නිදහස ලැබූ දා සිට අප රටේ කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයයන් අරඹයා රජය දක්වන අවධානය හා සැලකිල්ල මෙන්ම ඒ සඳහා දක්වන අනුග්‍රහය ද එතරම් ප්‍රබල වූවක් නොවන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
එය එසේ වී ඇත්තේ කලා හා සංස්කෘතික කටයුතු යන්න සාමාන්‍යයෙන් රටේ වෙනත් ක්ෂේත්‍රයන් පමණට වැදගත් කමක් නොපෙන්වීම විය හැකියි. ආර්ථික ගැටලුවලින් කරවටක් ගිලී සිටින අපගේ වැනි රටක කලාව හා සංස්කෘතිය ගැන කථා කිරීමෙන් පලක් ඇතිවේදැයි බොහෝ දෙනා මෙහිදී විමසනු නිසැකය. ‘සාහිත්‍යය කන්නදැ’යි එක්තරා යුගයක මෙරට කිසියම් ප්‍රබල දේශපාලන චරිතයක් ප්‍රකාශයට පත්කළ ආකාරය ද අපට හොඳින් මතකය.
එහෙත් බොහෝ බුද්ධිමතුන්ගේ පිළිගැනීම වන්නේ රටක ජනතාවගේ සංස්කෘතිමය ජීවිතය කිසියම් වක්‍ර ආකාරයකින් එහි සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රගමනයට බලපෑමක් කරන බවයි. සංවේදී මිනිසුන් සිටිනා රටක ගැටලු විසඳාගැනීම වඩාත් පහසු වන බව ඔවුනගේ පිළිගැනීමයි.
අප දන්නා කාලයේ සිටම අප රටේ වාර්ෂික අය වැය ලේඛණය හරහා සංස්කෘතික අමාත්‍යාංශයට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන අන් අමාත්‍යාංශවලට වෙන් කෙරෙනවාට වඩා බෙහෙවින්ම අඩු ප්‍රමාණයක් වී ඇත්තේ එබැවිනි. ඇත්තෙන්ම මෙහිදී රජය, කලා හා සංස්කෘතික ක්ෂේත්‍රය අමතක කර දැමීමක් සිදුකර ඇතිද යන්න විමසා බැලීම වටී. රජය කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වන බව කියන මතයක අප බොහෝ දෙනා එල්බ සිටිය ද එය අර්ධ සත්‍යයක් බැව් කරුණු කාරනා විමසීමේ දී පැහැදිලි වේ.
මූලික වශයෙන් මෙරට සංස්කෘතික ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජයේ අනුදැනුම මත ස්ථාපිත කර ඇති ආයතන ප්‍රමාණය කෙතරම් ද යන්න විමතිය දනවයි. ඒවා බොහොමයක් ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේයි. එකී අමාත්‍යාංශය යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවක් ක්‍රියාත්මක වන අතර එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හෙවත් සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ යටතේ විවිධ අංශ හා විශාල නිලධාරී මණ්ඩලයක් ද ක්‍රියාත්මක වේ. මෙයට අමතරව සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ද තවත් උසස් නිලධාරී මණ්ඩලයක් කටයුතු කරන අතර, ඔවුහු ජාතික උරුමයන්, සැලසුම් හා මෙහෙයුම් යනාදී වශයෙන් වූ ප්‍රධාන ක්ෂේත්‍රයන් කිහිපයක් යටතේ කටයුතු කරති. මේ සියල්ලෙහි නියමුවා ලෙස සැලකෙන්නේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.
