උදා වූ අලුත් අවුරුද්දේ ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා රටම දැන හඳුනාගත් සමාධි අරුණ ඡායා ගැනත් ඒ විදියේ අලුත් ආරංචියක් අපි ඔබට රැගෙන එනවා. හැබැයි ඒ ආරංචිය මොකක්ද කියලා දැනගන්න නම් මේ ලිපිය අවසන් වෙනතුරුම කියවන්න වෙයි.
සමාධිව සිනමා නිළියක් කළ ‘වෛෂ්ණාවි’ චිත්‍රපටයේ ඔබ ප්‍රතිනිර්මාණය කරන චරිතය ගැන මුලින්ම කතා කරමු.
‘වෛෂ්ණාවි’ කියන්නේ මගේ සිනමා ගමනේ ආරම්භය සනිටුහන් කරන චිත්‍රපටය කියලා මුලින්ම කියන්න ඕනේ. මගේ චරිතේ නම තමයි ‘රුචිරා’. පැරණි ගැමි කතාන්දරයක් වටා දිවෙන චිත්‍රපටයක් තමයි ‘වෛෂ්ණාවි’ කියන්නේ. නොයෙකුත් හැල හැප්පීම් හමුවේ ජීවිතය ජයගන්නට වෙර දරන ගැමි සංස්කෘතික යුවතියකගේ චරිතයක් තමයි මට වෛෂ්ණාවි චිත්‍රපටයේදී නිරූපණය කරන්නට සිදුවුණේ.
ප්‍රවීණ රංගනවේදී ටෝනි රණසිංහ ලියූ සිංහල සිනමාවට දැවැන්ත නිර්මාණ දායාද කළ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ “වෛෂ්ණාවි” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක වෙන්න ලැබිම ගැන මොකද හිතෙන්නේ.
බොහෝ දෙනාට නොලැබෙන කලාතුරකින් හම්බවෙන අවස්ථාවක් තමයි මට මේ ලැබුණේ. ලෙස්ටර් ජෙම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් වගේ සිනමාවේ අග්‍රගණ්‍ය දෙපළකගේ විශිෂ්ට සිනමා නිර්මාණයක් හරහා හෙළ සිනමා රංගනයට ප්‍රවේශ වීමට ලැබිමත් මට ලැබුණු භාග්‍යයක් විදිහටයි මා සලකන්නේ. සමහර විට ඒක පෙර පිනක් වෙන්නත් ඇති.
අත්තම්මා, මලී ඒ වගේම සිඳු වැනි ටෙලි නාට්‍යයවලත් ඔබ නිරූපණය කළේ ගැමි චරිතයි. එයින් පෙනෙන්නේ ඔබ ගැමි චරිතවලට පමණක් කොටු වී සිටින බව නේද?
මෙහෙමයි මම මුලින් රඟපෑ නිර්මාණවලට ලැබුණ ප්‍රතිචාර නිසා තමයි මට ඒ වගේම චරිත ලැබෙන්න පටන් ගත්තේ. අනික මගේ පෙනුමත් ඒකට බලපාන්න ඇති. ඇත්තටම මම කැමතිත් ඒ වගේ චරිතවලට තමයි. නාගරීකරණයට හසුවූ සංකර චරිත රඟපාන්න මම ඒ තරම් කැමැති නැහැ. පෞද්ගලික ජීවිතේ වුණත් මම ඒ වගේ සංකර ඇඳුම් පැලඳුම් අඳින්න කැමති නැහැ. ඒත් ඉතින් ගැමි චරිතම කරනවා කියන රාමුවේ මම නැහැ. නිර්මාණය හොඳනම් විතරයි මම ඕනෑම චරිතයක් බාර ගන්නේ.
ඔය කියන තෝරා බේරා ගැනීම නිසා ඔබට ආර්ථික වශයෙන් පාඩු වෙන්නත් ඇති නේද?
ඇත්තටම ඔව්, “මලී” කරන කාලේ ඉඳලම දහසකුත් ආරාධනා මට ලැබුණා. විශේෂයෙන් බොළඳ ආදර කතාවල ප්‍රධාන නිළියගේ චරිතයට අනන්ත අප්‍රමාණ ආරාධනා ලැබුණා. නමුත් ඒවා මගේ නිර්මාණ රාමුවේ නැති නිසා භාර ගත්තේ නැහැ. සල්ලි හම්බ වෙනවා කියලා ඕනෑම කුණු ගොඩක් බාර ගන්න මම කැමැති නැහැ.
ඔබේ රංගන ජීවිතයට සැමියාගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
මම බබා නිසා සමහර නිර්මාණවලට පස්ස ගැහුවත්, කල් දැම්මත් මගේ සැමියා සංජය බෑ කියන්න එපා... අපරාදේ ලැබිච්ච අවස්ථාවෙන් ප්රායෝජනේ ගන්න... කියමින් මාව දිරි ගන්වනවා. ඇත්තම කියනවා නම් ඒ ශක්තිය නිසා තමයි අද මම මෙතන ඉන්නේ.
මේ කතා බහ නතර. කරන්න කලින් අපි දැන් අර රහසත් කියලා දාමු නේද?
(හිනැහී) මම දැන් දවෛනි බබා බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ නිසා ‘සිඳු’ ටෙලි නාට්‍යයටත් මම තාවකාලිකව සමුදුන්නා. කොහොමහරි බණ්ඩිය පේනකම්ම රඟපෑවා. ඒ අතර ආරාධනා කිහිපයකුත් ලැබුණා. ඒත් අලුත් දෙයක් ගැන හිතන්න නම් තව මාස කිහිපයක් ගත වේවි. මොකද අලුතින් අපේ පවුලට එකතු වෙන්න ඉන්න හුරතලාව පරිස්සම් කරන්න ඕනනේ.
සමන්මලී නැලිගම