ගෙවුණු සියවසේ පස්වැනි හා සයවැනි දශක විෂයෙහි දත හැකිවූ සාහිත්‍ය, වේදිකා නාට්‍ය හා සිනමා ප්‍රබෝධය පසුපස විධිමත්ව හා අවිධිමත්ව ගොඩ නැංවුණු කලා සංවිධාන රැසක් පැවැති වග පැහැදිලිය. මේ තුළ රැඳුණු ගුරුකුල, ගජ මිතුරු හවුල් ආදිය විසින් ඉටු කරනු ලැබුවේ තීරණාත්මක හා අද්විතීය කාර්යභාරයකි. ආපසු හැරී බලන කළ දිස්වන්නේ මෙබඳු පාර්ශ්ව දෙස නිශේධනාත්මකව නොබැලීම අත්‍යන්තයෙන්ම වැදගත් වන බවයි. මෙහිලා ප්‍රකට කලාකරු ජී.ඩී.එල්.පෙරේරාගේ මූලිකත්වයෙන් සුසැදුණුන ‘කලා පෙළ’ සංස්කෘතික සංවිධානයටද ප්‍රමුඛත්වයක් හිමිවේ. ‘කලා පෙළ’ හි සිනමා හා වේදිකා නාට්‍ය පාඨමාලා හැදෑරූ බොහෝ දෙනෙකු පසුකාලීනව සිරිලක කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සක්‍රිය වූ වග නොරහසකි.
1962 දී ‘කළා පෙළ’ සත් වන සංවත්සර සභාව පැවැත්වූයේ උද්යෝගිමත් පසුබිමකය. මේ වන විට ‘කලා පෙළ’ මුළුමනින්ම වාගේ බැඳී තිබුණේ වේදිකා නාට්‍ය සමඟිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත, විලි බ්ලේක් වැන්නන් විසින් ජනිත කරන ලද සිනමා ප්‍රබෝධයද කෙමෙන් මෝදු වන්නට වූයේ මෙසමයේදීයි. මේ වග මැනැවින් වටහා ගත් ‘කලා පෙළ’ සම ලේකම් ධුරය දැරූ සුගතපාල සෙනරත් යාපා සභාවට යෝජනා කළේ ‘කලා පෙළ’ නිපැයුමක් සේ සිනමාපටයක් නිර්මාණය කළ යුතු බවය. යෝජනාව ස්ථිර වූයේ ජී.ඩී .එල්.පෙරේරාට එහි අධ්‍යක්ෂණ වගකීම පැවරෙමිනි.
සිනමාපටය ‘සාමා’ ය. පූර්වයෙහි ‘සාමා’ වේදිකා ගත වූයේද ‘කලා පෙළ’ නිපැයුමක් සේ ජී.ඩී.එල්.පෙරේරාගේ මෙහෙයවීමෙනි. ‘සාමා’ නිපැයුම් කාර්යය අතිශය අසීරු විය. ඊටත් වඩා ප්‍රදර්ශන කාර්යය ප්‍රශ්නකාරී විය. සුගතපාල සෙනරත් යාපා මේ හැම තැනකදීම ‘කලා පෙළ’ හා ජී.ඩී .එල්.පෙරේරා වෙනුවෙන් පෙනී සිටියේ සිනමාව සිය ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍ය සේ අවිඥානකව වුව වටහා ගනිමිනි. සිනමාපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණයටද යාපා එක් විය. කෙසේ වෙතත් යාපාගේ ප්‍රශස්තම දායකත්වය වූයේ අදටත් මතකයෙන් ගිලීහි නොයන ‘වනන්තරේ ගල් අරණේ විමානෙට ’ යන ගීය රචනා කිරීමයි.
