lan englan tam

විශේෂාංග

අරිෂ්ට කල්දේරමට වැටුන අනුෂ්ක රසාංජන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

ගෝල් දේශයේ පප්පා ගමේ සෙට් එක රෝමන් කාරයොත් එක්ක සටනට යන්න කලින් වෙද පප්පගෙ අරිෂ්ටෙ බීලා ‘සුපිරි බලයක්’ අරගෙන තමයි යන්නෙ. ඒත් අනුෂ්ක රසාංජන කියන අධ්‍යක්ෂවරයට අමුතුවෙන් අරිෂ්ටෙ බොන්න ඕනෙ නෑ මිත්‍රයා. අනුෂ්ක පුංචි කාලෙදිම මැජික් අරිෂ්ට කල්දේරමට වැටුන වැඩ්ඩෙක්. ඉතිං මේ මනුස්සයා ජිම් පප්පා රෝමන්කාරයින්ට නෙළනවා වගේ සුපිරි වැඩ දෙකක් එක ළඟ නෙළුවා!!

'ටේක් කෙයා' සහ 'පට්ටි ගෙදර' කියන්නෙ රසිකාගාරය පැත්තෙ ඉන්න අයට මාස්ට පීස් දෙකක්. ටෙලිඩ්‍රාමා ෆීල්ඩ් එක අභ්‍යන්තරයේ තියන අසීමිත ප්‍රශ්නත් එක්ක තමන්ගෙ පළවෙනි ටෙලි වැඩ දෙක ඒ මට්ටමට ගොඩදාන්න පුළුවන් වෙන්නෙ අරිෂ්ට කල්දේරමට වැටුන කෙනෙක්ටම විතරයි.

ටෙලිඩ්‍රාමා එකක පෙන්නන සිද්ධි සහ චරිත තාත්වික නම් ඒ ඩ්‍රාමා එක ඩීකෝඩ් කරගන්න අපිට ලේසියි. විද්‍යාත්මකව කියනවනම් ඒ වගේ තාත්වික දේවල් ප්‍රොසෙස් කරගන්න අපේ මොළයට ගතවෙන කාලය සහ පියවර ගාණ ගොඩක් අඩුයි. අපේ ජීවන අරගලයත් එක්ක ගැළපෙන චරිත සහ සිද්ධි අනුෂ්ක ලියලා අධ්‍යක්ෂණය කරන පට්ටි ගෙදර ඇතුළෙ තියනවා. ඒ නිසා මේ ඩ්‍රාමා එක සට සට ගාලා ඩීකෝඩ් කරගන්න අපේ මනසට පුළුවන්.

නළු-නිළි වරණය හෙවත්, ඒ ඒ චරිතයට වඩාත් ගැළපෙන නළු නිළියන්ව තෝරාගැනීම කියන්නෙ බරපතල විෂයක් කියලා මේ වෙද්දි මුළු ලෝකෙම දන්නවා. කොටින්ම කියනවා නම් 2026 ඉඳලා ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළු නිළි වරණයටත් සම්මානයක් අලුතෙන් හඳුන්වලා දීලා තියනවා. මේ නළු නිළිවරණ විෂයෙදි Anushka Rasanjana ඉහළින්ම සමත් !

සීනියර් නළු නිළියන්ට පවා අනුෂ්ක එක්ක වැඩ කරලා ඉගෙනගන්න දේවල් තියනවා මිත්‍රයා. සමහර වෙලාවට සමහර නළු නිළියන්ගේ රංගන ජීවිතේ සුපිරියට වෙනස් වෙන්නත් අනුෂ්කගේ ඩිරෙක්ෂන් බලපානවා. ඒ ඒ නළු නිළියන්ගෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් සුපිරි බලයකුත් අනුෂ්කට තියනවා.

