lan englan tam

විශේෂාංග

'දඩයක්කාරයාගේ කතාව' ගැන විශ්ලේෂණයක් - ජයසිරි අලවත්ත

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

-Jayasiri Alawatta-

පීඩිතයින් තම පීඩිත බව දරා සිටීමට නොහැකි වූ විට පීඩකයාට එරෙහිව නැගී සිටිති. එහි දී පීඩකයා පළමුව උත්සාහ දරන්නේ තම බලය යොදවා පීඩිතයින් මර්දනය කිරීමට ය. එය අපහසු වූ විට පීඩකයා පීඩිතයිනට එරෙහිව කටයුතු කිරීම සඳහා උපයෝගී කොට ගන්නේ පීඩිතයින් ම ය.

සයිමන් නවගත්තේගම ගේ ‘‘දඩයක්කාරයා ගේ කතාව’’ ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ දී මෙම සිද්ධාන්තය මැනවින් පිළිබිඹු වන්නේ ය.

දඩයක්කාරයා පරිසමාප්ත අර්ථයෙන් ම දඩයක්කාරයකු වුව ද ඔහු තුළ අප‍්‍රමාණ වූ මිනිස් ගුණ සමුදායක් පිරී පවත්නේ ය. ඔහු සතුන් මැරුව ද, නොමැරුව ද, නිරන්තරයෙන් ගම්වැසියන්ගේ පරිභවයට ලක්වන්නේ ය. විටෙක ඔහුගේ දඩයම වෙනුවෙන් සතුටු වන ගම්මුන් තවත් විටෙක ඔහු දෝෂ දර්ශනයට ලක් කරති. ඔහු ගම්මුන්ට අවැසි පරිදි ජීවත් විය යුතු යැයි සිතෙන තරමට ගම්මුන් දඩයක්කාරයාට බලපෑම් කරති. මේ ‘‘හොඳ’’- ‘‘නරක’’ වෙන් වෙන්ව හඳුනාගැනීමේ අසීරුතාවය පිළිබඳ කදිම නිදසුනකි.

මහලූ කොටියා මිනිසුන් මරා කෑම ඇරඹි මොහොත දෙස අප අවධානය යොමු කළ හොත් මෙය වඩාත් තීව‍්‍ර කොට ගත හැකිය.කොටියා මරා නොදැමුවහොත් වෙසක් පොහොය දින පන්සලේ පින්කමට සහභාගිවන පිරිසෙන් එක් පුද්ගලයකු හෝ කොටියාට බිලිවන බව ස්ථිරවශයෙන් ම හඳුනාගත් දඩයක්කාරයා කොටියා මරා දමයි. ඔහු සිතන්නේ එය ඔහුගේ වගකීමක් බව ය. තම වගකීම ඉටු කළ ද බෞද්ධ ශ‍්‍රද්ධාවෙන් ඔදවැඞී ගිය ගම්වැසියන් දඩයක්කාරයාට මෙසේ චෝදනා කරති.

‘‘හානේ , හානේ දඩයක්කාරයා මේ පෝයදාත් දඩයමේ ගොහින්!’’

‘‘අර හාමුදුරුවෝ ගමට ම වැඩල, මූණට කියල අඩගහලාවත්, මේ මිනිහට බැරි වුණානෙ සිල් ගන්නව තියා මේ වෙසක් දවසෙ! තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ ගැන හිතලා, ප‍්‍රාණ ඝාතයෙන් වත් පැය විසි හතරකට වෙන්වෙලා ඉන්ඩ!’’

- පිටුව 20

ගම්මුන්ගේ මෙම සංකල්පයට හාත්පසින් ම වෙනස් සංකල්පයක් මත පිහිටා ක‍්‍රියාකරන අවස්ථාවක් දෙස අවධානය යොමු කරමු.

කසයා නමැති ඇතා වැවේ සොරොව්ව කඩන විට දඩයක්කාරයා සතුටින් ඉපිලව බලා සිටිය ද එය බරපතල වරදක් බව වැටහෙන්නේ සියල්ල සිදුවී අවසන් වීමෙන් පසුව ය. එම අවස්ථාවේ දඩයක් කාරයා ඇතා නො මැරූ හෙයින් ඔහු ගම්මුන්ගේ දෝෂාරෝපණයට ලක්වන්නේ ය.