යාපාගේ පළමු සිනමා සහභාගීත්වය වන ‘සාමා’ 1960 දශකය මධ්‍යයේදී පෙරට ආ නව්‍ය ලකුණු බහුල, ජීවිතය හා සමාජය පිළිබඳ විකල්ප කියැවීම් සඳහා නන් අයුරින් ඉඩ කඩ විවර කළ සිනමා මෙහෙයුමේ පුරෝගාමී අවස්ථාව හෝ පුරෝගාමී අවස්ථාවක්ය යන්න පසුකාලීනව පසක් වූයේ අන් අදහසකට එපමණ වැදගත්කමක් ලබා නොදෙමිනි. ‘පරසතුමල්’, ‘දහසක් සිතුවිලි’, ‘සත් සමුදුර’, ‘නිම් වළල්ල’ , ‘තුං මං හංදිය’ මෙතැනදී හඳුනා ගත හැකි සිනමාපට කිහිපයකි. එසේම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෙලොවක් අතර’ හා ‘අක්කර පහ’ යන සිනමාපටද මෙහිලා අමතක නොකළ යුතුය.
මේ සිනමා මෙහෙයුමේ කූටප්‍රාප්තිය සේ සැලකෙන්නේ යාපාගේ පළමු වෘත්තාන්ත සිනමාපටය වන ‘හන්තානේ කතාව’ය යන්න බොහෝදෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ‘හන්තානේ කතාව’ , 1960 දශකයේ මේ සිනමා ප්‍රබෝධය හා 1970 දශකයේදී පෙරට ආ කලාත්මක ගුණාංගද රැක ගනිමින් සමාජ හා දේශපාලන යථා තතු විවරණයට බට සිනමා මෙහෙයුම අතර සම්බන්ධිකරණ කාර්යයෙහි නිරත සිනමාපටය සේ හඳුනා ගැනීමද සහේතුකය. 1970 දශකයේ උක්ත සිනමා මෙහෙයුමට ඇවැසි මතවාදී යාන්ත්‍රණය ගොඩ නැංවූ පළමු පෙළ සිනමාපටය ලෙසින්ද ‘හන්තානේ කතාව’ නම් කරලීම කිසිසේත්ම අනුචිත නොවේ.
මෙසේ සිරිලක වෘත්තාන්ත සිනමාවේ නිර්මාණශීලී ප්‍රවණතා ද්විත්වයකටම දායක වූ හා සහභාගී වූ සුගතපාල සෙනරත් යාපා පසුගියදා සිය අභිමානවත් හා කීර්තිමත් දිවි සැරිය නිමා කළේ සිනමාවේ නොමියෙන බව සිරිලක සිනමා කලාපය ඇසුරෙන් සනාථ කරමිනි. කෙටි හා වාර්තා සිනමාපට ගණනාවක් නිර්මාණය කළද ඔහුට වෘත්තාන්ත සිනමාපට නිර්මාණය කළ හැකි වූයේ ත්‍රයක් පමණි. එහෙත් විශිෂ්ට සිනමාකරුවකු බවට පත්වීම පිණිස නිර්මිත සිනමාපට සංඛ්‍යාව තීරණාත්මක නොවන බවට ඔහුගේ වෘත්තාන්ත සිනමා භාවිතය හොඳම උදාහරණයක් වේ. ඔහු අවසන් වරට නිර්මාණය කළ වෘත්තාන්ත සිනමාපටය ප්‍රදර්ශනය වූයේ අදින් වසර හතළිස් තුනකට පෙරාතුවයි. එහෙත් ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ මතකය සුරැකිව තබා ගන්නට එය බාධකයක් නොවූ වග සඳහන් කළ යුතුය.