Jenat Anthony එතෙක් මෙතෙක් කරපු හොඳම චරිතය පට්ටි ගෙදර උපාලිගේ චරිතය වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. ගොඩක් අය ජෙනට්ව ජෝකර් කෙනෙක්, විහිළු සපයන්නෙක්, මැර දඟලානා කෙනෙක් කරද්දි, අනුෂ්ක කියන සුපිරි බලයක් තියන අධ්‍යක්ෂවරයා ජෙනට්ව ගැඹුරු නළුවෙක් කළා. ජෙනට්ගෙ ඇඟට සහ ඇක්ටිං රිදම් එකට හොඳටම සෙට් වෙන විදිහට ඒ චරිතෙ ඩීටේල් ඩිවලප් කරන්න අනුෂ්කට පුළුවන් වෙලා තියනවා. මේ වැඩේ ඇතුළෙ ජෙනට්ට ලැබෙන චරිතාංග ‘වරය’ හෙවත් චරිතාංග අභිෂේකය, හරිම පරිස්සමෙන් තමන්ගේ රංගන ජීවිතය පුරාවටම තියාගන්න එක ඉතිං ජෙනට් ගේ වැඩක්.

පවුඩර් බබා ටයිප් සිඟිති ආතල් එක්ක බැනුම් අහගෙන රඟපාපු Dinakshie Priyasadව කණපිට හරවලා, එක වහලක් යට සහ ටේක් කෙයා වැඩ වලින් විශිෂ්ට රංගන ශිල්පිනියක් කළේ අනුෂ්ක. Chandani Seneviratne, Tharindi Fernando සහ Rebecca Dilrukshi කියන ‍මහා දැවැන්ත රංගන හැකියාවන් තියන සුපිරි බුලට් නිළියන් එක්ක සම සමව සම්මානවලට නිර්දේශ වෙන ලෙවල් එකට දිනක්ෂිව ගෙනාවෙ අනුෂ්ක. තවත් විදිහකට කියනවනම්, ‘තරුවක්’ විතරක් වෙලා හිටපු දිනක්ෂිව ‘නිළියක්’ කළේ අනුෂ්ක!

පට්ටි ගෙදර නන්දනීගේ චරිතය හරියට කරනවා කියන්නෙ රංගනය ගැන PHD එකක් කරනවා වගේ වැඩක් මිත්‍රයා. ඒ චරිතය ඇතුළෙ පුදුමාකාර සහ සංකීර්ණ වේරියේෂන් ප්ලේ කරන්න තියනවා. ඉතිං ඒ වගේ චරිතයකට රෙබෙකා දිල්රුක්ෂි වගේ අති දක්ෂ රංගන ශිල්පිණියක්ව තෝරාගැනීමම අනුෂ්කගේ කාස්ටිං ටැලන්ට් එකට හොඳ උදාහරණයක්.

සාමාන්‍ය මානව ස්වභාවයට වඩා වෙනස් හැසිරීම් රටා, සංකීර්ණතා සහ ක්ෂණික චරිත වෙනස් වීම් රොත්තක් නන්දනීගේ චරිතයේ තියනවා. මේ දේවල් හරියටම කළේ නැත්නම් නන්දනී පට්ට ජෝක් එකක් වෙනවා. ඒත්, ජෝක් එකක් නොවී මේ චරිතෙ අති සාර්ථකව ගොඩදාන්න රෙබෙකටත් අනුෂ්කටත් පුළුවන් වෙලා තියනවා.

පට්ටි ගෙදර තවත් පට්ට චරිතයක් කරන Kasun Tharaka කියන්නෙ නැගී එන අති දක්ෂ නළුවෙක්! දක්ෂ යක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ මේ කසුන් කියන යක්ෂයාට මොන තරම් සාර්ථක අඩව් අල්ලන්න පුළුවන්ද කියලා පට්ටි ගෙදරිනුත් කසුන් ඔප්පු කරලා තියනවා.

පට්ටි ගෙදර ඇතුළෙ චින්තක වාස්, ලෝචනා ඉසුරින්දි, Dhammika Bandara, Shavinda Lakshan, රූපා පතිරණ, Dulanja Dilshan , Chaminda Batukotuwa, Samantha Paranaliyanage ඇතුළු තවත් ගොඩක් ශිල්පීන් ලවා රියල් හැඟීමක් ප්‍රේක්ෂකයට දනවන්න අනුෂ්කට පුළුවන් වෙලා තියනවා. කොටින්ම කියනවා නම් උපාලි ඇඳගෙන ඉන්න කහපාට බැනියම් කමිසයේ ඉන්න සර්පයා පවා මට පේන්නෙ රියල් හැඟීමකින් රඟපාන තීරණාත්මක චරිතයක් කරන නළුවෙක් විදිහට.