මෙයට අමතරව එම අමාත්‍යාංශය යටතේ තවත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන ‘ලංකා කලා මණ්ඩලය’ යනුවෙන් ආයතනයක් ද ක්‍රියාත්මක වේ. එකී මණ්ඩලය සමන්විත වන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙනි. ලංකා කලා මණ්ඩලය යටතේ නොයෙකුත් අනුමණ්ඩල ක්‍රියාත්මක වන අතර ඒවා සාහිත්‍යය, නාට්‍ය, සංගීත, නැටුම්,රූපවාහිනී, සිනමා හා දෘශ්‍ය කලා යනාදී වශයෙන් වෙන්කර ඇත. ඒවාට වෙන වෙනම උපදේශක මණ්ඩල ද සිටී. මීට අමතරව වත්මනෙහි ජාතික චිත්‍රපට සංස්ථාව ක්‍රියාත්මක වන්නේ ද සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේයි. එහෙත් කලින් කලට ‘ජාතික චිත්‍රපට සංස්ථාව’ වෙනත් අමාත්‍යාංශ යටතේ ද ක්‍රියාත්මක විය. ඒ අතර මුදල් අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වාරිමාර්ග අමාත්‍යාංශය ද විය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ක්‍රියාත්මක වන පලාත් සභා යටතේ ද නැවතත් දිිවයිනේ සෑම පලාතකම සංස්කෘතික අමාත්‍යාංශයක් බැගින් පිහිටුවා ඇත. ඒවා යටතේ ද සැලකිය යුතු නිලධාරී මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන් විවිධාකාරයේ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් සංවිධානය කරන බව පෙනේ. සෑම කොට්ඨාශයකටම එක් සංස්කෘතික නිලධාරියෙකු සිටින අතර ඒ සියලු දෙනා විශ්ව විද්‍යාල උපාධීධාරීන් වේ. එහෙත් රේඛීය අමාත්‍යාංශය මෙන්ම ඔවුනගේ ද ප්‍රධානතම කාර්යභාරය වී ඇත්තේ සම්මාන උත්සව හා තරඟ සංවිධානය කිරීම බව පෙනේ. ඒ ඒ පලාත් සභාව වෙනුවෙන් මෙම කටයුතු සඳහා වෙන්කර ඇති මුදල ද සුලුපටු නොවේ.
රේඛීය අමාත්‍යාංශය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට සංස්කෘතික මධ්‍යස්ථාන හා ගොඩනැගිලි 200 කට වැඩි ප්‍රමාණයක් ඇති බව සැලවේ. ඒ පලාත් සභාවලට අයත් ගොඩනැගිලි හා යටිතල පහසුකම්වලට අමතර වශයෙනි.
වඩාත් වැදගත් වන්නේ මෙකී ආයතන ජාලය හරහා මෙරට ජනයාගේ කලා සංස්කෘතික ජීවිතය ප්‍රවර්ධනය කිරීම උදෙසා කරන්නේ හා දැනට කරමින් සිටින්නේ කුමන කාර්යභාරයක් ද යන්නයි. සම්මාන උත්සව පැවැත්වීම, තරඟ හා දේශන මාලා පැවැත්වීම තුළ වැදගත් කමක් නැතැයි මින් අදහස් නොකෙරේ. ඇත්ත වශයෙන්ම මෙකී සම්මාන උත්සව සඳහා අතිවිශාල මුදලක් වැය කරන අතර ඇතැම්විට ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම ද සිදුවේ. එහෙත් සැලකිල්ලෙන් විමසා බැලීමේ දී පැන නඟින ගැටලුව වන්නේ ඒවා හරහා මෙතෙක් මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රයයන් හි කවර නම් ප්‍රවර්ධනයක් සිදුවී ඇති ද යන්නයි.
නිදසුනක් ලෙස රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳව සලකා බලමු.
වසරක් පාසා රූපවාහීනී ක්ෂේත්‍රයේ විවිධාකාරයේ නිර්මාණ අගැයීම සඳහා රජය මෙන්ම නොයෙකුත් පෞද්ගලික ආයතන ද සම්මාන උත්සව පවත්වති. ඒවායේ අරමුණ වන්නේ මූලික වශයෙන් මෙරට රූපවාහිනී නිර්මාණයන් තාක්ෂණික හා නිර්මාණාත්මක වශයෙන් වඩාත් ඉහළ තලයකට ගෙන යාම විය හැකියි. එහෙත් 1980 සිට මේ දක්වා රූපවාහිනියේ විකාශය වන වැඩ සටහන් බොහොමයක් පිළිබඳව සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ ඒවායේ කිසියම් ක්‍රමික පිරීහීමක් සිදුවෙමින් ඇති බව නොවේ ද? බොහෝ කාලයක පටන් මෙවන් සම්මාන උත්සව වල විනිශ්චය මණ්ඩල සාමාජීකයෙකු ලෙස කටයුතු කර ඇති මට නිරීක්ෂණය කළ හැකිවූයේ එවන් ස්වභාවයකි. මෙරට අනෙකුත් කලා ක්ෂේත්‍ර හා අදාල තත්වය ද එයට වැඩි වෙනසක් දැකිය හැකි නොවේ.
