("අරුණ" ජාතික පුවත්පත)
-Lakmal Bogahawatta-
සිංහල ගීතය සහ සුනිල් සරත් පෙරේරා අතර ඇත්තේ සොඳුරු, නොබිඳෙන බැඳුමකි. ඔහුගේ කලාත්මක ගීතය සිංහල ගී පද රචනා කලාව සුපෝෂණය කරන්නකි.
ඔහු ගී පද රචකයෙක් ලෙසින් මෙන්ම කවියෙන් ලෙසින්ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත. එපමණක් නොව පරිසරවේදියෙක් ලෙසින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන කිහිපයක් දිනා ගැනීමට ඔහු සමත්ව ඇත. ගීත සාහිත්‍යය වෙනුවෙන් ඔහු රචනා කර ඇති කෘති ගීතය පිළිබඳ හදාරන්නන්ට අත්පොත්ය.
පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී සුනිල් සරත් පෙරේරා හට සාහිත්‍යසූරී සම්මාන උපාධිය පිරිනැමීය. මේ සංවාදය ඔහුගේ ගීතය පිළිබඳවය.
සංවාදකයා - ඔබ පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේදී සාහිත්‍යසූරි උපාධියෙන් පිදුම් ලැබුවා. ජීවිතයේ සැඳෑ සුවය විඳිමින් සිටින ඔබට මේ පිදුම දැනෙන්නේ කෙලෙසින් ද?
සුනිල් සරත් පෙරේරා - මම කවදාවත් සම්මාන බලාගෙන වැඩ කළේ නැහැ. මා ජනාධිපති සම්මානය ලබා තියෙනවා, පරිසර සහ සන්නිවේදන සම්බන්ධ ජාත්‍යන්තර සම්මාන ලබා තියෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මානය කිහිප වරක් ලබා තියෙනවා. ඉතින් රුහුණ විශ්වවිද්‍යාලය මට ලබාදුන්න සාහිත්‍යසූරී උපාධියත් නිකම්ම ලබාදුන්න එකක් නෙවෙයි. හොඳින් සොයාබලා දුන්න සම්මානයක්. ඒ පිළිබඳ සතුටුයි. මෙතෙක් කල් මා ආයාසයෙන් ලබාගත්ත තනතුරක් හෝ සම්මානයක් හෝ නැහැ. ඒක තමයි මට තියෙන එකම තෘප්තිය.
හොඳයි, ඔබ මේ දිනවල මොනවද කරන්නේ...
තවමත් මා ලිවීම අත්හැර නැහැ. මගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘සොබා සොඳුර’ සරසවි ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් වුණා. දැන් මා නිලාර් එන්. කාසිම්ගේ ගීතය ගැන කෘතියක් රචනා කරනවා. ඔහු කලාත්මක ගීතයේ මුහුණුවර නිවැරැදිව හඳුනාගෙන තියෙනවා.
ගීතය පිළිබඳ මා අලුතින් හැදෑරූ දේ තමයි සම්මිශ්‍රණ ක්‍රියාවලිය. මගේ ‘එරන්දතිය එනවා’ කියන ගීතය අරන් බැලුවොත් එහි අංශ කීපයක සම්මිශ්‍රණයක් තියෙනවා. එකක් භාෂාත්මක සම්මිශ්‍රණය. අනෙක සංකල්පීය සම්මිශ්‍රණය සහ ඓතිහාසික සංසිද්ධි සම්මිශ්‍රණය. රඹුක්කන පොළේ පොත් වෙළෙන්දෙක්ගෙන් මිලදී ගත්ත, කලා ගුරුන්නාන්සේගෙ විදුර ජාතක කවි පොත කියවා ලැබූ ආස්වාදය තමයි ඒ ගීතය ලියැවෙන්න හේතුවුණේ.
ඉස්සර කිරුළපන හන්දියෙන් ඩබල් ඩෙකර් බස් හරවනවා. දවසක් රැකියාවට යන්න මම ඒ බස් රථයකට නැග්ගා. ඒ දවස්වල මා රැකියාව කළේ ගෝල්ෆේස් හෝටලයේ. බස් රථයේ උඩතට්ටුවෙ පෙම්වතුන් අසුන්ගන්න ආසනයේ වාඩිවෙලා ගමන් කරද්දි ‘අනෝතප්ත විල නෙළුම නෙළාලා – පීරා වරලස මල් ගවසලා’; එරන්දතිය එනවා ගීතයේ පළමු පේළි ලියැවුණා. ඒ ගීතය ගැන කෙතරම් අවධානයකින් හිටියද කියනවා නම් මට ගෝල්ෆේස් හෝටලය ළඟ බහින්න අමතකවෙලා පරණ පාර්ලිමේන්තුව ළඟින් තමයි බැස්සේ.
