lan englan tam

විශේෂාංග

“ජීවිතයේ කිසි දිනෙක ආදරෙයි කියා වචනයෙන් නොකියූ තාත්තා ඔහුය” - සම්මානි විජේසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“ජිව්තයේ කිසි දිනෙක ආදරෙයි කියා වචනයෙන් නොකියූ තාත්තා ඔහුය. එහෙත් ඔහු ලියූ නිර්මාණ තුළ මට සහ අප හැමට ඇති ආදරය ගැන අදහමින් පසූවූවෙමි...”

මේ අයුරින් සිය පියා පිළිබඳව විස්තර කරන්නේ සාහිත්‍යවේදිනී, ගේය පද රචිකා සම්මානි විජේසිංහයි.

මේ පියා අන් කෙනෙකු නොව අප සැවොම හොඳින් දන්නා ප්‍රවීණ හා සම්මානනීය කාව්‍ය රචක, ගේය පද රචක, සහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහයි.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ එක් දියණියක වන සම්මානි විජේසිංහ විසින් සිය පියා පිළිබඳව ලියූ එම විස්තරාත්මක ලිපියයි මතු දැක්වෙන්නේ.

 

(උපුටා ගැනීම)

(කොළඹ මහජන පුස්තකාලයට වසර සීයක් පිරීම නිමිත්තෙන් ඔවුන් සඟරාවක් කරන බව මට කීවා.එයට මට තාත්තා ගැන ලිපියක් ලියන්නැයි ආරාධනා කළා. ඔවුන්ගේ ආකෘතියකට අනුව.ලිවීය යුතු අඩංගු කරුණු සියල්ල මත...මම ආසාවෙන් සහ ආදරයෙන් එය ලිව්වෙම්. ඔවුන් ට ඉදිරිපත් කළා.

ඉන් දින කිහිපයකට පසුව ඒ ලිපිය ඉවත් කළ බැව් පවසා මට පණිවිඩයක් එවා තිබුණා...මේ පල කරන්නේ ඒ ලිපිය යයි.ලිපිය දිගුය. ඒ ඔවුන් කී පිටු ගණනට ලිව් නිසාය. කමත්වා එයට....මට ඇති ගැටලුව මේ ලිපිය ලියන්න ට කීවේ ඇයි යන්නය. මේ දින ගණනක මගේ වෙහෙස ය,කාලයය ඔවුන් ප්‍රතික්ෂිප්ත කලේ.

දැන් දිගටම කපා හැරීම් ය, පළි ගැනීම් ය. බොහොම ස්තූතියි මෙසේ මා ප්‍රතික්ෂිප්ත කිරීමට...

මේවා අනර්ඝ කමටහන් ය.)

 

පා වඳිම්......තාත්තා......

"මිහි මවගේ දූ පුතුන්

විඳින දුක් සුසුමන්

කැටි කරගත් මීදුම්

තුරුලු කරගෙන සෙනෙහසින්

තම දූ පුතුන් මෙන්

රැකගත් නුඹ තරම්

කවර සඳඳෝ උතුම්!

 

තාත්තා ගැන ලිවීම අසීරුය.එය බර වැඩිය.එහෙත් ලියන්නටම ඕනය. ඒ වෙනුවෙන් මගේ මතක' මල්ල නොලිහා බැරිය.

මා බාලේ නැළවුණ ඔහු තුරුල්ල දැන් ගිලිහී ගොස් ය. දැන් මම උස් මහත් වූ අයෙක්මි.

එකල වූ තරමේ ආලය ද දැන් බොහෝ අංශූන් ට බිඳී ගොස් ය. ඒ කාලයත් ,ඔහුගේ ඇසුරත්, කාර්‍යය බහුලත්වයත්, ඔහුගේ රුචි අරුචිය න් නිසාවෙන් කාලයත් සමඟ වූ විපරිණාමයන් ය.

ජිව්තයේ කිසි දිනෙක ආදරෙයි කියා වචනයෙන් නොකියූ තාත්තා ඔහුය. එහෙත් ඔහු ලියූ නිර්මාණ තුළ මට සහ අප හැමට ඇති ආදරය ගැන අදහමින් පසූවූවෙමි.

එහෙත් තාත්තා තාත්තාමය. කියන ස්ථානය එහෙම්මමය.

මා දන්නා කාලයේ සිට ම මම බොහෝ ආදරය කළ මිනිසා ඔහුය. ඒ නිසාවෙන් මං ඔහු වෙනුවෙන් ම දුවකගේ මතක මං තීරු ලිපි එකතුවක කෘතියකින් ඔහු පිදුවෙමි.. ඉහත වූයේ එකී කෘතියේ පිදුමයි.