යාපාගේ සිනමා දිවිය දුක් කම් කටොලු ආදියෙන් ගහන බව නොයෙක් වර කියැවී තිබිණි. නිර්මාණකරණයෙහි සක්‍රියව සිටි සමයේදී ඔහුගේ ප්‍රතිභාව ප්‍රමාණවත්ව නොඇගැයීම වෙතින් මේ බව පිළිබිඹු වේ. එනමුදු ඔහු අකම්පිතව මේ දෙස බලා සිටි වග සැබෑවකි. ඔහු විසින් සිනමාවට හඳුන්වා දුන් බොහෝ දෙනෙකු සිනමාවේ නා නා විධ අනුශාංගික අංග පොහොසත් කරමින් ඉදිරියට යනු දැක ඔහු මහත් සේ සතුටු වන්නට ඇත. නියත වශයෙන්ම ඔහුව හඳුනා ගත හැකි තවත් හරවත් ආකාරයක් වනුයේ මෙසේ සිනමාව පොහොසත් කළ පිරිසකට මඟ හෙළි කළ අයකු වශයෙනි.
කෙසේ නමුදු පසුකාලීනව ඔහුව නන් අයුරින් අගයන්නට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගත් පියවර නිසැක වශයෙන්ම අගය කළ යුතුය. ඔහු වෙත මෙසේ පිරිනැමුණු සම්මාන කළ ගුණ දැක්වීමේ සීමා අබිබවා ගිය ඇගැයීම් බවට පත්වූයේ වත්මන් සිනමා ප්‍රේමී පරම්පරාවද කේන්ද්‍ර කොට ගනිමිනි. සිය නිර්මාණ වෙතින් ඔහු වක්‍රව හෝ කියා සිටියේද තමා තුරුණු බව අත නොහරින්නකුය යන්නය. ‘හන්තානේ කතාව’ හා ‘පෙම්බර මධු’ මෙහිලා කැපී පෙනේ. එසේම නොපැකිලීම හා නිර්භය බවද ඔහු වත්මන් සිනමා ප්‍රේමීන් වෙත රැගෙන ආ අයෙකි. මේ අනුව සුගතපාල සෙනරත් යාපා යනු වියපත් නොවූ සිනමාකරුවකුම වෙයි.
සුගතපාල සෙනරත් යාපා සිනමා නිර්මාපක පාර්ශ්වයේදී හඳුනා ගත හැකි අවස්ථා කිහිපයකි. ජීවත්ව සිටි සමයේදී වෙසෙසින්ම මුද්‍රිත මාධ්‍යද , වරෙක විද්‍යුත් මාධ්‍යද මෙම අවස්ථා ගෙන හැර පෑ වග මේ මොහොතේදී සිහිපත් වේ. මෙයින් කියැවෙන තවත් කරුණක් වනුයේ ඔහු මාධ්‍ය අවධානයෙන් නොමිදුණු අයකු වූ වගය. ඔහුගේ වියෝව සමඟ ඔහුව අමුතුවෙන් හඳුන්වා දීමක් ඇවැසි නොවූයේ මෙහෙයිනි.
මේ පළමු අවස්ථාව ‘සාමා’ ය. ‘සාමා’ හි ඔහු පළමු පෙළ චරිතයක් නිරූපණය කළ බවද, ගීයක් රචනා කළ බවද ඉහතින් සඳහන් කෙරිණි. අද ‘සාමා’ නරඹන කළ නොයෙකුත් තාක්ෂණික අඩු ලුහුඬුකම් දත හැකි වග පෙනේ. එහෙත් යාපා, ලියෝනි කොතලාවල සමඟ පළමු පෙළ චරිතයක් නිරූපණය කරමින් ඒවා යටපත් කරලීමට උත්සුක වූයේ යැයි සිතේ. මෙතැනදී අමතක නොකළ යුතුම කාරණයක් වනුයේ යාපා ‘සාමා’ හි සහය අධ්‍යක්ෂවරයා වීමය. මෙම අත්දැකීම පසුකාලීනව ඔහුගේ නිර්මාණකරණය සඳහා මහෝපකාරී වූ බවට කිසිදු සැකයක් නැත.