කොහොම හරි එදා දවසේ පළමු රාජකාරිය වුණේ එම ගීතය ලියා අවසන් කිරීම. ඒ ගීතයේ ඓතිහාසික විඤ්ඤාණය නැත්නම් සම්ප්‍රදායය සම්මිශ්‍රණයක් තියෙනවා. ඉතින් මම සම්මිශ්‍රණය ගැනත් මේ දිනවල පොතක් ලියමින් ඉන්නේ. ඒ වගේම ‘කලාත්මක ගීතයේ මුහුණුවර’ නමින් කෘතියක් සම්පාදනය කිරීමටත් යම් සූදානමක් තියෙනවා.
‘කලාත්මක ගීතය’ කියන යෙදුම ඔබ ඉහත කිහිප තැනකම භාවිත කළා. ඇත්තෙන්ම කලාත්මක ගීතය කියන්නේ කුමක් ද?
සුභාවිත ගීතය කියන යෙදුමට මා එකඟ නැහැ. එය අහම්බෙන් ඇහිඳ ගත් වදනක්. සුභාවිත කියන්නේ යහපත් භාවිතය. ඒ වචනය යොදාගන්න තැන්වල වරහන් ඇතුළේ Art Song කියා ලියනවා. Art Song නම් කොහොමද ඒක සුභාවිතය වුණේ'... Art Song කියන්නේ කලාත්මක ගීතය, නැතිව සුභාවිතය නෙවෙයි.
ඒ වගේම ඔබ භාවිත කරන්නේ ‘ගී පද රචනා’ කියන වදන. නමුත් අද වෙද්දි ගීතය හඳුන්වන්නේ ගේය පද කාව්‍ය ලෙසින්...
ගේය පද කාව්‍ය කියන යෙදුම ඇහෙද්දිම මට අතීතයේ යම් සිදුවීමක් සිහිපත් වෙනවා. විමල් දිසානායක මහාචාර්යතුමා ලංකාවට පැමිණි මොහොතක පුංචි තියේටර් එකේදී දේශනයක් කළා. අමරදේව වගේම ඒ සභාවේ ගුණදාස අමරසේකර වැනි විදග්ධ පිරිසකුත් හිටියා. විමල් දිසානායකගෙ දේශනය අවසන් වුණාම අමරසේකර මහත්තයා වේදිකාවට ඇවිත් “දැන් ගේය පද, ගේය කාව්‍ය කියල භාවිත කරනවා. විමල් ඔබ මොකක්ද ඒ ගැන කියන්නේ” කියා ප්‍රශ්න කළා. ඒ වගේම අමරසේකර සභාව සිනහ ගස්වමින් මෙහෙමත් කිව්වා. “මම නම් දන්නේ නැහැ අමරේ ‘ගේය පද’, අපි දන්නෙ ‘ගාය පද’ කියල”. විමල් දිසානායක දුන්න උත්තරය තමයි කෙලින් නහය අල්ලන්න පුළුවන්කම තියෙද්දි ඇයි බෙල්ල වටෙන් අත දාල අල්ලන්නෙ කියල.
මානවසිංහ මහත්තය කියන්නේ ගී ප්‍රබන්ධ කියල. මහගමසේකර කියන්නේ මගේ ගීත රචනා කියල. අරිසෙන් අහුබුදු කියන්නේ ගී පබඳ කියල. ගීතය කියන වචනයට කාලයක් තිස්සේ ගැබ්වෙලා තිබුණු නිශ්චිත අර්ථයක් තියෙනවා. ගේය පද කියන්නේ ගැයිය හැකි පද කියන අරුතනෙ. හොඳයි එහෙම ගැයිය හැකි පද ගේය පද නම්, කට්ටඩියෝ තමයි හොඳම ගේය පද රචකයන් වෙන්නෙ. ‘ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන...’ මේවා ගැයිය හැකි පදනෙ. ‘තෙයියත් තෙයියත් තෙයියත් තා...’ ගැයිය හැකි මෙවැනි තානම් ගේය පද වෙන්න ඕන. නමුත් ඇත්තටම මේවා අර්ථ විරහිත නාද.