එහෙත් අපේ තාත්තා එයට හ්ම්ම්ම් යැයි පැවසුවා විනා කිසිදු ප්‍රශංසාවක් හෝ සිනාවක්,කොටින් ම ආදරයක් පෙරළා නුදුන්නේ ය. ඒ අපේ තාත්තාය. මේ ඒ තාත්තා ගැනය.

විසල් උස ඝන බිත්තිවලින් සුසැදුණු අපේ නිවසේ කාමරයක රාක්ක ,කබඩ් රැසකිය. ඒවා පිරී තිබුණේ පොත් වලිනි. ලොව වඩා වටින්නේ පොත් පමණකිය එදාත් මා ඇදහූවකිය. අදත් මතුවටද එසේම ය.

මහ පොත් කඳුවලින් වට වූ මේසයකට මැදි වූ මිනිසෙකිය. හේ ඔළුව ඔසවමින් පහත් වෙමින් කඩදාසි වලට අකුරු වලින් පණ පොවයි.

හේ නිහඬය, සන්සුන් ය,නිතරෝම කල්පනාවට වැටෙයි. යළිත් ලියයි. ඇතැම් විටෙක ඇඳට පැමිණ කෝට්ටය ඇඳ විට්ටමට ඔසවා තබයි. ඉන්පසුව අතැති පොත කියවයි. මා කුඩා කාලයේ සිට මේ දක්වා දුටු අපේ තාත්තාය ඒ.

ඔහු ලිවීම කියවීම මෙන්ම අධ්‍යයන කාර්‍ය්යන්හී නියෙලෙන අයුරු කුඩා මා බලා සිටියේ කිසිවක් නොතේරෙන්නකු සේය. මා ඔහු නිසා පොත් වලට ඇලුම් කළා ද නැත්නම් මගේ නිරායාසික ඇල්ම ද නොදනිම් මම ඒ පොත් මත විසිමි.

තාත්තා ගේ දැනුම් පද්ධතියෙහි පෘථුල බව,ඔහුගේ විහිද ඇති නිර්මාණ ශක්‍යතාව,පරිචය ගැන මට කිසිදු වැටහීමක් කුඩාම කල නොතිබුණේය .එහෙත් මා වයසින් කෙමෙන් කෙමෙන් වැඩෙද්දී ඒ බැව් වැටහුණේය.

ඔහු දත් ඒ කාර්‍යයෙහි ඔහු උපරිමය තුළ සිටියේය. ඒ වෙනුවෙන් කැපවීය. ඉන් නොනැවතුණු හේ අනාගත නිර්මාණකරුවන් වෙනුවෙන් ගුරු තරුවක් වූයේය.

හැමදාක රාත්‍රියේ තාත්තා කතන්දර පොතක් කියා දුන්නේය. ඔහුට තියෙන්නේ හදවතක ගැඹුරෙහි රැඳෙන හඬකි. ඔහු මානවසිංහ යන් ගේ සේපාලිකා ගීත නාටකය තාලයට,විරිතට අනුව ගයයි. ඒ අතර තුළ ගැට පද ලිහයි. මගේ මනසේ මැවූණු ඒ රූපාවලිය අදත් එසේමැයි .ඒවා එතරම් ම මධුර වේ.

ඉන් නොනැවතුණු තාත්තා ඉදහිටක කොළඹ ආ විට කතන්දර පොත් ලෝකයක් ගෙනාවේය. ඒවා අතර වඩා තිබුණේ රුසියානු,ප්‍රංශ,ජර්මන් ,ඉංග්‍රීසි ,ඉන්දියානු පරිවර්තන පොත් ය. මගේ ජීවිතයේ රමණීයත්වය ඇරඹෙන්නේ එලෙසින් ය.

තාත්තාට අප අතැර රාජකාරිය පිණිස ඈතට යන්නට යෙදුණේ මේ කාලයේදීමය.

 

"හෙට උඹෙන් වෙන්වෙලා දුවේ මට යන්ට වේ

දුර- ඈත පළාතක මගෙ රාජකාරියට

අඬන්නට එපා අම්මා ගෙන් මා ගැන අසා

මට ගමට බෝ දුරයි - උඹ ළඟට බෝදුරයි"

(බියනොවන්න අයියණ්ඩි -කාව්‍ය සංග්‍රහය රත්න ශ්‍රී විජේසිංහ.)