දෙවන අවස්ථාව ‘හන්තානේ කතාව’යි එසේම ඔහුගේ අනෙක් වෘත්තාන්ත සිනමාපට වන ‘පෙම්බර මධු ‘ හා’ ඉන්දුට මල් මිටක්’ද මේ හා එක්කළ යුතුය. මේ සිනමාපට තුන් ආකාරයක් ගන්නා බව පෙනේ. කෙසේ නමුත් සිනමා අධ්‍යක්ෂණය විෂයෙහි තමා පරිණත වී ඇති වග යාපා නොපැකිලවම පවසන්නේ ‘ඉන්දුට මල් මිටක්’ හිදීය.
‘හන්තානේ කතාව’හි මැදිහත්වීමේ ස්වරූපය හා ස්වභාවය පිළිබඳ කරුණු පෙරදීද සඳහන් කෙරිණි. පසුකාලීනව සිරිලක සිනමාව පොහොසත් කළ කිහිප දෙනෙකුම හඳුන්වා දුන් අවස්ථාවක් ලෙසින්ද ‘හන්තානේ කතාව’ පිළිගැනේ. මොවුන’තර ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී හා විජය කුමාරතුංග සිටිති. සුපුරුදු පෙම් පුවතක් නොව විකල්ප පෙම් පුවතක් ප්‍රතිනිර්මාණයට මෙහිදී යාපා දැරූ තැත අගනේය. රූපණය සම්බන්ධයෙන්ද ඔහු සැලකිලිමත් වූ බව පෙනේ. මෙහි එන ගී සිනමානුරූපී සිරිලක සිනමා ගී අතර මුල් තැනක් ගනී. නන්දා මාලිනී හා වික්ටර් රත්නායක ගයන ‘සරා සොඳුරු මල් පැටලී’ යන ගීය රචනා කළේ යාපා සමඟ මහගමසේකරය. රචකයන් දෙදෙනෙකු එක්වීමෙන් ගීයට කිසිදු අගතියක් සිදු නොවූ බව පැහැදිලිය. 1960 දශකය අග භාගයේ සිරිලක සරසවි දිවිය මෙහි නිරූපිතව ඇත්තේ කිසියම් රමණීය විලාසයකිනි. මෙය අපේක්ෂිත හා සම්මත යථාර්ථය නොවේ. යාපා, මෙහිලා ක්‍රියා කළේ සිනමාකරුවාගේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසයකිනි.
‘පෙම්බර මධු’ නිසැක වශයෙන්ම සමකාලීන සිනමා වෙළෙඳ පොළ ජය ගැනීමේ උපක්‍රමශීලී හා නිර්මාණශීලී ප්‍රයත්නයකි. සරසවි දිවිය මෙහි නිරූපිතව ඇත්තේ ‘හන්තානේ කතාව’ සිහිපත් නොවන පරිදිය. සිනමාව තුළ ලිංගිකත්වය සනිටුහන් කරලීමේදී අනුගමනය කළ යුතු වඩාත්ම සබුද්ධික පිළිවෙත් මෙහිදී අත්හදා බලන්නට යාපා මැළි නොවීම දෙස බැලිය යුත්තේ වපරැසින් නොවේ. යාපා ‘පෙම්බර මධු’ වෙනුවෙන්ද ගීත රචනයට එක්විය. මේ අනුව ඔහු සිනමා ගී රචකයකු සේ ඇගැයීමද යුක්ති යුක්තය.
සිනමාව මිනිස් මනසේ චලනය හසු කර ගත හැකි අගනාම මෙවලමක් වන වග සනාථ කරලන සිරිලක හොඳම අවස්ථාවක් සේ ‘ඉන්දුට මල් මිටක්’ හඳුනා ගත හැකිවේ. මේ සඳහා රූපණය, සංගීතය හා ගීත මෙන්ම කැමරාකරණය සියුම්ව භාවිත කරලීමට යාපා සමත් වෙයි.
යාපා යනු ‘ඉන්දුට මල් මිටක්’ ට පසුවත් සිනමාකරණයෙහි නොකඩවා නියැලිය යුතු අයකු විය යුතුමය. එනමුදු සිරිලක සිනමා කලාපයේ හැඩ ගැසීම් මෙබඳු සිනමාකරුවකුගේ පරිකල්පන සමත්කම් දෙස ධනාත්මකව නොබලන බව සැබෑවකි. මෙහෙයින්ම යාපා කලාත්මක සංකේතයක් බවට පත්වීමේ ඉරණමට සැලකිය යුතු කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටි අන්දමද දැක ගත හැකිය.