‘‘මහලොකු දඩයක්කාරයා! තුවක්කු කොටයක් උස්සගෙන, ? දවල් කොහේද යකෝ ඌ යන්නේ? මහ කාලකන්නි මූසල පෙරේතයෙක් පරම්පරාවක් කන්ඩ තිබුණ වෑකන්දක හොරොව්වක් කඩන තුරු තුවක්කුව තියාගෙන බලා ඉඳලා! මොකක්ද යකෝ ඔය කාලකන්නියගෙ තියන කාලකන්නිකම?’’

- පිටුව 31

ගමට ව්‍යසනයක් පැමිනෙතැයි සැක සිතූ මොහොතේ කොටියා මරා දැමූ දඩයක්කාරයාට එදා ගම් වැසියන් සැලකූ ආකාරයත් මෙදා සලකන ආකාරයත් වෙන් කොට හඳුනාගන්නේ කෙසේ ද යන්න ගැටලූවකි. මිනිසුන්ගේ සිතුවිලි අවස්ථානුකූලව වෙනස්වන වේගය මින් කදිමට පැහැදිලි කෙරේ.

සයිමන්ගේ කෘතීන්හි දක්නට ලැබෙන සුලභ ලක්ෂණයක් ලෙස මහායානික බෞද්ධ දර්ශනය දැකිය හැකිය. ඔහු ථෙරවාදය බැහැර කළා යැයි මින් ගම්‍ය නොවන බවද සනිටුන් කළ යුතුය. ගමේ විහාරස්ථානයේ වැඩ වෙසෙනා බෞද්ධ භික්ෂුවට හැම ගැහනියක් ම සහ හැම පිරිමියෙක් ම යටත් වුව ද දඩයක්කාරයා එසේ නොවුනි. ඔහු එසේ නොවන්නේ ඇයි?

‘‘දඩයක්කාරයා සුරා නොබොයි, මුසාවාද නොකියයි, කාම මිත්‍යාචාරයේ නොයෙදෙයි, සොරකම් නොකරයි, දඩයම් පමණක් කරයි. එහෙත් පස්පවෙහි ගිළුනෙකු සේ සලකනු ලබයි.’’

- පිටුව 10

සයිමන් මෙම කෘතිය පුරා ම දඩයක්කාරයා පව්කාරයකු ලෙස හැඳින්විම වළකාලයි. ඔහු නිරන්තරයෙන් ම උත්සාහ දරන්නේ දඩයක්කාරයා ශුද්ධ වන්තයකු බවට පත්කිරීමට ය. ඔහු දඩයම් කරන්නේ ද ගම්වැසියන්ගේ වුවමනාවන් සපුරාලීමට බව කතුවරයා පවසයි.

‘‘... ඔහු මරා ගෙනෙන සතුන්ගේ මස් සියල්ල ම වගේ කා දමන්නෝ ඔවුහු ය. ඔවුන් දඩ මස් කන්නේ නැතිනම් තමන්ට සහ ගෑනිට විතරක් කන්ඩ ඔතරම් සතුන් මරන්නට වුවමනාවක් ද නොවන්නේ ය.’’

- පිටු 9, 10

මෙය වඩාත් තහවුරු කරනු වස් සයිමන්, දඩක්කාරයා වෙත ගම් වැසියන් තම තමන්ගේ මස් අවශ්‍යතාවය පිළිබඳ කරනු ලබන සඳහන වෙත අවධානය යොමු කළ යුතුය. (බලන්න පිටුව 10)

 

‘‘දඩයක්කාරයාගේ කතාව’’ හුදු දඩයක්කරුවකු ගේ වෘතාන්තයක් පමණක් නොව සමස්ථ මිනිස් සන්තානයන් පිළිබඳ ගැඹුරු කතිකාවතක් සපයන සාහිත්‍ය කෘතියක් ලෙස සැලකිය හැකිය. සිය කෘතියේ එක් එක් පරිච්ඡේද තුළින් අදාළ මාතෘකා වෙත පාඨකයා රැගෙන යන්නට සයිමන් උත්සාහ දරයි.