ආර්ථිකය,දේශපාලනය බොහෝ දෑ පාලනය කරන මෙවලමකි. තාත්තාගේ දේශපාලනික දඬුවම් මාරුව මේ කාලයේදී සිදුවිය. එය අම්මාට සේම මට ද දරාගත නොහැකි වූ දරුණු කම්පනයකි. එහෙත් අපි තිදෙනාම මුහුණ දුන්නෙමු. දරාගත්තෙමු.

ඒ කාලය අතිශය කටුකය,ගොරෝසු ය. නමුත් එහි ද ඉමිහිරි අස්වැන්න ලබන්නට හැකි වූයේය .

ඒ තාත්තා සියල්ල උසුලා ගත්තේ ස්වකීය නිර්මාණ සාරය හරහා වීම නිසාය. ඒ අස්වනු ඔහු පමණක් නොව මේ ලියන මා ඇතුළු අනාගත පරම්පරා ගණනක් භුක්ති විඳින්නේය.

පෞද්ගලික අනුභූතීන් පොදු අනුභුතින් බවට හේ මෙසේ පත් කළේය.

" ගිම්හානයේ ගිලන් වී කෘශව සුදු මැලිව

ඇඳි ඇඳී ඉකි ගැසූ ගඟ

තවම පිරිපුන් ය

දුෂ්කරය කියා හැරයා යුතු ද ජීවිතය.

කටු පොකුර සිප ගනිම්

හෙට මලක් වනු පිණිස"

(වස්සානය කාව්‍ය සංග්‍රහය රත්න ශ්‍රී විජේසිංහ.)

අදටත් බොහෝ සහෘද පාඨකයන් ගේ කවි පංතිය වස්සානයයි. ජීවිතයේ පරමාදර්ශය එයයි.

ජීවිතය ගැන කලකිරුණු ඇල්මැරුණු අවධීන් ගත කරන මිනිසුන්ට හුස්ම වූයේ මෙයයි. ජීවිතය ජීවයෙන් පුරවලන. ඒ අවැසි ශක්තිය ධෛර්‍යය එහි තිබුණේය.

මේ කාලය වන විට මට පසක් වූයේ තාත්තා මට පමණක් නොව මුළු ලෝකයටම හිමි මහර්ඝ වස්තුවක් බවය.

 

"මරණයට මොහොතකට පෙරදීත්

කිරි දුන් මහලු මව

 

සුරත් ගේ හැම සිහිනයක ම

ඉන්පසු ඈ සිටියා ය.

නින්ද වියවුල් කොට

 

පරිභව කරන විට කිසිවකුට

ඔහු උපන් ගමට

දුකක් විය සුරත් ට

නමින් කවරක් වුව

ඒ ඔහුට ගමම ය

ඉපදුණු තිඹිරි ගෙදර" ය

නැළවුණු තොටිල්ලය

වන පලා පල පිරි

ළඳු දෙණි කැලෑ බිම්

අම්මාගේ තුරුල්ලය

 

කැළි කසලින් ගහණ

කම් කටොල්ලෙන් පිරුණ

ඔහුගේ ළමා විය වෙත

සුව පහසු රියකින්

කෙසේ නම් ළඟාවෙන්නද?

 

ගමට යන ගුරුපාර

ගුරු පෑ ලැබූයේ

වහන් නොලා ඇවිද ගිය

නෑයින්ගෙ පාවලිනි.

 

පොසොන් මාසයේ

ශුක්ල පක්ෂයේ

තුදුහුස්වක් සඳේ මුහුණින්

තුරුපත් අගින් බේරී ගලන්නේ

අම්මාගේ ආදරයයි

 

මේ ලොව සුන්දරම

අහස ඇත්තේ ගමට ඉහළිනි

අම්මා නිදන තැන

ඇගෙ සොහොනට උඩිනි",

(තරු ලකුණ 1997 ආඛ්‍යාන කාව්‍යය රත්න ශ්‍රී විජේසිංහ)

අම්මා නිදන තැන ඇගෙ සොහොනට උඩින් ලොව සුන්දරම අහස හිමි දරුවකු ලෙස තාත්තා ගේ සංවේදනා සහ ඔහු සතු පොහොසත් කම් ගැන ඔහුම හඬ නැගුවේ එලෙසිනි.

අවුරුද්දයි මාස ගණනක් අම්මාත් නැති වසර හතේ සිට තාත්තා ද නැති දරුවකුව ඔහු ආ දුර කෙතරම් ද? ලෝකයට ඔහු කියා දුන් පාඩම්,මතක' සහ සෞන්දර්‍යාත්මක මාවත කෙතරම් අනර්ඝද. එහෙත් ඒ සියල්ල තුළ ඔහුගේ පා පැටලීම් ,හිත් තැලීම්,කකුල් මාට්ටු,අභියෝග කොතෙක් ද?

