lan englan tam

විශේෂාංග

"පෙනෙන්නට ජීවත් වනවාට වඩා දැනෙන්නට ජීවත් වෙන්න" යි කියන "සූර්යා"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- ඉරේෂා හේමමාලි -

අප බොහෝ දෙනෙක් අද ජීවත් වෙන්නේ ශෝෂල් මීඩියා මතින් තම අනන්‍යතාවය නිර්මාණය කරන සමයකය.

ඒ නිසාම Like, Share, Comment යන සංකේත වලට ලැබෙන ප්‍රතිචාර මඟින් තමන්ගේ වටිනාකම තක්සේරු කරන තරුණ පරපුරක් ද දැන් බිහිවී ඇත. “මම කවුද?” යන ගැඹුරු ප්‍රශ්නය තමාගෙන්ම අසන්නටවත් නොනැවතී followers ලාට, trending algorithm එකට තම අනන්‍යතාව භාර දී ඇත.

මෙම සමාජීය අරුත හා මානසික පීඩනය අතර සිටින තරුණයාගේ ඇත්තම ආතතිය නිරාවරණය කරමින් මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ දිනේෂ් මුතුගල නිශ්පාදනය කළ නවතම සිනමා නිර්මාණය “සූර්යා” නරඹන්නට ජූලි 12 සිට ලාංකේය ප්‍රේක්ෂකයාටද අවස්ථාව උදාවී තිබේ. දින කීපයකකට පෙර මෙල්බර්න් නුවරදී සූර්යා නැරඹීමේ එම අවස්ථාව මටද හිමිවිය. . ඒ සිත් ඇදගන්නා, චිත්‍රපටය නැරඹීමෙන් පසු මගේ අදහස ලියා තබන්නට සිතුවෙමි.

 

518318282 1442768686715653 7451091135219578210 n 

ප්‍රධාන චරිතය 'සූර්යා' සමාජ මාධ්‍යය තුළින් ජනප්‍රිය වූ තරුණයෙකි. ඔහුගේ ජීවිතය දිවයන්නේ followers, content, reels, සහ social validation මතය. නමුත්, ඔහු නිකුත් කළ විඩියෝවක් නිසා ඇතිවන backlash එක, ඔහුගේ online අනන්‍යතාව බිඳ දමයි. ඒ සමඟම ඔහුට ඔහු තුළම නැඟෙනා ගැඹුරුම ප්‍රශ්නය “මම කවුද දැන්?”යන්නයි.

ඉන් පසු ඔහු තිරයෙන් පිටත සිට තමන්වම දැකීම ආරම්භ කරයි. මෙය සමාජ මාධ්‍යයම භාවිත කරමින් සත්‍යය වෙත නැවත පැමිණීමේ ගමනකි. ඔහු වටා සිටින ලෝකය,දෙමාපියන් සහ ඔහුටම තේරෙන්නට අමාරු වූ “මම” පිළිබඳව ඇති විකල්ප නැඹුරුව ඔහු සාර්ථකව සොයා ගනී.

ලකාන් ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය ක්‍රමය අනුව, “මම” (I )

යන්න කියන්නේ ස්වයංපූර්ණ සහ ස්වයංනිර්මාණය වූ එකක් නොව, “අනෙකා” (The Other) විසින්ම සැලසුම් වන, භාෂාමය හා සමාජීය දැක්මක ව්‍යුහගත කිරීමකි. එනම් මම (I)යන පුද්ගලයා නිර්මාණය කරනුයේ අනෙකා (other )විසිනි.

"සූර්යා” චිත්‍රපටයේ සූර්යාගේ අනන්‍යතාව යනු ඔහුම හිතන තරම් ඔහුට අයත් නොවන බව දැක්වීමකි. ඔහුගේ හැසිරීම්, ආශාවන්, ආකල්ප සියල්ල අනෙකාගේ දැක්මෙන්ම නිර්මාණය වූවන්ය. ඒ නිසාම social media හරහා other හෙවත් අනෙකා විසින්ම ගොඩනැඟූ I නැමති චරිතය (image )විනාශ කර දැමීමට other හෙවත් අනෙකාට ඇති හැකියාවත් මෙහිදී මැනවින් පෙන්වා දෙන්නකි.

"සූර්යා” තුළින් තරුණ පරපුර සහ දෙමව්පියන් අතර ඇති සංවේදී මනෝ විෂමතාවය ද පෙන්වාදෙයි. ඔහු හැඟීම් රඳවාගෙන සිටී.දෙමව්පියන් හෝ වටපිටාව එය හඳුනාගන්නේ නැත. ඔවූහු එකිනෙකාගේ භාෂාව නොදනිති. නොහඳුනති. මෙය today’s reality එකක හෙළිදරව්වක් ලෙස මා දකින්නේ එනිසාය.