කුමී සහ බණ්ඩා පිළිබඳ කතන්දරය මෙයට හොඳම නිදසුනකි. (14 වන පිටුවේ 03 වන පරිච්ඡේදයේ සිට 15 වන පිටුවේ පළමු පරිච්ඡේදය දක්වා අවධානය යොමු කරන්න) නිසියාකාරව කරුණු සොයා නොබලා කටකතා ඔස්සේ යම් යම් නිගමනයන්ට බැසිමේ අවදානම සහ එතුළින් මිනිසුන්ගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරය සයිමන් මෙම පරිච්ඡේදය තුළින් ගම්‍ය කොට ඇත.

සත්‍ය වසන් කිරීම ද නිතියට පටහැනි ක‍්‍රියාවකි. එහෙත් බහුතරයකගේ යහපත උදෙසා සත්‍ය වසන් කිරීම වරදක් නොවන බව දඩයක්කාරයා දැන සිටියේ ය. කුමී සහ බණ්ඩා ගමෙන් වහං වි නොගිය බව මෙන් ම ඔවුන් දෙනො ම දරුණු කොටියාගේ ගොදුරක් වු බව දැන සිටිය ද දඩයක්කාරයා ඒ බව ප‍්‍රසිද්ධ නොකරන්නේ එහෙයිනි. එය වංචාවක් හෝ දැන දැන සත්‍ය වසන් කළා ය යන චෝදනාව එල්ල කළ නොහැකි කරුණකි. වැරැද්ද සහ නිවැරැද්ද කුමක් ද යන්න තීරණය කළ යුත්තේ ද අවස්ථාවට අනුව බව සයිමන් මෙහි දි අප වෙත පසක් කරලයි.

දඩයක්කාරයා සිල් නොගත්ත ද සිල් ගන්නට බලාපොරොත්තු සිටි සෑම සියලූ දෙනාගේ ම යහපත උදෙසා කොටියා ඝාතනය කරයි.

"හාමුදුරුවන් ගේ කෙහෙල්මල් අටසිල් ව්‍යාපාරය එක වචනෙන් තමාට කඩාකප්පල් කළ හැකි බව ඔහු සිතුවේ ය. කුමී සහ බණ්ඩා කොටියා කා ඇති බව සත්‍යයකි. ඒ සත්‍යය හෙළි කිරිම පමණයි ඔහුට කරන්නට ඇත්තේ. මිනි කන කොටියා ගැන සැළ වූ වහාම වෙසක් පෝයට පන්සල පාළු වනු ඇත. හතර පේරුවේ ම දායකයන් පන්සල් යා යුත්තේ හැතැප්ම හතරක් පහක් විතර කැලැ පාරවල් හතරකිනි.’’

- පිටුව 17

පරිසරය හා ජීවීන් අතර සහ සබඳතාවයත් පරිසරයේ වෙසෙන මිනිසුන් සහ සතා සීපාවා අතර පවතින්නා වු සබඳතාවය ද ඉතා මැනවින් පිළිබිඹු කරන්නට සයිමන් මෙම කෘතිය හරහා යත්න දරා ඇත. මෙහි අන්තර්ගත දෙවන කතාව මේ සඳහා කදිම නිදසුනකි.

අලියා සහ මිනිසා අතර පවතින්නා වු සබඳතාවය මෙන්ම අලියා කැලෑව සමග කෙතරම් බැඳී සිටිනවා ද යන්න මෙම පරිච්ෙඡ්දය පුරා විකාශනය වෙයි. ආහාරයට මස් සපයාගැනීම සහා කෙතරම් සත්ව ඝාතනයේ යෙදුන ද සතෙකුට දඩුවමක් දීම සඳහා එකී සත්වයා මරා දැමීම කෙතරම් බරපතල කාරණයක් ද යන්න ඒත්තු ගන්වන්නට සයිමන් දඩයක්කාරයා යොදා ගනී.