බොහෝ විට තාත්තා ගෙවා දැමූවේ නිදි නැති රාත්‍රීන් ය. එක දිගට මේසය මත ඔළුව ඔබා ගෙන කඩදාසි මත නෙත් බහාලමින් ඔහු රැය පහන් කළේය. මට මේ සියල්ල රාමුවෙන් රාමුවට මතක' ය. කෙසේද යත් ,ඔහු අසල නිදාගත්තෙ මා පමණි. කාමරය තුළ දීප්තිය සහිතව අරමුණු පෙරදැරිව සිටින විදුලි බුබුළ බොහෝ දෑ දත්තේය. ඒ ඔහුත් නොනිදාම අප සමඟ හුන් නිසාවෙනි . කාමරය ආලෝකය සමග සැනසිල්ල බෙදාගත් බැවින් කිසිදු ඝෝෂාවක් නොඇසුණි.

ඒ අතර දිනෙක කවි කතා කියාදෙයි. මට නින්ද යනතෙක්ම. ඒවායේ රස පෙරද සඳහන් කළෙමි. ඒ අසීමිත බව අසීමිතය.

මේ කාලයේදී ගෙදර" ට තැපෑලෙන් ලැබෙන පාර්සල වැඩිය. ඒවා ගැන ඇස ගසා සිටින්නේ මමය. ඒ පාර්සල තුළ ගිලී තිබුණේ අලුත් පොත් ය. නිර්මාණකරුවන් ඔවුන්ගේ අලුත් පොතක් පල වූ විට තම මිතුරු කවියාට පොත් එවීම බහුලව සිදු වූවකි.තාත්තාද එය කළේය.

. ඒ පොත් පාර්සල ලිහා බැලීමත් ඉන්පසුව ඇඳට වැටී ඒවා කියවීමත් තරම් ආසා ලෝකයක් මට වෙන නොතිබුණේය ..ඒවායේ නැවුම් සුවඳ.පිටු පෙරෙළෙන විට නැගෙන හඬ.පිටුවකින් පිටුවක ඇති නැවුම් බවට මම බොහෝ ආසා කළෙමි.

හවස වැඩ ඇරී පැමිණි විට තාත්තාගෙ මුහුණ අඳුරු වෙයි. අදත් පොත් ටික අරගෙන නේද ?

ඔහු ඔහුගේ පොත් මුලින් ම වෙන කවුරුත් අල්ලනවා ට අකමැතිය. ඒ ඒ අකමැත්ත පළ කරන අයුරුය.

පොත් ඇල්ලුවාට කමක් නෑ ඒවා අතන මෙතන දාලා නාස්ති කරන්නේ නෑ. හේ කීවේ උස් හඬින් ය. ඉතින් ගෙදර" බහුල වූයේ පොත් රංඩුය.

එසේ පොත් නිතරම එවූ අය අතර දෙනගම සිරිවර්ධන මාමා ,ඩබ්.ඒ.අබේසිංහ මාමා ,ජයරත්න සමරසේකර මාමා,එස්.ජී.පුංචිහේවා මාමා,වගේ බොහෝ අය සිටියහ. නම් ලැයිස්තුව දිග වැඩිය.කියවා අවසන මා ඔවුන්ට විචාරය ද දක්වමි.

එය සියල්ලට වඩා රසවත් ය. ඔවුන්ට පොත් ලියා පාඩුවේ ඉන්ට මගෙන් ඉඩ නොලැබුණි. ඉන්පසුව තාත්තාට ද මගේ අදහස් දක්වම් .තාත්තා හ්ම් කියයි.සුපුරුදු බකමූණු වෘතය පා හෝ සිනාසෙයි. එපමණයි.

හදිස්සියක දී වචනයක දෙකක තේරුමක් අසා ගන්නට ගිය කලෙක තාත්තා දෙන්නේ පොත් කන්දක් ය. මේවායේ තියෙනවා. සොයාගන්න. ඒ තරම් අසරණව සියල්ල ඔසවා ගිය වාර ගණන් බොහෝය. එහෙත් මම බොහෝ දෑ උගත්තෙමි..

එක දවසක,

ඒක අපුරු හැන්දෑවක් .බොහොම අපූරු හැන්දෑවක් .මගේ ජීවිතය ට බොහෝ දේ රැගෙන ආ හැන්දෑවක් .මට විතරක් නෙවෙයි අපි කාගේත් ජීවිත වෙනස් කළ හැන්දෑවක් .ඉතාම සිහින් උස සිරුරකට හිමිකම් කියූ මිනිසෙක්

ලේන්බාන් වීදියේ ,

අංක 43

නිවස ඉදිරිපිට සිනා මුසු මුහුණින් හුන්නේය.ඔහු පැම්ණි ත්‍රීරෝද රථයට මුදල් ගෙවන්නට සැරසුණේ ය .රියදුරු එකවරම පැවසුවේ.