අනුෂ්ක වගේ වයසින් තරුණ, හැකියාවෙන් ප්‍රවීන අන්ඕතඩොක්ස් අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබෙන එක නළු නිළියන්ට ලැබෙන සම්මානෙකට වඩා වටිනවා. විශේෂයෙන්ම පට්ටි ගෙදර වැඩේ ඇතුළෙ Anuradha Edirisinghe, ලෝචනා ඉසුරින්දි වගේ ආකෘතිකමය බොඩි ලැංවේජ් තියන නිළියන්ට ලැබිලා තියෙන්නෙ රංගනය ගැන පශ්චාත් උපාදියක් හදාරනවා වගේ දුර්ලභ ස්වර්ණමය අවස්ථාවක්. මේ වැඩේ ඇතුළෙදි ලෝචනා තමන්ගේ ඒ ආකෘතිය බොහෝ දුරට කඩාගෙන සාර්ථක වෙලා තියනවා.

පට්ටි ගෙදර ඩ්‍රාමා එක ලියන්නෙත් අනුෂ්ක. ඒ ලියවිල්ල ඇතුලෙ සිද්ධි ගොඩනගන හැටි පට්ටයි මිත්‍රයා. ගොඩක් ටෙලිඩ්‍රාමාවල තියෙන්නෙ නළුවො දෙන්නෙක් දෙපැත්තෙ ඉඳලා එහාටයි මෙහාටයි පතෝල වගේ දෙබස් විසිකරගන්න එක විතරයි. ඒත් පට්ටි ගෙදර දෙබස් සහ සිදුවීම් ඊට වඩා ගොඩක් වෙනස්. පට්ටි ගෙදර ඇතුළෙ පුංචි පුංචි ඩීටේල් ගැන ගොඩක් හිතලා, සිද්ධි ඇතුලේ තියන අනු සිද්ධි පවා ඉතා අර්ථවත් දෙබස් ඇසුරෙන් පරිස්සමෙන් ගොඩනගලා තියනවා.

ගොඩක් සීන්වල තෙවන පාර්ශවීය මැදිහත්වීමක් නිසා ඇතිවෙන ඩ්‍රැමටික් ක්‍රොස් ඕවර් හයිප් එකක් තියනවා. ඒ මැදිහත්වීම කරන්න නළුවෙක් නිළියක් නැත්නම් එළුවෙක් හරි එනවා. එහෙම නැත්නම් පණ නැති පොල්කටු අඟුරු කෑල්ලක් හෝ අමු මිරිස් කරල් දෙකක් හරි දුම් දාගෙන එනවා. ඒ නිසා ඒ සිද්ධි සහ දෙබස් ලොවෙත් බෝරිං නෑ. ඒ වගේම ඒ සිද්ධිවල තියන තියුණු බව ටික ටික වැඩිවෙන විදිහටත්, උසිගැන්වෙන විදිහටත් දෙබස් සහ චරිත හැසිරීම් හොඳ පාලනයක් එක්ක හරියටම ගොඩනගලා තියනවා. ඒ සිද්ධිවල ටෙම්පො එක උඩ පහළ යන විදිහත් පට්ට.

අඩු වයසින් මේ තරම් ටැලන්ට් එකක් තියන අධ්‍යක්ෂවරයෙක්ට මේ ෆීල්ඩ් එක ඇතුලේ තරහාකාරයෝ සහ ඊරිසියාකාරයෝ ඉදිරියේදී බිහිවෙන්න නියමිතයි. ඉතිං, කලාවට ආදරේ කරන හැම‌කෙනෙක්ම එකතු වෙලා, පොඩිකාලෙදිම අරිෂ්ට කල්දේරමට වැටුන අනුෂ්ක වගේ නවකයින්ව පරිස්සම් කරගන්න ඕනෙ මිත්‍රයා.

 

217650699 4757575867605043 4807348825720843340 n 1

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

 

 

kemadasa

Back to top
Go to bottom