සොරොව්ව කඩා බිඳ දැමූ මොහොතේ දඩයක්කාරයාගේ හැසිරීම සහ සහ ඉන් අනතුරුව ගම්මුන් දඩයක්කාරයා වෙත කරනු ලබන චෝදනා ඔහු මායිම් නොකිරිම තුළ අලි මිනිස් සබඳතාවය පිළිබඳ අපූරු සිතුවමක් පාඨකයාගේ මනසේ චිත‍්‍රනය කරන්නට සයිමන් සමත්ව ඇත. (27 වන පිටුව වෙත අවධානය යොමු කරන්න)‘‘මාළුකාරයා’’, ‘‘මස්කාරයා’’, ‘‘දඩයක්කාරයා’’ මෙකී තෙවදෑරුම් සංකල්පය මිනිස් මනසට කෙතරම් බලපැමක් කරන්නේ ද යන්න වෙසෙසින් අවධානය යොමු කළ යුතු කරුණකි. ‘‘මාළුකාරයා’’ ට මාළු කපන්නා හේ මිනිසුන් ද කපා කොටා දැමිය හැකි බවට මිනිසුන් විහ්වාස කරති. ‘‘මස්කාරයා’’ පිළිබ ඳ සංකල්පය ද මීට දෙවැනි නොවෙයි. ‘‘දඩක්කාරයා’’ යන නම ඇසූ පමණින් මිනිසුන් අදහස් කරන්නේ සතුන් දඩයම් කරනවා මෙන් ම දඩයක්කරුවාට මිනිසුන් ද මරා දැමිය හැකි බවයි. එහෙත් සයිමන් එම සංකල්පය අවලංගු කරන්නට ද දඩයක්කාරයා උපයෝගි කොට ගනී.

සොරොව්ව කඩා බිඳ දැමූ අලියා පිළිබඳ දඩයක්කාරයාගේ සිතුවිලි සහ තඩිබණ්ඩා, ඔහුගේ දරුවන් සහ බිරිඳ පිළිබඳව දඩයක්කාරයාගේ සිතුවිලි කෙරෙහි පාඨකයින් ගේ අවධානය යොමු කිරිම මෙය වඩාත් තහවුරු කරනු ලබයි.

තම බිරිඳ සහ තඩිබණ්ඩා අතර පවතින අනියම් ඇසුර දැන සිටිය ද ඒ පිළිබඳව යම් ආරෝවක් දඩයක්කාරයාගේ සිතෙහි තැන්පත්ව තිබුණ ද තඩිබණ්ඩාගේ දරුවන් සහ බිරිඳ කෙරෙහි ඇතිවන සානුකම්පිත බව හේතුවෙන් ඔහු සිය හැඟීම් යටපත් කොට ගන්නේ ය. මෙය මිනිසාට පිහිටා තිබිය යුතු උතුම් ගුණාංගයක් බව සයිමන් ව්‍යංගයෙන් පවසයි. (51 වන පිටුවේ 04 වන පරිච්ෙඡ්දයේ සිට 54 වන පිටුව දක්වා අවධානය යොමු කරන්න)

මිනිසා තම අරමුණු ඉටුකරගනු වස් හඬන්නට ද, සිනාසෙන්නට ද, අනෙකාට දොස් පවරන්නට ද, පහර දීමට ද පෙළඹෙන්නේ ය. හඬා වැළපි තම අරමුණ ඉටුකරගත නොහැකි වූ විට සිනාසෙන්නේ ද සිනාසි නොහැකි වු විට හඬා වැළපෙන්නනේ ද එකම අරමුණක් වෙනුවෙනි. වෘක්ෂ දේවතාවන්ගේ ධ්‍යානය බිඳිනු වස් උමයංගනාව කල්ප කාලාන්තරයක් හඬා වැළපුන ද වෘක්ෂ දේවතාවෝ නිහඬ ව‍්‍රතය රකිනා විට උමයාංගනාව තම උත්සාහය වෙනත් මගකට යොමු කරවන්නීය. ඇය එතැන් පටන් මහ හඬින් සිනාසෙන්නී ය. මෙතෙක් කල් උමයාංගනාවගේ හඩා වැළපිල්ලට හුරු පුරුදුව ධ්‍යානගතව සිටි වෘක්ෂ දේවතාවෝ මෙයින් මහත් කලබලයට පත් වූහ. ඔහු සිතුවේ උමයාංගනාව පරාජයට පත්වූ බවයි. එහෙත් සැබෑ ලෙසින් ම පරාජයට පත් වූයේ වෘක්ෂ දේවතාවෝ ය. (58 වන පිටුවේ 03 වන පරිච්ෙඡ්දය වෙත අවධානය යොමු කරන්න පාලකයින්ගේ ද පාලිතයින්ගේ ද නොපනත්කම් හෙළිදරව් කරන්නට සයිමන් තම කෘති තුළින් නිරන්තර වෙහෙස දැරීය. ඒ අතුරින් ‘‘සාපේක්ෂණී’’ ප‍්‍රමුඛස්ථානයක් උසුලන අතර ‘‘සංසාරන්‍යයේ දඩයක්කාරයා’’ කෘතිය තුළින් ද මෙකී දේශපාලන ව්‍යසනය බෙහෙවින් සාකච්ඡා කොට ඇත.