මේ අනුව විශේෂයෙන් ම රාජ්‍ය මුදල් භාවිතා කරමින් කරන්නාවූ මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව අප නැවත වරක් හොඳින් සිතා බැලිය යුතු යැයි මට සිතේ. මගේ අදහසේ හැටියට මෙහි දී වැඩි අවධානයක් යොමු විය යුත්තේ මෙරට තරුණ පරපුර වෙතයි. ඔවුනගේ කලා රසාස්වාදනය ඉහළ නැංවීම සඳහා පාසැල් මට්ටමින් කළ හැකි ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන හරහා ද පුලුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි සිතේ. දැනට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්කෘතික මධ්‍යස්ථාන මේ සඳහා යොදා ගත නොහැකිද? යන්න සලකා බැලීම වැදගත්වේ. එකී මධ්‍යස්ථාන කුඩා සිනමාහල්, නාට්‍ය ශාලා,සංගීත ශාලා (concert halls) මෙන්ම දේශන ශාලා හා පුහුණු මධ්‍යස්ථාන ලෙස ද ක්‍රියාත්මක කළ නොහැකිද?
‘සංගීත ශාලා’ නම්වූ යෙදුම මෙරට එතරම් ප්‍රචලිත වූවක් නොවේ. යම් යම් සංගීතඥයින්ගේ හා වාද්‍ය වෘන්දයන්ගේ වාදන පවත්වන එවන් කුඩා හා විශාල ශාලා වෙනත් රටවල ස්ථාපිතව ඇත. මෙරට බටහිර සංගීත වාදන බොහෝවිට පැවැත්වෙන්නේ කොළඹ කාන්තා විද්‍යාල ශාලාවේයි. කලකට ඉහත පණ්ඩිත් රවි ශන්කර් ගේ සම්භාව්‍ය සිතාර් වාදනයක් පැවැත්වූයේ කොළඹ තරුපහේ හෝටල ශාලාවකයි. එදින උදෑසන ශාලාවට පැමිණි රවි ශන්කර් ශාලාවේ ධ්වනි ගුණාංග තත්වයන් (acoustics) පරීක්ෂා කළ අයුරු මට මතකය. බටහිර සම්භාව්‍ය සංගීතය කෙතරම් විශිෂ්ට සම්ප්‍රදායයක් වුව ද අද අප රටේ එකී සංගීතය රසවිඳින රසිකාගාරය කොළඹ කේන්ද්‍රීය අතලොස්සකට පමණක් සීමාවී ඇත. එවන් විශිෂ්ට සංගීත සම්ප්‍රදායයක් අපගේ ගැමි දරුවනට අකැප වන්නේ කෙසේද? ඔවුනට එකී විශිෂ්ට සංගීත සම්ප්‍රදායයට ප්‍රවිෂ්ට වීමේ ඉඩ කඩ අහුරා දැමීම අපරාධයක් නොවේද?
මේවන විට මෙරට සිනමා ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට වත්මනෙහි ක්‍රියාත්මක වන චිත්‍රපට බෙදා හැරීමේ මණ්ඩල ප්‍රතික්ෂේප කිරීමයි. මේවන විට එවැනි බෙදා හැරීමේ මණ්ඩල 5 ක් පමණ මෙරට ක්‍රියාත්මක වන අතර ඔවුනට ප්‍රවේශ පත්‍ර ආදායමෙන් 10%ක ප්‍රමාණයක් හිමිවේ. මෙකී බෙදා හැරීමේ මණ්ඩල තමන් යටතේ ක්‍රියාත්මක වන සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට මනාපයක් දක්වන්නේ වැඩි ආදායමක් ලැබිය හැකි හා ප්‍රේක්ෂකයින් වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි යැයි තමන් විශ්වාස කරන එනම්; ‘දුවන’ චිිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටයි. එවැනි චිත්‍රපට තෝරා බේරා ගැනීමට ඔවුනගේම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර අනෙකුත් චිත්‍රපට සිය ගණනක් කිසිදු ප්‍රදර්ශන සමාගමකින් නොගැනීම නිසා පෝලිමට එකතු වී ඇත. මේ අතර ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ ද ප්‍රදර්ශන මණ්ඩලයක් ක්‍රියාත්මක වේ. එය හඳුන්වනු ලබන්නේ ‘රිද්මා’ මණ්ඩලය යනුවෙනි. එය එසේ වී ඇත්තේ ඇතැම් සිනමාශාලා හිමියන් පෙර කී පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන මණ්ඩල සමඟ ගනුදෙනු කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වීමයි. කෙසේ වෙතත් ‘රිද්මා’ මණ්ඩලයේ සිනමාහල් හිමියන් පවා යටකී ප්‍රතික්ෂේප වුණ චිිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. දැනට පෝලිමට එක්වී ඇති ප්‍රදර්ශනය කර නැති අති විශාල චිත්‍රපට ප්‍රමාණය අතර වැඩි පුර ඇත්තේ ‘චිත්‍රපට’ කියා හැඳින්වීමට පවා නොහැකි චිත්‍රපට බව ඒවා නැරඹූ බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් ඒවා නිර්මාණය කළ අය එසේ නොසිතති. ඇත්තෙන්ම ‘දුවන චිත්‍රපට’ තෝරා බේරා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් හෝ ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇත්තේ කවරකුටද? එවැනි චිත්‍රපට තැනීමේ කිසියම් ‘සූත්‍රයක් ’ තිබේද? එවැන්නක් ඇත්තේ නම් හොලිවුඩ් හෝ බොලිවුඩ් හි නිපදවන සෑම චිත්‍රපටයක්ම බොක්ස් ඔෆිස් වාර්තා බිිඳ හෙළන ආකාරයෙන් නිපදවීමට ඔවුන් පියවර ගනු නියතය. කෙසේ වෙතත් කලින් සඳහන් කළ පෝලිමට එක්වී ඇති චිත්‍රපට අතර කලාත්මක ගණයේ ලා සැලකිය හැකි චිත්‍රපට කිහිපයක් ද ඇති බැව් සැලවේ. කෙසේ වෙතත් ඒවා නම් ආදායම් වාර්තා තබන චිත්‍රපට සේ සැලකිය නොහැකි වන බව පැහැදිලිය. මෑතකදී ‘රිද්මා’ මණ්ඩලයේ තිරගත වූ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය ද එවැන්නකි.
එහෙත් දැනට ඉතිරිවී ඇති චිත්‍රපට සිය ගණනෙහිම නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් ඉල්ලා සිටින්නේ තමන්ගේ චිිත්‍රපට කෙසේ හෝ ‘රිද්මා’ මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කර දෙන ලෙසයි. මේ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවට මුහුණදීමට සිදුව ඇත්තේ කිසියම් උභතෝකෝටියකටයි. මන්ද යත් ‘තරංගනී’ සිනමාහල හැරුණු කොට ඔවුනට වෙනත් කිසිදු සිනමාහලක් අයත් නොවීමයි. අනෙක් අතින් ක්ෂේත්‍රයේ අය අතර පවා මේ පිළිබඳ තනි මතයක් නොපවතින බවක් පෙනේ. බහුතරයකගේ අදහස වන්නේ පෞද්ගලික අංශයේ සිනමාහල් හිමියන් හා බෙදාහරින්නන්ගේ ඒකාධිකාරයට විරුද්ධව ජාතික චිත්‍රපට සංස්ථාව නැවතත් 1972 පනතට අනුව කටයුතු කළ යුතු බවයි. තවත් අය පවසන්නේ වත්මන් සමාජ ආර්ථික තත්වයන් යටතේ එවැන්නක් නොකළ යුතු බවයි. ලොව කිසිදු රටක චිත්‍රපට බෙදාහැරීම සඳහා රජය මැදිහත් වීමක් සිදු නොකරන බවත්, වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වන තත්වයන් යටතේ එය අතාර්කික හා අසාර්ථක උත්සාහයක් වනු ඇති බවත් ඔවුනගේ අදහසයි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ පාලන සමයේ ද මෙයාකාරයේ චිත්‍රපට පෝලිමක් හෙවත් අතිරික්තයක් ඇතිවූ අවස්ථාවේ එතුමන් හමුවට කරුණු කාරනා පැහැදිලි කිරීමට ගිය කණ්ඩායමේ සාමාජීකයෙකු වූ තිස්ස අබේසේකර මහතා වරක් මා හා පැවසුවේ එදා ජනාධිපතිතුමා දුන් විසඳුම පිළිබඳවයි.
එතුමා කියා ඇත්තේ මෙවැන්නකි.
“keep the best and burn the rest”
එනම්;‘හොඳ ඒවා තියාගෙන අනික් ඒවා ගිණි තියන්න’ යන්නයි.
