෝස් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම, ජැක් විසින් රෝස්ව බේරාගැනීම, රෝස්ගේ නිරුවත් චිත්රය, ප්රභූ පන්තියේ සහ පහළ පන්තියේ උත්සව දෙකේ වෙනස, රෝස්ගේ කලා රසය, ජැක් ගේ චිත්ර ඇඳීමේ හැකියාව, පන්ති භේදය, අධික වටිනාකමක් ඇති මාලය, ජැක්ව අත්අඩංගුවට ගැනීම, රෝස් විසින් ජැක්ව බේරාගැනීම, නැව මුහුදුබත් වීම වගේ ප්රධාන කතාවට සහයෝගය දෙන පුංචි පුංචි සිද්ධිවලින් මුළු කතාවම පුදුම විදිහට ලස්සන වුණා. අන්න එහෙමයි සරල, සාමාන්ය මූලික කතාවක් නිර්මාණාත්මකව ලසස්න කරලා විශිෂ්ට ෆිල්ම් එකක් හදන්නෙ.
විසල් ආදරේ ෆිල්ම් එකේ දෙවනි අර්ධයේදී ඒ චරිත ඊළඟට මොකක් කරන්න යයිද කියන කුතුහලය මට දැනුනා. ආදරේ තියන සංකීර්ණ තැන් නිසා ඒ චරිතවල ඇතිවෙන මානසික පීඩනය සහ ආදරේ තියන complicated තැන් ෆිල්ම් එකේ ගලායාමත් එක්ක මට දැනුනා. එහෙම දැනෙන්න නම් මේ ෆිල්ම් එකේ රංගනය, පිටපත, අධ්යක්ෂණය, සංගීතය, කැමරාකරණය වගේ ගොඩක් සාධක ඒ වෙනුවෙන් පෙළගැහෙන්න ඕනෙ. විසල් ආදරේ ඇතුලෙ ඒ පෙළගැස්ම බොහෝ දුරට තිබුනා.
විසල් ආදරේ සහ Take Care ( ටේක් කෙයා ) නිර්මාණවල Dinakshie Priyasadගේ රංගනය අද්විතියයි. මේ නිසා ක්ෂේත්රයේ රැඳීසිටි කාලය අනුව නොව, දක්ෂතා පදනම මත ඇය ජ්යෙෂ්ඨ රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවට එකතු වුන අලුත්ම නිළිය විදිහට නම් කරන්න පුළුවන්.
අයිරාංගනී, ස්වර්ණා, මාලනී, නීටා, චාන්දනී, දිල්හානි, වීණා, අනෝජා, නිල්මිණී, ජයනි ඉන්නෙත් ඔය ලැයිස්තුවේම තමයි. දැන් දිනක්ෂි කියන්නෙ අපේ රංගන ක්ෂේත්රයේ ප්රාග්ධනයක්.
සචීන් සහ රශී ගැන කියනවනම් හඬ කැවීමේදී මේ දෙන්නා තව ටිකක් අධ්යනය කරන්න තිබුනා කියලා හිතෙනවා. ෆිල්ම් එකක රංගනය මෙහෙයවීමේදී වගේම හඬකැවීම් මෙහෙයවීමේදීත් අධ්යක්ෂවරයාට ලොකු වගකීමක් පැවරෙනවා.

විසල් ආදරේ ෆිල්ම් එකේ අනුත් ගේ රැකියාව, අනුත්ගේ මල්ලි, තාදිගේ විදේශගත අරමුණු, long distance relationship එක වගේ තැන්වලනදී ප්රේක්ෂක මනසේ පොඩි පොඩි හිස්තැන් ටිකක් ඉතුරු වෙනවා. පොඩි පොඩි අභව්ය සහ අනවශ්ය සිදුවීම් කිහිපයක් විසල් ආදරේ ෆිල්ම් එකේ තිබුනත් සමස්තයක් විදිහට ඒවා නොසැලකිය හැකි තරම් කුඩා දේවල් වෙන්නෙ මේ ෆිල්ම් එකේ තියන ආකර්ෂණීය වාණිජ වටිනාකම සහ ප්රේක්ෂකයන්ගේ කාමසුඛල්ලිඛානු සිතේ, සිංහල සිනමාව කෙරෙහි කාමාශාවක් ඇතිකරවන නිසා.

තුන්වන ලෝකයේ රටක් ඇතුලේ ෆිල්ම් හදද්දි මුදල්, කාලය සහ නිර්මාණාත්මක බව හරියට කළමනාකරණය කරන එක විශාල කරදරයක්. ඒ වගේ අමාරු අභියෝග මැද්දෙ විසල් ආදරේ වගේ ෆිල්ම් එක හදලා ඉවර කරපු එකම ලොකු දෙයක්. පුදුමයි නේද! Visal Adare - The Movie

(මේ වගේ ලිපියක් මම ලිව්වට පස්සෙ ඒක අන්තර්ජාලයට දාන්න කලින්, ලිපියේ කියවෙන ක්ෂේත්රවල ඉන්න ප්රවීණයන්ගේ මතය විමසීම මම කරනවා. ඒ අයගේ මතයට අනුව ලිපියේ යම් යම් වෙනස්කම් පවා මම කරනවා.)

මේ මාතෘකාව ගැන මාත් එක්ක සංවාදශීලී හරවත් අදහස් බෙදාගත්ත පහත සඳහන් අයට බොහොම ස්තූතියි.

- ජනප්රිය චිත්රපට අධ්යක්ෂ Priyantha Colombage
- ප්රවීණ කැමරා අධ්යක්ෂ Rangana Sb
- වර්ණසංයෝජන සහ සංස්කරණ ශිල්පී Roshan Edward

ලක්මිණ රණසිංහ

Back to top
Go to bottom

Popular News