වනාන්තරයේ ගස් කපා පරිසරය විනාශ කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය නොමදව ලැබෙන බව ප‍්‍රසිද්ධ රහසකි. වන නිලධාරීන්ට තම වෘත්තීය ගෞරවය රැුකගෙන අදාළ වෘත්තියේ නියැලීමට නොහැකි තත්ත්වයක් වර්තමානයේ උදාවී ඇත. මෙය ‘‘දඩයක්කාරයා ගේ කතාව’’ තුළින් මතුකොට ඇත. (63 වන පිටුවේ දෙවැනි පරිච්ඡෙදය වෙත අවධානය යොමු කරන්න)

තම ජිවිතයේ අත්‍යාවශ්‍ය අංග අතරේ කන- බොන- නිදන මිනිසුන් පමණක් නොව සතා සිපාවාට ද උරුම වු රමණය, බොහෝ සාහිත්‍යකරවන් පිළිකුළ් සහගත ක‍්‍රියාවක් ලෙස සලකා බැහැර කරන්නට පෙළඹී සිටිති. නමුදු සයිමන් තම සාහිත්‍ය කාති තුළින් මිනිසා ඇතුළු සියලූ සත්වයන්ගේ ලිංගික ජිවිතය වුව ද විවරණය කරන්නට පසුබට නොවන්නේ ය.

‘‘දඩයක්කාරයාගේ කතාව’‘ කෘතියේ පස්වන කතාව සහ හයවන කතාව තුළ ඒ සඳහා වැඩි ඉඩක් සපයා ඇත. ගෝමරී පිළිබඳව කෙරෙන විවරණය මෙයට කදිම උදාහරණයකි. ඇගේ කාමාශක්ත බව හැඟවිම සඳහා අපූරු භාෂා රටාවක් මෙන්ම උපමා රූපක ද යොදාගෙන ඇත. ගම්තුලානේ මිනිසුන් මෙන්ම ගැහැනුන් ද ඇය නොපනත් කමින් පිරි චරිතයක් ලෙස හැඳින් වුව ද කතුවරයා ඇය සම්ප‍්‍රදාය විරෝධී රැඩිකල් චරිතයක් බවට පත්කරන්නේ ය. දඩයක්කාරයා ද ඇගේ කාම ගින්නේ වැටි දැවි ගිය ද ඇය පිළිබඳ අහිතක් නොසිත යි. කාතියේ පස්වන කතාව නැවත නැවතත් හැදෑරිම තුළින් කතුවරයා ගෝමරීට සාධාරණයක් ඉෂ්ට කිරිම සඳහා කොතෙක් වෙහෙසි ඇද්ද යන්න වැටහේ.

ගම්තුලානේ කාට මොනයම් ඇබැද්දියක් වුව ද ඒ සඳහා පිහිට පතා එන්නේ ද දඩයක්කාරයා වෙත ය. ගෝමරීගේ මරණයෙන් අනතුරුව ඇගේ පුතා වන පොඩි කන්දයා විසින් පැහැරගෙන යන ලද ලාබාල තරුණිය පොඩි කන්දයාගෙන් බේරා දෙන ලෙස ගම්මුන් අයැද සිටින්නේ ද දඩයක්කාරයාගෙනි. එය දඩයක්කාරයා විසින් ඉටු කළ යුතු රාජකාරියක් යැයි සිතෙන තරමට ගම්මුන් ඔහුට මේ පිළිබඳව බලපෑම් කරති.

‘‘ඉතිං මේ ගැන මොනව හරි කොරපංකො. තවත් නස්පැත්තියක් කටින්ඩ ඉස්සර’‘ ඇතැම්හු දඩයක්කාරයාට කීහ.