"අනේ මහත්තයෝ මට සල්ලි එපා .මම කොහොමද මහත්තයා ගෙන් සල්ලි ගන්නෙ ."

"අනේ මල්ලි මේක ගන්න "

මේ අපූරු මිනිසා මුදල් ඔහු ට මුදල් ගෙවීමෙන් මිස ආපසු නොආවේය..

යලිත් වරක් මා දෙස බලා සිනාසුනේය.

කිසිදාක නොදුටු මේ මිනිසා ගැන මට සිතන්නට බොහෝ දේ සහ සිතීමට බොහෝ දේ ඇති බව එවෙලේ නොදැනිණ.

"රත්නෙ ඉන්නවා ද ?"

"ඔව්, මාමේ තාත්තා ඉන්නවා .

එන්න ඇතුළට".

අපේ ඉපැරැණි ලන්දේසි නිවස ඉතා ඝන පළල බිත්ති වලින් සමන්විතය.අඩි විසිනවයක් පමණ උස මුදුන් වහල උළු වලින් අතුරා තිබුණි.නවරියන් සාලයත් සමඟින් අපේ නිවසට ඉපැරැණි පෙනුමක් නිරායාසයෙන් ලැබී තිබුණි .ඔහු මේ සියල්ල දෙස පුදුමයෙන් බලා සිටියේය .

"ආ.........මම හිතුවා තව හවස් වෙයි කියල ."

ඒ තාත්තා ගෙ හඬයි .

"නෑ........රත්නෙ .....ඒ බස් එක වේගයෙන් ආවා .මම ත් මුලින් එහෙම හිතුවා ......

එදා සිට අද දක්වාම ඔහු අපේ හදවත පිරිමැද්දේ අපමණ ස්නේහයෙනි.ඒක සුවිසාල ආදරයක්.ඇට මිදුලු,ලේ නහර පුරා රැඳුණු ආදරයක්.එහෙම උනේ ඔහු බොහොම පොහොසත් මිනිසෙක් වූ බැවිනි හැඟීම් සහිත .රත්නෙට කෙල්ලො දෙන්නයි නෙ .හිනා වේවි ඔහු තෙපලුවේය .

මම බොහෝ වේලා මේ කිසිවක් ගලපා ගත නොහැකි ව හුන්නෙමි.

"අනේ.........අය්යා ඇවිල්ලා නේ.අපි බත් කමු නේද ? බඩගිනිත් ඇති .

"ඒ අම්මා ගේ හඬයි .

ඔව් කාලා ඉඳිමු" තාත්තා කිව්වේ ත් මහත් උනන්දුවෙනි .

ෂෝ එක තියෙන්නේ රෑට ,ඉතිං කොහොමත් එකයි නේ.හේ පැවසුවේ ය.

"දුව බත් කෑව ද ?

ඔහු මගෙන් විමසුවේ ය.මම ඔළුව වැනුවේ.නැත යන්න හැඟවීමටය.එන්න මම දුවට කවන්න .ඒ ආසන්න අසුනෙන් වාඩි වූ මම ඔහු කවන බත් කටවල් නිහඬව ම ගිලදැම්මාය.එදා සිට ඔහු පැමිණෙන සෑම දිනකම ඔහු මට බත් කැව්වේය.

තාත්තා ගේ බත් කටක ඇති මිහිර ට ගිජු වූ මට මේ අපූරු ආදරණීයයාගෙ හැම ඉරියව්වක්ම තාත්තා තරමට හිත පුරා රැඳුණේය.මේ මගේ අනිත් තාත්තා .මම හිතුවෙමි.ඔහුට තිබුණේ පීඩිත පංතියේ මිනිසුන්ගේ හදගැහෙන ස්වරයයි .මානව වාදී හඬ පෞර්ෂයක්.අපේ නිවස ඔහු වෙනුවෙන් හැමවිටම විවෘත වී තිබුණේ ය .

අපේ හදවතේ මිහිරිතම තැන ඔහු වෙනුවෙනි .