ඔබට අනුව ගීතය කියන්නේ අර්ථ කාව්‍යයක්...
ඔව්... ගීතය අර්ථ කාව්‍යයක්. අර්ථ විරහිත පද පූර්ණයකට අනුබල දීමක් තමයි ගේය කාව්‍ය රචනා කිරීමෙන් වෙන්නේ.
ඔබේ ගී පද රචනාවල රූපක භාවිතය සුලබයි...
රූපක ප්‍රයෝග පැරැණි සාහිත්‍යයේ තිබුණා. ‘මුව තඹර’ මේ උදාහරණක්. ඒ නාම පද දෙකක් එකතුව නිර්මාණය වූ රූපයක්. නමුත් මම තමයි නාම පද සහ ක්‍රියා පද එකතුවන රූපක ප්‍රයෝගය ගීත සාහිත්‍යයට එකතු කළේ. ගීතය සංක්‍ෂිප්ත මාධ්‍යයක්. හොඳ ගීතයක තියෙනවා හොඳ කවියක්. හොඳ කවියක තියෙනවා හොඳ ගීතයක්. “සැන්ඳෑ කළුවර ගලා හැළෙන විට, සෙනෙහස දැල්වෙන නිවස සොයා එමි - ඔබේ සිනහා සඳ මඩල මුවාවෙන් - ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි” මෙහි ‘සැන්ඳෑ කළුවර ගලා හැලෙන’ කියන්නෙ රූපකයක්. එහි ‘කළුවර’ නාම පදයක්. ‘ගලා හැලෙනවා’ ක්‍රියාපදයක්. මේ ගීයෙන් කියන්නේ බිරිඳ ගැන වුණත් කිසිම තැනක බිරිඳ කියන වචනය පාවිච්චි වෙන්නෙ නැහැ. මේ රූපක භාවිතය ගීත සාහිත්‍යය ලඝු කිරීමට භාවිත කළ හැකි ප්‍රබල ප්‍රයෝගයක්.
අනෙක ‘පෙරදිනයක මා පෙම් කළ යුවතිය’ ගීතයේ ආඛ්‍යාන රූපයක් තියෙන බවට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක වාර්තාවක් නෙවෙයි. එහි තියෙනවා භාෂාත්මක ප්‍රයෝග. එම ගීතයෙන් කියන්නේ කාලය, අනිත්‍යතාව සහ අනිත්‍යතාවෙන් මතුවන සුන්දරත්වය. මෙය තියෙනවා අපේ ථේරී ගීතවල.
‘පෙරදිනයක මා පෙම් කළ යුවතිය’ ගීතය බොහෝ දෙනෙක්ට සමීප අත්දැකීමක්. ඇත්තටම මේ ගීතය ඔබේ අත්දැකීමක් ද? නැත්නම් අමරදේවයන්ගේ අත්දැකීමක් ද?
එය සත්‍යය සහ අසත්‍යය අතර තත්ත්වයක්. එය හෙළිකිරීම ගීතයේ වින්දනයට බාධාවක්. අමරදේවට එක වෙලාවකදී එය ඔහුගේ අත්දැකීමක්. නමුත් විමලා ඉන්න තැන කියන්නෙ සුනිල්ගෙන් අහගන්න කියලයි. ඒ කොහොම වුණත් මේ ගීතයෙන් කියැවෙන්නෙ පොදු අත්දැකීමක් ගැන.
මා ඔබට කියන්නම් ‘ඇය යන්න ගියා මැකිලා’ ලියැවුණු හැටි. ඒ ගීතය මම ලියන්න පටන්ගත්තේ වස්ගමුවෙ කදුරුපිටිය බංගලාවේ සිටි මොහොතක. එදා තද වැස්සක් වැහැලා පෑව්ව රැයක්. අහසේ හොඳින් හඳ පායා තිබුණ. ඒ වෙලාවට ඈතින් පේන කඳුවැටිය හරි සුන්දරයි. හරියට හිමාලය වගෙයි. ඒ ආස්වාදය විඳිමින් ඉන්න මොහොතක එක්වරම හඳ මැකී ගියා. පරිසරයම අඳුරු වුණා. ඉතින් හඳ මැකී යෑම ගැන තමයි මම ලියන්න පටන්ගත්තෙ. ‘ඇය යන්න ගියා මැකිලා...’ ඇය කිව්වෙ හඳට. ඒ පද පෙළ ලියැවුණාට පසු මට හිතුණා මෙයට ප්‍රේමය, ප්‍රේමයේ නෝක්කාඩුව, වියෝව සම්මිශ්‍රණය කළ යුතුයි කියල. සිංහල භාෂාවේ ඇතැම් වචනවල තියෙනවා ශ්ලේෂාර්ථ ගුණය. ඒ කියන්නේ එක වචනයකින් අර්ථ දෙකක් නිරූපණය වීම. නමුත් මේ ගීතයම ශ්ලේෂාර්ථයක්. හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත පසුගිය දවසක පැවැසුවා සම්පූර්ණ ගීතයකට ශ්ලේෂාර්ථයක් සැපයූ වෙනත් ගී පද රචකයෙක් නොසිටි බව.