‘‘උඹ මොනවද මේ ගැන කොරන්ඩ ඉන්නෙ?’’ තවත් අය ඇහුවේ හරියට මේ සියල්ල ම විසඳීමට දඩයක්කාරයා ඔප්පුවකින්, තිරප්පුවකින්, මුලාදෑනිකමකින්, කතිකාවකින් උරුම ලෙසටය. පොඩිකන්දයා විසින් පැහැරගෙන යන ලද රංකිරි කෙල්ල බේරා ගැනිම සඳහා ගමේ කිහිප දෙනෙක් ඉදිරිපත් වුව ද ඉන් දෙදෙනෙක් පොඩිකන්දයාගේ කැති පහරට ලක් වු අතර හාමුදුරුවෝ දිවි ගලවා ගන්නේ දඩයක්කාරයාගේ මැදිහත් වීමෙනි. එතැන් සිට පොඩිකන්දයා දඩයක්කාරයා කෙරෙහි පසුවන්නේ දැඩි වෛරයකිනි. එක් අවස්ථාවක පොඩිකන්දයා දඩයක්කාරයාට මරු පහරක් එල්ල කළ ද දඩයක්කාරයාගේ අවධානය හේතුවෙන් ඔහු දිවි ගලවා ගනී. ඒ මොහොතේ පොඩිකන්දයා මෙල්ල කර ගැනීම සඳහා ඔහු වෙත දඩයක්කාරයා පහර කීපයක් එල්ල කළ ද, අනතුරුව,

‘‘ඔය නපුරු අදහස් අත්ඇරලා වර යන්ඩ මාත් එක්ක. මේ වනාන්තරේ කොයියම්ම තැනක හෝ ඉන්නවා අරුම පුදුම සත්වයෙක්. මං හිතන්නේ කස්තුරි මුවෙක්. තෝත් මා එක්ක වර ඒකා හොයාගන්ඩ තොගෙයි මගෙයි නයි මුගටි වයිරෙ පිරිමහගන්ඩ හැල හැප්පෙනවට වැඩිය කස්තුරි මුවා හොයා ගැනීම රට රාජ්ජෙට ම වටිනා වැඩක්’’

- පිටුව 106

අපේ රට කරවන, විවිධ පක්ෂ පාට අනුව බෙදී ඇන කොටා ගන්නා දේශපාලඥයින්ට ද මෙය කදිම ආදර්ශයකි. ‘‘දඩයක්කාරයා ගේ කතාව’’ පුරා දිගහැරෙන්නේ මෙබඳු සමාජ විවරණයන් ය. සාමාන්‍ය ජන ජිවිතයේ දී මෙන්ම දේශපාලන පොර පිටියේ දී ද සුපුරුදු සතුරා මර්දනය කිරිමට දරන උත්සාහයට වඩා වැඩි උත්සාහයක් ආගන්තුක සතුරා මෙල්ල කර ගැනීම සඳහා අවැසි ය. එය දඩයක්කාරයාට ද පොදු ධර්මතාවයකි.

‘‘මේ වනාන්තරයේ අපූරු සත්වයෙක් සැරිසරන්නේ ය. ඌ වනාන්තරයට ආගන්තුකයෙක් ද වන්නේ ය. එහෙයින් ඌ නුහුරු විදියට හැසිරෙන්නේ ද වෙයි. වනන්තරයේ සකල ඉසව්වලට හුරු සතෙකුට වඩා මෙබඳු ආගන්තුකයකු අල්ලාගැනීම අපහසු වන්නේ ය. එසේ ම ආගන්තුකයකු වීම දඩමය ද අපහසු කර වන්නේ ය. සතා ගැන, උගේ ඉරියව් ගැන, හැසිරීම් ගැන, උගේ කෑම ගැන, වතුර බොන්න වුවමනා වී යන එන තැන ගැන කිසිවක් කල් තියා දැන නිශ්චිත අදහසක් තේරුම් බේරුම් කොට ගෙන සතා පසු පස දඩයමේ ගිය නොහැක්කේ ය.’’