තාත්තා ලියූ ගී වැල් අලංකාර වූයේ.ඔහුගේ සත්‍යයේ ස්වරය නිසාවෙනි .සුමිහිරි නාද නිසාවෙනි . තාත්තා බොහෝ ගී ලියූවේ ඔහුට ය.දෙදෙනා තුළ වූයේ හදවතේ ගැඹුරු ම තැනින් පැන නැගී වෙන් නොවෙනා සොහොයුරු පෙමකි.හේ ඉතා අවංක මිනිසෙකි .

නිහතමානී කම නිසා ඔහුට අහිමි වූ දේ බොහෝ විය.දිගු අත් පා ඇති මේ මිනිසා අන් කවරෙක් නොව .මියුරු ගී ගයන කොවුලා ය.

"ඔහු නමින් ගුණදාස කපුගේ නම් විය.

මගේ ආදරණීය කපුගේ මාමා ය .

ඔහු එන දින ගැන අපි ආසාවෙන් බලා හුන්නෙමු.තාත්තා සතුටු වන දිනක් වෙන මම දැක නැත ඒ නිසාවෙනි .

ඔහුට තිබුණා සාහිත්‍යය ඥානය ,රසවින්දන පරාසය ,සමාජ දේශපාලනික දැක්ම පුළුල්‍ ය .උස් හඬින් කතා කරමින් ,සිනාසුනේය .ඒ හැමවිටෙකම එන්න කෙල්ල කියමින් උකුල මත මා තබා ගනී.

රත්න ශ්‍රී කපුගේ සුසංයෝගය ලාංකේය ගීත සාහිත්‍යයේ සුවිශේෂී ලකුණකිය.

ඔවුන් දෙදෙනා මානව ප්‍රගතිකාරක ගී කලාවක පුරෝගාමීන් වූවෝය.

අපේ ගෙදර" බොහෝ විට විවිධ රසවතුන් ගෙන් විවිධ වෘත්තිකයන්,විද්‍යාර්ථීන් ගෙන් පිරුණු තැනකිය. ඒ හැමට අම්මාගේ ආදරයත් ආගන්තුක සත්කාර ත් නොඅඩුව තැවරුණේය.

කපුගේ මාමා සේම ආගිය බොහෝ ප්‍රාමාණික නිර්මාණකරුවන් ගේ ඇසුරත් ඔවුන්ගේ නිර්මාණ පරිචය තුළ ජීවත් වන්නට ලැබීම මම ලැබූ අපමණ භාග්‍යක්මි.

ඒ මතක' ඉමිහිරිය.ඒ උත්තම මිනිසුන්ගේ වටිනාකම් මිළ කළ නොහේය.එතරම් ම වටනේය.

ඔහු වටා පිරිස එකතු වූයේ නිරායාසිකව ය. ඔහු ලිව්වේ

"බුදුවන් ට ඕනෑ නුඹලා

මට විවරණ දියල්ලා"

යනුවෙන් ය. මේ පද දෙක පුරා ඔහුගේ දර්ශනය ගැබ් ව ඇත්තේය. එහෙයිනි ඔහු සොයා ආ පිරිස ඔහුට ආදර කරන්නට වූයේ.ය.

අකුරක් දෙකක් නොව පැයක් දෙකක් නොව දින ගණන් කැප කරමි නවක නිර්මාණකරුවන් වෙනුවෙන් ඔහු පාර කියුවේය. මහත් දයාර්ද්‍රවය. පියෙක් සේ ඔවුන් සැමගේ වැඩීම බලා හුන්නේය .

තාත්තා අප වැඩෙද්දී ද අපට අමුතුවෙන් කියා ප්‍රතිපෝෂක නුදුන්නේය. ඔහුගේ නිර්මාණ අස්වැන්නම අපට ප්‍රතිපෝෂක වීය. ඒවා සදාකල්හි ස්වර්ණමය ස්ථම්භ වේ. මං ලකුණු කියන පහන් තරු වේ.

අදද මට තනි රකින්නේ ඔහුගේ කවියයි.

තාත්තාගේ ගමන් මග හා බැඳුණු ඒ යෝධ සෙවණැල්ල අම්මාය. ඈ නැත්නම් තාත්තා මේ තරම් දුරක් නොඑන්නේමය. ඈ දුන් සවිය,කැපකිරී.උසුලා ගැනීම් මේ සියල්ල තුළ ඇත්තේය..

අම්මාගේ අහිමි වීම අපේ අත්තටු සේම ගෙදර" අරටුව සිඳී යෑමය

එය අදටත් එසේමැයි .....ඒ අඩුව,ඒ කම්පනය වැඩි මිස අඩු නොවන්නේමය කිසිදාක.