මෙකී ගැටලුවට යම් විසඳුමක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව ද කිසියම් විකල්ප සිනමාහල් ජාලයක් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව අඩුම තරමින් ‘කලාත්මක’ යැයි හඳුන්වන චිත්‍රපටවලට හෝ යම් අවස්ථාවක් සැලසිය හැකි වේ.
‘තරංගනී’ සිනමාහල හැර වෙනත් එකදු සිනමාහලක් හෝ නොමැති ජාතික චිත්‍රපට සංස්ථාවට එයාකාරයේ විකල්ප සිනමා ශාලා ජාලයක් ක්‍රියාත්මක කරවීමට ඉහත සඳහන් කළාක් මෙන් ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? ඒවා මෙරට මෙන්ම විදේශීය උසස් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා උපයෝගී කරගත හැකි නොවේද? එකී සිනමාහල් වල පරිපාලන කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් ස්වේච්ඡා පදනම යටතේ යොදා ගැනීමට නොහැකිද? මේ සඳහා අවශ්‍ය නම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ජාතික තරුණ සේවා සභාව, පලාත් සභා හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යොදා ගත නොහැකිද?
එහෙත් මේවා හුදු සිහින පමණක් බැව් හැඟී යන්නේ මේ සියලුු ආයතන රජය යටතේ ක්‍රියාත්මක වුව ද ඒවා අතර අත්‍යාවශ්‍ය සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන නිසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ප්‍රතිපාදන මෙවන් කටයුත්තක් සඳහා යොදා ගැනීමට එරෙහිව ඇතැම් විට බලවත් විරෝධයක් පවා ගොඩනැඟීමට ඉඩ කඩ ඇත්තේ එය හුදෙක් ආගමික හා පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත දේ සඳහා උපයෝගී කර ගත යුතු අරමුදලක් පමණක් සේ සැලකීම නිසයි. මෙරට තිරගත කළ ප්‍රථම සිනමා කෘතිය සේ සැලකෙන ‘කඩවුණු පොරොන්දුව’ පවා ප්‍රදර්ශනය කළ කොටහේනේ ‘කිංග්ස්ලි’ සිනමා හල කලකට ඉහත පොළොවට සමතලා කරනු ලැබ ඇත. එයාකාරයෙන් ම බ්‍රිතාන්‍ය මහරැජීණ පවා පැමිණි, අවුරුදු සියයකට වඩා පැරණි කොළඹ ‘රීගල් ’ සිනමා ශාලාව ද මේ වන විට වසා දැමීමට කටයුතු කෙරෙමින් ඇති බව දැනගැනීමට ඇත. මේවා අප රටේ ජාතික උරුමයන් ලෙස සැලකිය නොහැකිද? ඒවා ආරක්ෂා කරගැනීම ජාතික උරුමයන් පිළිබඳ වගකීම දරණ ආයතනවල යුතුකම නොවේද? කලා සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය වැය කරන මුදල කිසියම් විදියකින් අපතේ යාමක් සිදුව ඇතැයි හැඟෙන්නේ එකම අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන පවා එකම කටයුත්ත කරන බවක් පෙනී යන නිසයි. සැම විටම සිදුවන්නාක් මෙන් රාජ්‍ය ආයතන විවිධ අමාත්‍යාංශ යටතේ විසිරී පැතිරී ගොස් තිබීමත් ඒවා අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති වීමත් එයට හේතුවයි.
නැටුම් ගැයුම්වලින් පිරි හුදු සම්මාන උත්සව වලට වැය කරන අති විශාල ධනස්කන්ධය ඒ ආකාරයේ වැඩ පිළිවෙලක් වෙනුවෙන් යෙදවීම සඳහා කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කිරීම හා එය ‘රජයේ සංස්කෘතික ප්‍රතිපත්තිය’ සමඟ අනුගත කිරීම අතිශයින් වැදගත් වේ. අඩුම තරමින් ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හෝ ආරම්භ කිරීමට රජය කටයුතු කරන්නේ නම් කෙතරම් වැදගත් වනු ඇතිදැයි කිවයුතු නොවේ. එහෙත් එය අතිශයින් දුෂ්කර කටයුත්තක් වනු ඇතිය යන්න මගේ විශ්වාසයයි.

සටහන - එම්.ඩී.මහින්දපාල
(ප්‍රවිණ සිනමා කැමරාකරණ ශිල්පී හා සිනමා ලේඛක හා දේශක)



