lan englan tam

විශේෂාංග

හුදෙකලාවේ මංපෙත් මත ඇදෙන සොඳුරු සිනමා කාව්‍යය - 'Train Dreams'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

හොඳින් මුවහත් කරන ලද පොරවක් අතැතිව රොබට් ග්‍රේනියර් මහත් ආයාසයෙන් රූස්ස ගසක් බිම හෙළා අත් කියතින් ලී කොට කැබලි කර ඉරා දමන්නේ අනාගතයේ වනාන්තර මැදින් එළන්නට නියමිත දුමිරිය මඟක සිල්පර කොට වෙනුවෙනි.

 

train dreams i 2

 

ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ වයඹදිග පැසිෆික් කලාපයේ යෝධ ගස් සොයන රොබට්ගේ ජීවිතයේ වැඩිමනක් කාලය ගත කරන්නේ වනාන්තර පීරා හොඳින් වැඩුණු ගස් කපා දමා දුමිරිය මාර්ග තැනීම වෙනුවෙනි. රොබට් ගස් කපන්නෙකු ලෙස ඔහුගේ බිරිඳ සහ දරුවා සමඟ සතුටින් ජීවත් වෙයි. නමුත් ඔහුට පූර්ණ ලෙස තම බිරිඳ, දරුවා සමඟ කාලයක් නැත. නිවාඩුවට ඔවුන්ව දැකබලා ටික දිනකින් නැවත වනාන්තරය වෙත යා යුතු ය. රොබට් ගෙදර පැමිණෙන විට අනපේක්ෂිත මොහොතක තම පවුල ලැවි ගින්නට බිලි වෙයි.

 

train dreams w

 

ඔහු ගස් කපා දමා සොබාදහම විනාශයට පත් කළා සේම සොබාදහම විසින් ඔහුගේ ආත්මය බඳු බිරිඳ සහ දියණිය ලැවිගින්නට බිලි වීම කර්මය පිළිබඳ පණිවුඩය යළි යළිත් සිහි කැඳවීමකි. රොබට් තනි වෙයි. ඔහු ඉතිරි කාලය ගත කරන්නේ තනිකඩව ය. උස් වනාන්තර, විශාල අහස සහ දැවෙන ගිනිදැල් නිරතුරුවම රොබට්ගේ මානසික ව්‍යාකුලත්වය සඳහා දෘශ්‍ය රූපක බවට පත්වේ. වනාන්තරය යනු සුන්දරත්වය සහ භීතිය යන දෙකම ලබා දෙන්නකි. විටෙක මහා ගිනි ජාලාවක් ලෙසින්ද පැමිණිය හැකි ය.

 

Trainmain 1 1

 

පුද්ගල කේන්ද්‍රීය පශ්චාත්තාපය තේමා කරගත් 'ට්‍රේන් ඩ්‍රීම්ස්' චිත‍්‍රපටය වැදගත් සිනමාපටයක් වන්නේ ඇයිද? න්න පිළිබඳ විමසා බැලිය යුතුය.

රොබට් තමා ජීවත්වන කැලෑබද පරිසරය තුළ ම සිරගත වූවෙකි. ඔහු තමා නියෝජනය කරන නිශ්චිත වූ දේශපාලනික, සංස්කෘතික, සදාචාර, ආගමික යනාදි වූ විවිධාකාර සීමා පවුරු තුළ සිරකරුවකු බවට පත්වෙයි.

තම මනස විලංගු ලා තිබෙන මෙම කැලෑබද සිරකුටියෙහි ජීවත්වන ආකාරය සහ එම විලංගුවලින් අත් මිදෙන ආකාරය වෙනස් ය. ඔහුගේ බිරිඳ සහ දරුවා අහිමි වීමේ ශෝකයේ කුරිස බර උසුලාගත නොහැකිව හද පත්ලෙන්ම ඉකිබිඳි. ඔහුගේ ආධ්‍යාත්මයේ කම්පනය රූපමය ව්‍යවහාරය හරහා හෙළිදරව් වෙයි. රොබට්ගේ ජීවිත වෘතාන්තය වෙතින් ගම්‍යවන්නේ පශ්චාත්තාපී හදවතක් ඇත්තෙකුගේ හෘදය සාක්ෂියට ඉහළින් සිදු කරන එබී බැලීමකි.

 train dreams images 1

 

සිනමාපටයේ සෑම රූප රාමුවක්ම සිතුවමක් මෙනි. නවක සිනමාකරුවකු වන 'ක්ලින්ට් බෙන්ට්ලි' විසින් 'ට්‍රෙින් ඩ්‍රීම්ස්' සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇති අතර රොබට් නමැති ගස් කපන්නාගේ චරිතය සඳහා පණපොවන්නේ හොලිවුඩයේ ප්‍රවීණ නළුවෙකු වන 'ජොයෙල් එඩ්ගර්ටන්' විසිනි. ජොඑල්ගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ සඳහා හොඳම නළුවා අංශයට යටතේ නිර්දේශ විය.

 

 

ඇමරිකානු ජාතික ලේඛකයකු වන 'ඩෙනිස් ජොන්සන්' ලියූ 'Train Dreams' නවකතාවේ අනුවර්තනයක් වන 'ට්‍රෙින් ඩ්‍රීම්ස්' චිත්‍රපටය ජාතික සමාලෝචන මණ්ඩලය (National Board of Review) සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය (American Film Institute) විසින් 2025 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලදි. 'ට්‍රෙින් ඩ්‍රීමිස්' සිනමාපටය සොබාදහම සහ හුදකලාව පිළිබඳ දෘශ්‍ය භාවනාවක් වැන්න. එය 2025 වසරේ තිරගත වූ කලාත්මක ධාරාවේ චිත්‍රපට නරඹන්නට ලාලසාවක් ඇති ප්‍රේක්ෂකාගාරයට නිර්දේශ කළ හැකි අපුරු සිනමාකෘතියකි.

 

476237625 2101514566935849 5297727973837240105 n

සටහන - මලින්ත විතානගේ

(මෙම ලිපිය 2025 දෙසැම්බර් 16වන බ්‍රහස්පතින්දා දින 'සරසවිය' පුවත්පතේ මුල්වරට පළ විය.)

 

kemadasa

Back to top
Go to bottom