අමරදේවයන් පැමිණි දින ගණන් ගත වන්නේ නිදි නොමැති රාත්‍ර්‍රීන් ලෙසය. ගීත ගයමින් ය.. මගේ වයලීනය වයමින් ගත කළ මතක' බොහෝය. ඔවුන් දෙදෙනා නිසා ගුවන් විදුලියේ නතරව තිබූ මධුවන්ති සංගීතමය සුයාමය නැවත ඇරඹිණි..

රසික සහෘද හදවත් අතර පවතින ගීත බොහෝ ඉන් බිහිවිණි.

සුදු නෙළුම කෝ

සතර වරම් දෙව් මහ රජ

සුවඳ මුවරද බරිනි ආකුල

ආදී ගීත බොහොමයකි.

ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඇසුරද එබඳු රස හරය වඩන නිර්මාණ පිණිසම හේතු වීය. කේමදාස මාමාගෙ මියුරු කතන්දරවල ගෙවුණු කාලය අදටත් මිහිරි මතක' අවදි කරයි.

ඒ මම පොඩි මල්ලියේ කාව්‍ය කෘතිය විඳගන්නා සමයයි.

මුළු කෘතිය පුරා පිරී ඇත්තේ හැඟීම් ය.ඒවා කිසි විටෙක නතර නොවන බව ඇත්තය.තාත්තා සොයා ගෙන පැමිණෙන රසවතුන් ගේ රසවත් කතා අතර මේ හැඟීම් බොහෝ ගැවසුනේය.මම ඒවාට දෙසවන් යොමන්නේ දැඩි උවමනාවෙනි.

මන්ද යත් ඒවා එතරමටම රසවත් ය.තාත්තා සහ ඔහුගේ නිර්මාණ සඳහා ආදරය කරන පිරිස බොහෝ බව මට තේරුම් ගන්න ට එතරම් කාලයක් ගත නොවුණි .ඒ අතර ආධුනික නිර්මාණ කරුවන් ද ,ප්‍රවීණතා ඇති අය ද කලා ක්ෂේත්‍රය ට අයත් නොවන රසවතුන් ද බහුල වීය .

එදින හැන්දෑවේ මම අලින්දයට වී පාර දෙපස බලමින් හුන්නෙම්.

එකවරම ,"මේ රත්න ශ්‍රී ගේ ගෙදර නේද ?

"ඔව්, එන්න ඇතුළට ,ඇවිත් වාඩිවෙන්න මාමේ.

මම තාත්තා ට කතා කරන්න ම්."

තාත්තා ආවා,අනේ පුතේ,මේ කවුද දන්නවා ද ,මේ තමයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා.හැමදාම වගේ එදාත් මගේ දෑස් වල කාන්තිය වැඩි කලා.ඒ නිකම්ම නෙවෙයි ."පොඩි මල්ලියේ "කාව්‍ය සංග්‍රහය ගැන මතකය එක්ක .

ගොඩක් වෙලා තාත්තා ලා කතා කරනවා .ඒ අතරට අම්මත් එකතු වෙනවා .මම මේ සේරම බලාගෙන උන්නා මගේ වාරය එනතුරු .තාත්තා මාව දැකලා මෙහෙම කිව්ව .මෙන්න මේ කෙල්ල මෙ දවස්වල කියවන්නෙ "පොඩි මල්ලියේ .ඔය එහෙට මෙහෙට වෙන්නෙ ඒ ගැන කියන්න .තාත්තා කිව්වා .

"දුව පොත් කියවන්න කැමතියි ද ?

"ඔව් ,මාමේ ,මම පොත් වලට ආදරෙයි .

පොඩි මල්ලියේ හරීම රසවත් මාමේ,ඒ රිද්මය අපූරුයි ."

මම කිව්වා .එදා මම මගේ හිතේ තියෙන හැම රසවත් හැඟීමක් ගැන ම කිව්වේ එක හුස්මට.මගේ සමරු පොතේ මෙන්න මේ විදියෙ සටහනකින් ඒ රසවත් කතා බහ අවසන් උනා.

"කවියාගේ දුවට මගේ ආදරය -පරක්‍රම කොඩිතුවක්කු .

ඒ තමයි මම ලබපු මිහිරිතම ආමන්ත්‍රණය ."කවියාගේ දුව යන්න තරම් උතුම් විරුදාවලිය ක් තව ඇතිද.

එතැන් සිට මේ දක්වා,මම ඒ විරුදාවලිය හිමි කවියාගේ දියණිය වෙමි.