- පිටුව 104

මෙකී අපහසුතා ජය ගැනීම සඳහා දඩයක්කාරයා අපමණ වෙහෙසක් දරන අතර පොඩිකන්දයා ද තමාට පැවරු කටයුත්ත ඉටු කිරිම සඳහා නොමඳව වෙහෙසෙන්නේ ය. ඒ දඩයක්කාරයාගෙන් හිස්වන ‘‘දඩයක්කාර’’ ඇබෑර්තුව සඳහා සුදුසුකම් ලබාගැනිම සඳහා ය. පුද්ගලයා මිය ගිය ද එකී පුද්ගලයාගේ සකල ක‍්‍රියාකාරකම් දූරින්භූත කිරීම ඉතාමත් අපහසු මෙන්ම වෙහෙසකර බවත් ඒ ස`දහා මන්දගාමිත්වයට ඉඩ කඩ සලසා දිය යුතු බවත් මින් ගම්‍ය වෙයි. රංකිරි හා දඩයක්කාරයා අතර පරතරය පියකු සහ දියණියක අතර මෙනි. එහෙත් දඩයක්කාරයා යම් මොහොතක රංකිරි හා සස‍ඟෙයි යෙදෙන්නේ ය. පසුව ඔහු ඒ පිළිබඳව විස්සෝප වන්නේ ද නැවත නැවතත් ඒ පිළිබඳව උනන්දුව නොදක්වන්නේ ද තමන්ගේ පාරිශුද්ධභාවය පිළිබිඹු කිරිම සඳහා ය. කතුවරයා මෙහි දී දඩයක්කාරයා වැළකි සිටින සිව් පවින් තවත් පවක් දඩයක්කාරයා වෙත පටවයි.

මෙම කෘතියේ පරිච්ඡේදයක් පරිච්චේදයක් පුරා මිනිසුන්ගේ ගුප්තභාවයන් මෙන් ම එදිනෙදා හැසිරිම් පිළිබඳව දීර්ඝ මෙන් ම ගැඹුරු සංවාදයකට පාඨකයා රැගෙන යන්නට කතුවරයා සමත්ව ඇත. අවසානයේ පවතින සමාජ බලාධිකාරිය විසින් ජනතාව වෙත පටවන අනේක විධ දුක් ගැහැටවලට එරෙහි වන පොඩි කන්දයා මෙල්ල කිරිමට රජය අපොහොසත් වන අතර පිඩකයා තම අවසන් තුරුම්පුව භාවිතයට ගන්නේ කැලේ ගසක් නසන්නට කැලේ ගසක්ම අවැසිය යන කියමන ප‍්‍රත්‍යක්ෂ කරමිනි.

‘ඉන් පස්සේ සිදු වුණේ ඔහු හීනෙකින්වත් නොසිතූ නොපැතූ සිදුවීමක් ය. ලොකු ලොකු නිලධාරිහු ද, පොලිසියේ ද හමුදාවේ ද අය ද පැමිණ ඔහුට ඉතාම ලොකු ගාම්භීර වගකිමක් පැවරූ හ.’

‘‘මෙන්න අලූත් ම පන්නේ තුවක්කුවක්. මෙන්න මෙච්චර දෙනවා. උඹට විතරයි පුළුවන් වනාන්තරේ පීරලා ඌට වෙඩි තියන්ඩ!’’

‘‘අනික උඹ තමා ඌට දඩයම් පුරුදු කරලා ලයිසන් නැති තුවක්කුවක් දිලා තියෙන්නේ. උගේ සාපරාධී ක‍්‍රියාවලට වග කියන්න ඕනැ උඹ. උඹටයි අච්චු විඳින්ට වෙන්නේ!’‘

නැවතත් ලිපියේ ආරම්භක වාක්‍ය කිහිපය දෙස අවධානය යොමු කරන්න.

‘‘පීඩිතයින් තම පීඩිත බව දරා සිටීමට නොහැකි වූ විට පීඩකයාට එරෙහිව නැගී සිටිති. එහි දී පීඩකයා පළමුව උත්සාහ දරන්නේ තම බලය යොදවා පීඩිතයින් මර්දනය කිරීමට ය. එය අපහසු වූ විට පීඩකයා පීඩිතයිනට එරෙහිව කටයුතු කිරීම සඳහා උපයෝගී කොට ගන්නේ පීඩිතයින් ම ය.’’

 

506161592 9542548555850046 2192487627277443032 n

කර්තෘ - ජයසිරි අලවත්ත (Jayasiri Alawatta) 

 

 

 

 

 

කවරයේ ඡායාරූපය - 'සයිමන් නවගත්තේගම : Simon Nawagaththegama' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

kemadasa

Back to top
Go to bottom