සොබා සෞන්දර්යය සහ ඔබේ ගීතය අතර තියෙන්නෙ බොහොම සමීප සබඳතාවක්. මේ පරිසරකාමියා ඔබට ආරෝපණය වුණේ කොහොම ද?
මම ජීවත්වෙන මේ නිවස පිටුපසින් ගලායන්නේ කිරුළපන ඇල. අපේ ළමා කාලයේ මේ ඇල දිගේ කැලණියේ සිට කළුතරට පාරු යනවා. ඒ යන ගමනෙදි අපේ ගේ පිටුපස තිබුණු කොස්ගහ යට පාරු නවත්වනවා. ඊට පස්සේ පාරු බත උයනවා. කවි කියනවා ඇහෙනවා. ඒ ආස්වාදය මට තිබුණා.
අපේ තාත්තාගෙ ඉඩකඩම් තිබුණා දෙල්දූවේ. ඒ පරිසරයේ කමත්වල ඉඳ ලැබූ ආස්වාදයත් තිබුණා. නමුත් මගේ සුන්දරම ගම තමයි හතරකෝරලය. බිරිඳගෙ ගමත් එහෙනෙ. ‘කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ - මාදම් බෝවිටියා රස දන්නේ’ කියන ගීතය ලිව්වේ බිරිඳ හැන්දෑවට පහළ ඔයට යන දසුන දැකලයි.
ඔබේ ගමේ නම කිරුළපන සම්බන්ධයෙන් වූ රසවත් කතාවක් තියෙනවා නේ ද?
මම පුංචි කාලයේ මේ ඇලෙන් එහා පැත්තෙ තිබුණෙ තණකොළ කොටුයි, කිරිල්ල කොටුයි. හැන්ඳෑවට ඇලට හරක් බස්සනවා නාවන්න. හරිම සුන්දර දසුනක්. කිරිල්ල ගස් තිබුණු ප්‍රදේශ නිසා තමයි කිරිල්ලපනේ වුණේ. නමුත් එක මහාචාර්යවරයෙක් අතිපණ්ඩිතකමට කියනවා කෝට්ටේ රජ මාලිගාවේ කිරුළ නැත්නම් ඔටුන්න පෙනුන තැන කිරුළපනේ වූ බව. පනේ කියන්නේ ප්‍රදේශය. හංස සන්දේශයේ වටවන නමින් සඳහන් වෙන්නේ කිරුළපන කියලයි රැපියෙල් තෙන්නකෝන් කියන්නේ. ඒ මහාචාර්යතුමා තව තැනකදි කිව්වා කරඬුපනේ කියන්නේ කරඬුව පේන තෙක් මානය කියල. කරඬුපනේට ඈතින් පේන්නේ සරදියල්ගෙ උතුවන්කන්ද මිස, කරඬුවක් නම් නෙවෙයි. ගම්වල නම් හැදුණ හැටි හරියට නොදන්න අය අරිසෙන් අහුබුදු ලියපු ‘නම් ගම් වහර’ කියන වටින පොත හොයාගෙන කියෙව්වා නම් හරි.
රසිකයන් වගේම විචාරකයන් ඔබේ ගී පද මාලාවල භාෂාව බොහෝ ඉහළින් අගයනවා. ඒ භාෂා ශක්‍යතාව ඔබ තුළ පිහිටන්නේ කිනම් හැදෑරීමකින් ද?
