මිල්ටන් මල්ලවාරච්චි අප අතරින් වියෝ වූයේ 1998 මාර්තු මස 10 වැනිදාය.
මේ වනවිට ඔහු ගීත ලෝකයෙන් සමුගෙන වසර දහනවයක් සපිරෙන්නට ආසන්න වුවත් ලෝකයේ කොතැනකින් හෝ ඔහුගේ මිහිරි ගීතයක් මේ මොහොතේද සුළඟට මුසුවන බව අමතක කළ නොහැක.ඒ තරමට ජනප්‍රිය මිල්ටන් මල්ලවාරච්චිගේ ලෙයින් බිහිවූ දරුවන් අතරේ පියාගේ ගීත ගායනා කරමින් ගායන ලෝකයට පිවිස සිය අනන්‍යතාව තහවුරු කරගත් ගායකයෙක් වන්නේ රනිල් මල්ලවාරච්චිය.
එහෙත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මිල්ටන් මල්ලවාරච්චිගේ තවත් පුතකු ජීවත් වන බව බොහෝ දෙනෙක් දන්නේ නැත. මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ පමණක් නොව රුවද ඇති ඔහු තාරක මල්ලවාරච්චිය. මේ බොහෝ දෙනකු නොදන්නා තාරක පිළිබඳව “රිද්ම” හෙළිකරන කතාවයි.
තාරක සිඩ්නි නගරයට ඇවිත් කොච්චර කල්ද?
මම ආවේ ළඟදි. මම අවුරුදු දාහතරක්ම හිටියේ මෙල්බර්න්වල. අම්මත් එක්ක.
දැන් වයස කීයක් වෙනවද?
තිස් පහයි.
ඔබගේ පවුලේ සහෝදර සහෝදරියන් කීදෙනෙක් ඉන්නවද?
හතර දෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා රනිල් අයියා. ඊට පස්සේ හර්ෂනී මල්ලවාරච්චි. නදීජා සහ මම. පොඩි අක්කා නදීජා ඉන්නේ සිඩ්නි හි පැරමා නමැති උප නගරයේ. රනිල් ඉන්නේ මෙල්බර්න්වල. ලොකු අක්කා ලංකාවේ ඉන්නේ.
තාරක විවාහකද?
ඔව්. මම විවාහ වුණේ 2009 වසරේ. මගේ බිරිඳගේ නම ගයනි මල්ලවාරච්චි. මට දුවක් ඉන්නවා. එයාගේ නම යුරේනි මල්ලවාරච්චි. දුවට වයස අවුරුදු තුනයි.
මිල්ටන්ගෙන් පස්සේ රනිල්ගේ හඬ තමයි රසිකයන්ට හුරු වුණේ. තාරක කියලා මිල්ටන්ගේ පුතෙක් ගැන රසිකයන්ට ඒ හැටි මතකයක් නැහැ. ඒ ඇයි?
දෙදාහ වසරේ තමයි මම පියාගේ ගීතයක් ජීවිතයේ මුල් වතාවට ගායනා කළේ. ඒ ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරුණු “රිදම් චැට්” සංගීත වැඩ සටහනේදී. එම අවස්ථාව මට ලබා දුන්නේ මනෝජ් පීරිස් මහතා.
කොහොම වුණත් රනිල් මල්ලවාරච්චි මිසක් තාරක මල්ලවාරච්චි නමින් ගායකයෙක් ඉන්න බවක් රසිකයන්ට ඒ හැටි මතකයක් නැහැ. ඒ ඇයි?
2001 දී මම මෙල්බර්න් ආවා. 2010 දක්වා මම කිසිම ගීතයක් ගායනා කළේ නැහැ. ඒ කාලයේදී රනිල් ඉදිරියට ආවා. 2010 තමයි මම නැවතත් ගීත ගයන්න පටන් ගත්තේ. ඒ මෙල්බර්න්වල පැවැති උත්සව, සුහද හමු සහ මංගල සාද ආදියේ. දීර්ඝ නිහැඩියාවක් නිසා මිල්ටන්ට, තාරක මල්ලවාරච්චි නමින් පුතෙක් ඉන්න බව සමහරු නොදන්නවා වෙන්න පුළුවන්.
සිඩ්නිවල ජීවත් වෙන අතරේ ඔබ කොහොමද රසිකයන්ට සමීප වෙන්නේ?
මම අලුත්ම ගීත තුනක් ගායනා කළා. එක් ගීතයක සහාය ගායිකාව හැටියට මා සමග එක්වුණේ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්දි අධිකාරි. ඊට අමතරව වීඩියෝ ක්ලිප්ස් කීපයක් කළා. ඒවා රූපවාහිනී නාලිකාවල විකාශය වෙනවා. ඒ වගේම මගේ රසිකයන්ගෙන් මට ඉල්ලීමක් තියෙනවා ලංකාවට ඇවිත් ප්‍රසංගයක් පවත්වන්න කියලා. ලබන අගෝස්තුවේදී පමණ එම ප්‍රසංගය පවත්වන්න හැකිවේ යැයි මම විශ්වාස කරනවා.
මේ හරහා රනිල් සහ ඔබ අතරේ තරගකාරී තත්ත්වයක් ඇති වේවි නේද?
එහෙම වෙන එකක් නැහැ. මම මගේ දක්ෂතා අනුව අනාගතය ගොඩ නගා ගන්නයි සූදානම් වෙන්නේ.
කොහොම වුණත් මිල්ටන් මල්ලවාරච්චිගේ පුතෙක් විදිහට අද ඔබ ඉන්න තැන ගැන ඔබ සතුටුද?
නැහැ.
ඇයි ඒ?
මට ඉදිරියට යන්න දෙන්නේ නැහැ.
ඒ කවුද?
සමහර බලවේග තිබෙනවා. ඒ බලවේග සමග ගැටෙන්නට මම කැමති නැහැ. මට අවශ්‍ය තාරක මල්ලවාරච්චි නමින් තාත්තාගේ නම ඉදිරියට ගෙන යන්නයි.
යම්කිසි බලපෑමක් තාරකගේ ගායනයට එල්ල වෙලා තිබෙන බවක්ද කියන්නේ?
ඔව්.
ඒ නිසා තාරකට සිද්ධ වෙලා තිබෙනවා මිල්ටන්ගේ ගීත අඩුවෙන් ගායනා කරලා ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණ වැඩියෙන් කරන්න?
ඒක ඇත්ත.
රනිල් සහ ඔබ අතරේ තිබෙන සම්බන්ධතාව මොන වගේද?
අයියයි, මායි අතරේ සම්බන්ධතාවක් තිබෙනවා. අපි කතා කරනවා. නමුත් අභ්‍යන්තර බලවේග මගේ ඉදිරි ගමනට බාධාවක් වෙලා තිබෙන බවක් තමයි මට හැඟෙන්නේ.
අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ සිට -ලක්බිම