සිරිලක වාර්තා හා කෙටි සිනමා නිර්මාණයේ විශිෂ්ටයකු බවට පත්වීම යාපා හඳුනා ගත හැකි තෙවන අවස්ථාවයි. පළමුව 1969 වසරේදී නිර්මිත ‘මිනිසා සහ කපුටා’ සමඟිනි. ‘මිනිසා සහ කපුටා’ 1969 සිව්වැනි නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබීය. මේ එතෙක් මෙතෙක් සිරිලක සිනමාපටයක් ලද ඉහළම අන්තර්ජාතික සම්මානයක් වේ. ‘මිනිසා සහ කපුටා’ මෙසේ අන්තර්ජාතික හා ජාතික මට්ටමේ සම්මානද, ඇගැයීම්ද ලබා ගැනීමේ එක් ප්‍රතිඵලයක් වූයේ සිනමා ප්‍රේමී තරුණ පාර්ශ්ව කෙටි සිනමාපට නිර්මාණය සඳහා වෙනදාට වඩා උත්සුක වීමයි. මෙම නැඹුරුව 1970 දශකයේ මුල් අඩ නිමා වන තුරුම සක්‍රියව පැවතිණි.
යාපා හඳුනා ගත හැකි සිව්වන අවස්ථාව පැමිණෙන්නේ වාර්තා සිනමාව වෙතිනි. වෙසෙසින්ම රජයේ චිත්‍රපට අංශය යටතේ යාපා නිර්මාණය කළ වාර්තා සිනමාපට අද දවසේදීත් සිනමා හැදැරීම් සඳහා එක්කර ගන්නා බව සඳහන් කළ යුතුය. මෙහිදී මුල් තැනක් ගන්නේ ‘ගරුඬගල’ යි. ‘ගරුඬගල’ ට 1973 – 15 වැනි ටෙහෙරාන් සිනමා උළෙලේදී රිදී කුරානය සම්මානය හිමි විය. ‘පස්වැන්නා’, ‘පොලිස් හදිසි ඇමතුම්’, ‘මහ සයුරෙන් දිය දෝතක්’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘දළඳා සිරිත’, ‘දෑතට සවියක්’ ඔහුගේ වාර්තා සිනමාපට අතර කැපී පෙනේ. ඔහු අවසන් වරට නිර්මාණය කළේ ‘ධර්ම යාත්‍රිකයා (කසාවත් දෙශය)’ වාර්තා සිනමාපටයයි. ‘පියා සහ දරුවෝ’ යන ඔහුගේ අර්ධ වෘත්තාන්ත සිනමාපටයද මෙහිදී අවධානයට ලක් කළ යුත්තකි. මෙම සහභාගීත්වය පවසන්නේ සිරිලක වාර්තා සිනමාවේ වර්ධනීය අවස්ථා සමඟ වන ඔහුගේ ගැඹුරු බැඳීමයි.
යාපාගේ සමීපතම සමකාලීනයන් කලා මාධ්‍ය කිහිපයකටම අඩු වැඩි වශයෙන් එක්ව සිටි බව පෙනේ. මේ ජී.ඩී.එල්. පෙරේරා, ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී , විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි වැන්නන්ය. එහෙත් යාපා සිනමාව තුළම රැඳී සිටියේය. සිනමා අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, ගීත රචනය හා රූපණය තුළින් ඔහු සිය කලා දිවිය සාරවත් කළේ ඉන් නිර්මිත ප්‍රතිරූපය සුරක්ෂිත කරමිනි. ඔහුගේ අනන්‍යතාව උපදින්නේද මෙතැනිනි.
තුසිත ජයසුන්දර - සරසවිය