ගෙදර" ට ආ ගිය අතර ගොවියන් ද කම්කරුවන් ද අරගල කරුවන් ද කලාකරුවන් ද රාජ්‍යතාන්තිකයන් ද මෙකී නොකෝ අය වූහ. එහෙත් ඒ සියල්ලෝම සම් මස් ලේ නහර වලින් හැඳුනු මිනිසුන් පමණි. සියල්ලෝම මිනිස්සුය කියන බැම්ම පමණකිය අපේ හිත් වල රැඳුණේ.

අපේ අම්මාගේ දයාවේ නෙත හැමට එක ලෙස වූයේ ඒ සංකල්පය හිතෙ සැබැවටම ස්පර්ශිත නිසාය. මාවැඩෙන්නේ මේවා සමගය.

ඒ හැඟීම නිසා ජීවිතය පහසු විය. නඩත්තු කරන්න හෝ ආරූඪ කරගතු යුතු ජීවිතයක් මට නොවීය. ජීවිතය සාමාන්‍යය විය. මිනිසුන් ද එසේමැයි . එහෙත් වටිනාකම්,මෙන්ම අනර්ඝ දේට මම හැමවිටෙකම හිස නැමුවෙමි.

මගේ තාත්තා කිසිවිටෙක සාන්තුවරයෙක් යැයි මම නොකියමි.නොදකිමි. එපමණක්ද නොව ඔහු සුරුවමක් ද නොවන්නේය.

ඔහු සැබෑ මිනිසෙකි. සාමාන්‍යය. තරහ ගනී.කෑ ගසන අවස්ථාත් තිබේ. මෘදු සේම හේ ගොරෝසු වූ අවස්ථා අනන්තය. සියලු මිනිස් ස්වභාව ඔහු සතුය.

ඒ අතර ඔහු ජීවිතය ලියයි. වඩා වැදගත් වන්නේ එයයි. මා ඇතුළු හැමදෙනා ම ඔහුගේ නිර්මාණ අස්වැන්නක අසිරිය විඳ ගත යුතුය.එය වැලඳගත යුත්තේ අවබෝධිත වය. සවිඥානිකවය.

අනතුරුව ඒ සියලු නිර්මාණ අස්වනු ජීවිතයට බහාලිය යුත්තේය.මන් ද යත් එහි ඇති ගැඹුර සහ සාරයන් වටිනා හෙයිනි.හඟිමි .

ඔහු ලබාගත්තේ ප්‍රසිද්ධිය නොව කීර්තියයි. එය පහසු නැත.ඔහු ලබා ගත් කීර්තිය දශක ගණනක් මේ බිමේ රැඳෙනු ඇත.

මට තාත්තා සියලු කලාවන් අතර අග තැන්පත් ව තියන්නට ඕනෑ නැත.අද්විතීය හෝ විශිෂ්ට හෝ අංක එක විය යුතුයි ඕනෑ ත් නැත. එසේයි කියන්නේත් නැත.

එහෙත් මම මෙසේ කියමි. ඔහු මට මෙලොව ඇති අසිරිමත් කවියා ය. අසිරිමත් ගේය පද රචකයා ය. අසිරිමත් සාහිත්‍යය වේදියා ය. ඒ සියල්ලටත් වඩා ඔහු මගේ තාත්තාය.

මෙසේ කීම ආචාරශීලී නොවීමක් හෝ පුරසාරමක් යැයි මම නොසිතමි.

අවසන මා මේ වියමන නිමා කරන්නේ ඔහුට මා ලියූ ගීතයකිනි.

ගිරිමුදුන වෙත ජීවිතේ

හෙමි හෙමින් ඉහළට ඇදෙනවා

අත්වැලක්වත් නැති ව තනිවම

මහා ගිරිදඹ නගිනවා

තාත්තේ මට පේනවා

නුඹේ පියවර අනුව හෙමිහිට

මාත් කරුණා කරනවා .

මං මුළාවුණු සමනළුන් විත්

මගෙන් මඟතොට අහනවා

මං කොහොම තොරතුරු කියන්න ද

නුඹේ පියවර පානවා

බීත කරවන සැඬ සුළං රළ

ඇවිත් දෑලේ හැපෙනවා

ඉන්ද්‍රඛීලය හිතේ ඇඳගෙන

ජීවිතේ අපි දිනනවා ......

ගායනය - ආදිත්‍යා වැලිවත්ත

සංගීතය - නවරත්න ගමගේ

ගී පද - සම්මානී විජේසිංහ

https://youtu.be/d45k54jXJh8?si=rt79ijyNEiYZSxB7

චිරං ජීවතු ආදරණීය තාත්තේ......!

සම්මානී විජේසිංහ.

 

සම්මානී විජේසිංහ

මෙම ලිපිය 'Sammanie Wijesinghe' ෆේස් බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom