-Rashmika Mandawala-
1956 දී මිතුරන් දෙදෙනෙක් ඇයට තෑගි ඔතන කොළ මිලියන ගාණකින්වත් ඔතන්න බැරි තෑග්ගක් දුන්නා.
ඇය ඒ උපකාරයෙන් ඇගේ පළවෙනි පොත ලිව්වා. ඒ පොත මිලියන 50කට වඩා අලෙවි වුණා. ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම කෘතියක් වුණා.
ඇය තමයි හාපර් ලී. ඒ පොත තමයි To Kill a Mockingbird. මේ ඒ කතාව.
1956 නත්තල් උදෑසන නිව්යෝක් නගරය.
හාපර් ලී සිය අලබාමාවල පිහිටි නිවසින් ඈත්ව වසර හතක් ගත කරලා තිබුණා. ඇය ගුවන් චාරිකා වෙන්කරන නියෝජිතවරියක් ලෙස ඇයගේ දෛනික ජීවිකාව ගෙනයාමට ප්‍රමාණවත් රැකියාවක් කරමින් ජීවත් වුණා.
ඇයට ලියන්න උවමනා වුණා.
ඒත් හැමදාම රැකියාව අවසන් කරලා රෑ බෝ වෙලා ගෙදර ආවම ඇයට ලියන්නට වචන ඉනුවේ නැහැ. ඇගේ අභ්‍යන්තරයෙ කතන්දර හිරවෙලා ඇයට තවමත් නැති කාලය ලැබෙනකන් බලාගෙන හිටියා.
ඒ නත්තල ඇය ඇගේ සමීපතම මිතුරන් වුණ මයිකල් සහ ජෝයි බ්‍රවුන් සහ ඔවුන්ගේ පිරිමි දරුවො දෙන්නා එක්ක ගත කළා. ඔවුන්ට සම්ප්‍රදායක් තිබුණා. අඩුම මුදලකට වඩාත් අර්ථවත් ත්‍යාග හුවමාරු කරගැනීම තමයි ඒ. ඒ අවුරුද්දේ ලී මයිකල්ට දුන්න තෑග්ග තමයි 18වන සියවසේ ලේඛකයෙකුගේ ආලේඛ්‍ය චිත්‍රයක්. ඒක සත තිස්පහයි.
තෑගි විවෘත කරලා අවසන් වුණහම ඇය වෙනුවෙන් නත්තල් ගහ යට මොනවත්ම නැහැ කියලා දැක්කම ලීට නිවසින් පිටවෙලා ජීවත් වීමේ සුපුරුදු වේදනාව දැනුණා. ඇයව ඔවුන්ට අමතක වෙන්නැති කියලා ඇය හිතුවා.
ඒත් ජෝයි මෘදු විදියට මෙහෙම කිව්වා. “අපිට ඔයාව අමතක වුණේ නැහැ. ගහ උඩ බලන්න.”
නත්තල් ගහේ අතු අතර ඇගේ නම ලියපු ලියුම් කවරයක් අමුණලා තිබුණා.
ඒක ඇතුළෙ සටහනක් තිබුණා.
“ඔයාට ඔයාගෙ රස්සාවෙන් අවුරුද්දකට අයින් වෙලා ඔයා සතුටු දෙයක් ලියන්න පුළුවන්. සුබ නත්තලගක්.”
ලී හිතුවා ඒක විහිළුවක් කියලා.
ඒත් එහෙම නැහැ.
ඇගේ වසරක වියදම් සියල්ල ආවරණය කරන්න තරම් ලොකු මුදලක් බ්‍රවුන්ස්ලා එකතු කරලා තිබුණා. ඔවුන්ට උවමනා වෙලා තිබුණේ තෑගි ඔතන කොළ කොච්චර ප්‍රමාණයක් ගෙනාවත් ආවරණය කරන්න බැරි තෑග්ගක් ඇයට දෙන්න. ඒ තමයි කාලය සහ ඒ කාලය භාවිත කිරීමේ නිදහස ඇයට ලබාදීම.
පුදුමයට පත්වුණ ලී විරෝධය පළ කළා. “ඒක නියම සූදුවක්,” ඇය කිව්වා. “ඒක බරපතල අවදානම් වැඩක්.”
මයිකල් බ්‍රවුන් ඇය දිහා බලලා මෘදු විදියට උත්තර දුන්නා.
“නෑ පැටියෝ. ඒක අවදානම් වැඩක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන් වෙන දෙයක්.”
එළියේ හිම වැටෙමින් තිබුණා. නිව්යෝක් නත්තලේ කලාතුරකින් දකින්න ලැබෙන සිද්ධියක්. ලී ජනේලය ළඟ හිටගෙන දුඹුරුපාට වහලයන් සහ නොපැහැදිලි නත්තල් විදුලි බුබුළු අතරින් හිම පියලි වැටෙන හැටි බලාගෙන හිටියා.
වසර ගණනාවකට පස්සේ ඇය ඒ මොහොත ගැන ලිව්වා.
"අලුත් ජීවිතයක් සඳහා සම්පූර්ණයෙන් සාධාරණ අවස්ථාවක්. ත්‍යාගශීලී ක්‍රියාවකින් නොව, ප්‍රේමයේ ක්‍රියාවකින් මට එය ලැබුණා. ‘ඔයාව අපිට විශ්වාසයි' ඇත්තටම ඔවුන් කියනවා මට ඇහුණේ ඒ දේ විතරයි."
හාපර් ලී රැකියාවෙන් ඉවත් වුණා.
ඇය ලියන්න පටන් ගත්තා.
වසර හතරකට පස්සේ ඇය To Kill a Mockingbird ප්‍රකාශයට පත් කළා.
ඒ පොත පුලිට්සර් සම්මානය දින්නා. ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ආදරයට පාත්‍ර වුණ නවකතාවක් බවට ඒක පත් වුණා. ඒ පොතේ පිටපත් මිලියන 50කට වඩා විකිනුණා විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක හෘද සාක්ෂිය හැඩ ගැස්සුවා.
ඒ සේරම සිද්ධ වුණේ ඇය තුළ විශ්වාස කල හැකි යමක් දැකපු මිතුරන් දෙදෙනෙක් ඇයට ඉතාම දුර්ලභ තෑග්ගත් දීපු නිසා.
ඒ තමයි ඇය අපේක්ෂා කළ තැනැත්තා බවට පත්වීමට ඇයට අවස්ථාව ලබාදීම.

සටහන - රශ්මික මණ්ඩාවල (Rashmika Mandawala)
(මෙම සටහන "Rashmika Mandawala" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