මම බොහෝ පොතපත කියෙව්වා. විශේෂයෙන් මානවසිංහයන්ගෙ නිර්මාණ සහ කුමාරතුංගයන්ගෙ පොතපත. අනෙක ගැමි කවියට මගේ තිබුණෙ විශාල ඇල්මක්. මම කියන්නෙ ජන වහර නෙවෙයි, ගැමි කට බහ වහර. එහි ගීතයත් තියෙනවා, අමුතු ධ්වනි ගුණයත් තියෙනවා. මගේ භාෂාව කාලයක් තිස්සේ මා අභ්‍යන්තරයේ ගබඩාවී තිබී, සුදුසු තැනට සුදුසු විදිහට පැළපදියම් වුණා. අපි කාලයක් තිස්සේ එකතු කරගත් දේවල් තමයි මනසේ තැන්පත් වෙලා සුදුසු පරිදි සුදුසු තැනට ඇවිත් පදිංචි වෙන්නේ. කුමාරතුංග කියනවනෙ ‘හද පබඳ පද පබඳ’ බවට පත්වෙනව කියල.
ඔබ හෙළහවුලේ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් හෙළ හවුලත් සමඟ තියෙන්නේ බොහොම සමීප ඇසුරක්...
සාහිත්‍ය භාෂාව හදාරන්න හදාරන්න කුමාරතුංගගෙත්, හෙළ හවුලෙත් වටිනාකම වැඩිවෙනවා. මොකද කුමාරතුංග කියූ දේවල් අදටත් අවලංගු කරන්න බැහැ. කුමාරතුංග භාෂාවට, සාහිත්‍යයට කළ දේවල් ගත්තාම අද ඉන්න කිසිම මහාචාර්යවරයෙක්ට ඔහු හා සමවිය නොහැකියි. කුමාරතුංග ගැන මහාචාර්ය මීගස්කුඹුර ලියා තියෙනවා. මහාචාර්ය විමල් දිසානායක ඉංග්‍රීසියෙන් කුමාරතුංග ගැන ලියා තියෙනවා. ඒ වගේම කේ. එන්. ඕ. ධර්මදාස ලියා තියෙනවා. ඒ මහාචාර්යවරු තමන් මුදුනා කියා හිතාගෙන වැඩ කළ අය නෙවෙයි.
ගී පද රචකයෙක් විදිහට ඔබ උපයා ඇති දේ මොනවා ද?
අවස්ථා දෙකක හැරෙන්න මම ගීත ලියා මුදල් ලබාගෙන නැහැ. එක් වරක් සයිමන් නවගත්තේගමගෙ පණ්ඩුකාභය නාට්‍යයට ගීත කිහිපයක් ලියා මුදල් ලබාගෙන තියෙනවා. මොකද ඒ දිනවල මට රස්සාවත් අහිමිවෙලා තිබුණෙ. ඒ වගේම වරක් සෝමතිලක ජයමහ මට යම් මුදලක් ගෙනත් දුන්නා. මම සාහිත්‍ය දේශන රාශියක් කර තියෙනවා. ඒ කිසිවකටත් මුදල් අයකරල නැහැ. තෘප්තිය තමයි මා ඉපැයූ ධනය. ජාත්‍යානුරාගයයි, දේශනුරාගයයි ඇතිකරන්න ගුවන්විදුලියට වැඩිපුරම දේශනුරාග ගී ලියා තියෙන්නේ මමයි, මහගමසේකරයි. අරිසෙන් අහුබුදුත් ලියා තියෙනවා. අමරදේව ගයන ‘වේවා සිත් සතුටුකරන සුබ දවසක් වේවා’ වැනි වැඩකරන ජනතාව ගැන ගී මා ලියා තියෙනවා.
මම ජනප්‍රිය ගීත රචකයෙක් වෙන්න ආයාසයෙන් කළ කිසි දෙයක් නැහැ. තාවකාලික ජනප්‍රියතාවට වඩා මා කැමැති කාලයක් රඳා පවතින දේ කරන්න. වැරැදි දෙයක් කරල ජනප්‍රිය වීමේ උත්සාහයක් මට කිසිම දිනක තිබී නැහැ. මගේ හැම ගීතයකම තියෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ දයානුකම්පාවක්.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
මෙම සංවාදය මුල්වරට 'සති අග අරුණ' පුවත්පතේ (2025/12/28) දින පළ විය.
(සංවාද සටහන උපුටා ගැනීම "Suranga Indika Lakmal Bogahawatta" ෆේස්බුක් පිටුව ඇසුරිනි)