අධ්‍යක්ෂවරයාගේ දෙවන සිනමා උත්සාහය ලෙස වේදිකාවට නැඟී ආ ‘සූර්යා’ චිත්‍රපටය, පළමු අර්ධයේදී සමාන්‍ය තරමක් මන්දගාමී සහ අනවශ්‍ය දිගුවීමකින් ගලායෑමක් පෙන්වයි. නමුත් ඒ ස්වභාවය ප්‍රේක්ෂකයා තුළින් සමනය කොට දෙවන අර්ධයේදී චිත්‍රපටයට ප්‍රේක්ෂකයා නතු කර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. දෙවන අර්ධය ආරම්භ වන විට සූර්යාගේ චරිතය වෙනස් කරමින් සටන්කාමී, ආදරණීය, නර්තන මෙන්ම සංවේදී දර්ශනවලින් පිරුණු පූර්ණ බයිස්කෝප් චිත්‍රපටයකට පරිවර්තනය වේ. එය දමිල හෝ හින්දි බයිස්කෝප් චිත්‍රපටයක සමීප ආභාශයක් පෙන්වයි.

 

477716510 122198523578183099 964718315824044839 n

 

නවීන තාක්ෂණය, කැමරා භාවිතය අධ්‍යක්ෂවරයාගෙ මුල්ම චිත්‍රපටය වූ 'Rush' චිත්‍රපටයට වඩා තවත් පියවරක් ඉදිරියට ගිය බව පැහැදිළිවම දක්නට ඇත. චිත්‍රපටය පුරාම විශුවල් බියුටි තුළින් සහ කැමරා ආලෝකකරණය තුළින් චිත්‍රපටය වර්ණවත් කිරීමට කැමරා අධ්‍යක්ෂ රංග එස්. බංඩාර සමත් වී තිබේ. එය නව පරපුරේ උණුසුම් දෘශ්‍යට ගැළපෙන අයුරින් සැකසී ඇත. විශේෂයෙන්ම සමාජ මාධ්‍යය සන්ධිස්ථාන, වීඩියෝ සටහන්, screen shots, ආදියෙන් තිරය පිරෙයි. මේ හේතුවෙන් නරඹන්නා චරිතය තුළටම අපට යාමට ඉඩ අධ්‍යක්ෂවරයා සාදා දෙයි.චිත්‍රපටය හරහා ගෙනෙන අයිඩියෝලොජි එක ප්‍රේක්ෂකයාට පැහැදිලි කර ගැනීමට යොදාගෙන ඇති දෙබස් උපයෝගී වේ.නරඹන්නාගේ බුද්ධියේ විමසුමට මාර්ගය ඒ තුළින් විවර කරයි.

 

 

රංගනය සහ චරිත විකාශනය දෙස බැලූ විට ප්‍රධාන චරිතය ලෙස ජනිත් වික්‍රමගේ, අතිශය විශ්වාසය දනවන රංගනයක නිරත වේ. චිත්‍රපටය මුල් බාගයේ ඔහු නිරූපණය කරන චරිතය සරල, විනෝදකාමී, නොසැලැකිලිමත්, නව පරපුරේ නියෝජිතයෙකු සිට සමාජයේ බරපතළ පැතිකඩකට මුහුණ දෙන වගකීම් සහගත පුද්ගලයෙකු වෙත සංක්‍රමණය වීම සැලකිය යුතු මට්ටමින් නිරූපණය කරයි. ඔහුට මගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි.චිත්‍රපටයයේ නිශ්පාදක ලෙස මෙන්ම චිත්‍රපටයයේ පොලිස් නිළධාරියෙකු ලෙස දිනේෂ් මුතුගල රංගනයේ සාර්ථක පිම්මක් පැන ඇති බව විශේෂයෙන් සදහන් කළ යුත්තකි. මෙහිදි ඉසුරු ලොකුහෙට්ටආරච්චි තරම්ම දක්ෂ පෞරුෂයකින් යුතු රංගනයක් ඔහුගෙන් දුටුවෙමි. පෞද්ගලිකව චිත්‍රපට හරහා පණිවිඩ දිය යුතු නැතැයි යන මතයේ සිටියද ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු හරහා සමහර දෙබස් ඉදිරිපත් කිරීම තුළින් දිනේශ් මුතුගල, චිත්‍රපටයට විශාල ප්‍රාග්ධනයක් සේ දුටුවෙමි.

ප්‍රවීන රංගන ශිල්පීන් මෙන්ම තරුණ රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයද සූර්යා චරිතය ගොඩ නැංවීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ. ඔවුන්ගේ රංගනයන් සජීවී චරිත නිර්මාණය පමණක් නොව, නරඹන්නාගේ සිතිවිලි හා සිත් ඇදගන්නා සුලුය .

සූර්යා පවුලේ සිනමා අත්දැකීම්ක් ලෙස රසවිදීමට සුදුසු සිනමා අත්දැකීමකි. සංගීතය , නර්තන, හැඟීම් හා සටන් දර්ශන අතර ගිලී සිටින ප්‍රේක්ෂකයාට එකම වතාවක සිනාසීමක්, විටෙක කඳුළක්, විනෝදාශ්වාදයත් ඇතුළත් සම්පූර්ණ cinematic experience එකක් ලබා ගැනීමට හැකිය. සූර්යා තරුණ පරපුරට අන්වාර්‍යෙන් උතතේජකයක් වේවි.වාණිජ චිත්‍රපටයක් ලෙස මට නම් "සූර්යා" සාර්ථක බයිස්කෝප් එකකි.

 

සටහන - ඉරේෂා හේමමාලි

('Iresha Hemamali' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom