වීර, ක්‍රියාදාම, ප්‍රහසන සිනමාපට පාසලේ අවසන් වාරය නිමවී නිවාඩු පාඩුවේ විනෝදයෙන් සිටින නව යෞවන යෞවනියන්ගේ රසාස්වාදය අවදි කරන නිසාදෝ ‘ජුමන්ජි’ සිනමා පට තිරගත වන්නේ දෙසැම්බර් මාසයේදීමය. වනාන්තරය සමඟ බැඳී ඇති වීරත්වය, ප්‍රහසනය, මේ කතා මාලා වඩාත් ආකර්ෂණීය නිමැවුමක් ලෙසින් ප්‍රේක්ෂක සෙත් ඇද බැඳ තබා ගැනීමට මුල්වී තිබේ.
මුල් ම ජුමන්ජි සිනමාපටය තිරගත වූයේ 1995 වසරේ දෙසැම්බරයේය. ඇලන් පැරිෂ්ට ජුමන්ජි නම ඇති ක්‍රීඩා පුවරුවක් හමුවෙයි. කුතුහලයෙන් පිරී ගිය සිත් ඇති ඔහු සාරා මිතුරියට එය සමඟ සෙල්ලම් කරන ලෙසට බල කරයි. පුවරුවේ අංක කිහිපයක් පෙරළෙන විට ඇලන් සාරාගේ දෑස් ඉදිරියේම ජුමන්ජි නම් වනයට ඇදී යයි. ක්‍රීඩාව නිම කිරීමට බියවූ නිසා ඇලන්ට තවත් අලුත් ළමයින් දෙදෙනෙක් ක්‍රීඩාව කරන තුරු විසිහය වසරක් වනයට වී කල්ගත කිරීමට සිදුවිය. අලුත් ළමයින් දෙදෙනා ක්‍රීඩා කිරීම නිසා යළි ඔහුට නගරයට පැමිණීමට හැකිවිය. එහෙත් ඒ තනිවම නොවේ. ඔහු සමඟ සිටි ජුමන්ජිලා වන කිඹුලන්, අලින්, රයිනෝසරයන්, මකුළුවන් වැනි සතුන් සමඟයි. ඔවුන් නගරයෙන් ඉවත් කිරීමට නම් ඇලන් හා අලුත් ළමයින් දෙදෙනා, සාරා විසින් ක්‍රීඩාව අවසන් කරනු දැකිය යුතුය.
2017 උදාවූයේ 1995 ‘ජුමන්ජි’ විසි එක් වැනි සියවසට ගැළපෙන ලෙස නවීකරණය වෙමිනි. ගැටවරයන් සිව් දෙනෙක් පැරැණි වීඩියෝ ක්‍රීඩා පුවරුවක් සොයා ගනී. ක්‍රීඩාවේ නිරත වන විට ඔවුන් ද වනගත පරිසරයකට ඇදී යයි. ඔවුන් තමන් තෝරාගත් වැඩිහිටි අවතාර බවට පත්වේ. තමන් කළේ ජුමන්ජි ක්‍රීඩාව පමණක් නොව එයින් දිවි ගලවා ගැනීමට ද සිදුවන බව ඔවුන් තේරුම් ගනී. ක්‍රීඩාව පරාජය කොට තමන් ජීවත්වූ පරිසරයට පැමිණීමට ඔවුනට කිසිදිනක අත්විඳ නැති අති භයානක ක්‍රියාවලීන් රැසකට මුහුණ පෑමට සිදුවේ. ප්‍රධානම අභියෝගය වන්නේ විසි වසරකට පෙර ඇලන් පැරිෂ් තබා ගිය දේ සොයා ගැනීමයි. එසේ නොකළොත් ඔවුන්ට සදාතනිකව ක්‍රීඩාවේ සිරවූ ඉත්තන් වීමට වනු ඇත.
ජුමන්ජි : වෙල්කම් ටු ද ජන්ගල් ජේක් කැස්ඩන්ගේ අධ්‍යක්ෂණයකි. මෙය 1995 සිනමාපටයේ දෙවැන්න වුවද එහි එම සිනමා පටය හා සම්බන්ධ තැන් ඇත්තේ ඉතා සුළු වශයෙනි. නව ජුමන්ජි පළමු සිනමා පටයේ ඇලන් පැරිෂ් ලෙස රඟපෑ රොබින් විලියම්ස්ට උපහාර වශයෙන් ද නිපද වූවකි. රොබින් විලියම්ස් 63 හැවිරිදි වියේදී මානසික රෝගයක් නිසා සිය දිවි නසා ගත්තේය. රොට්න් ටුමැටෝස් ශ්‍රේණිගත කිරීමට අනුව 85% ක මනාපය සිනමා පටය තිරගත වීමට පෙරදී ම ඊට ලැබී තිබේ.
ජුමන්ජි - වෙල්කම් ටු ද ජන්ගල් දෙසැම්බර් 20 වැනිදා තිරගත වීමට නියමිතය. සිනමා පටයේ ක්‍රීඩා ලෝකයේ රඟන නළු නිළියන් සහ සැබෑ ලෝකයේ රඟන නළු නිළියන් වශයෙන් කොටස් දෙකක් ඇත. ක්‍රීඩා ලොවේ පුරාවිද්‍යාඥ ස්මෝල්ඩර් බ්රේව්ස්ටෝන් ලෙස රඟන්නේ ඩ්වෝන් ජොන්සන්ය. ඔහු ගවේෂකයකු සහ ස්පෙන්සර්ගේ අවතාරයද වෙයි. ජැක් බ්ලැක් මහාචාර්ය ෂෙල්ඩන් ලෙස රඟයි. ඔහු බෙතනිගේ අවතාරයයි. ෆ්රෑන්ක්ලීන් බවට පත්වන්නේ කෙවින් හාට්ය. මාතාගේ අවතාරය වන රූබි රවුන්ඩ්හවුස්ගේ චරිතය නිරූපණය කරන්නේ කැරන් ගිලන්ය. ජෙෆර්සන්, ජුමන්ජි ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන් බේරා ගන්නා අවතාරයයි. ඔශු නික් ජෝනස්ය. බොබී කැනවේල් නිරූපණය කරන්නේ ජෝන් හාඩින් වෑන් පෙල්ට්ගේ චරිතයයි. වෑන් පෙල්ට් මඟින් 1995 සිනමා පටයේ ජොනතන් හයිඩ්ගේ චරිතය නිරූපණය වේ. නයිගල් ලෙස රිස් ඩාබි ද සංජු සේ නුරාබ් කෝලි ද රඟති.
සැබෑ ලෝකයේ රංගන ශිල්පීන් ද ගණනාවකි. ඇලෙක්ස් වොල්ෆ්, අනුවණ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන ස්පෙන්සර් ගිල්පින්ගේ චරිතයට පණ පොවයි. බෙතනි වෝකර් නම් සුරූපී, උද්යෝගිමත් නව යෞවනිය බවට පත් වන්නේ මැඩ්සන් අයිස්මන්ය. ඇන්තනි ජොන්සන්, චරිතය සර්ඩේරියස් බ්ලේන් විසින් නිරූපණය කරයි. පොතට ම ඇළුණු ලජ්ජාශීලී මාර්තා, මෝගන් ටර්නර්ය.
1995 ජුමන්ජි ඩොලර් මිලියන 262.8 ක් තරම් වූ (නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 65) ඉහළ ම ආදායම් වාර්තාවක් පිහිටුවමින් තිරගත විය. එය ක්‍රිස් වෑන් ඇල්ස්බර්ගේ ඒ නමින් ම යුතු 1981 ප්‍රකාශිත ළමා කෘතිය ඇසුරින් නිර්මාණය වූවකි.
ජුමන්ජි දෙවැන්න පිළිබඳ කතාබහට මුල පිරුණේ 2012 ජූලි මාසයේදීය. 2015 දී ස්ථිරවම සිනමා පටය නිර්මාණය කෙරෙන බව සනාථ විය. 2016 දී රූගත කිරීම් ඇරැඹුණු අතර දෙසැම්බරයේදී සියල්ල නිම කෙරිණි. දෙසැම්බර් 20 වැනි දින පිච් පර්ෆෙක්ට් 3, ද ග්‍රේටස්ට් ෂෝමෑන් සමඟ ජුමන්ජි දෙවැන්න තිරගත කෙරේ.
මේ වනගත පුවත සමඟ සබැඳී සිනමාපටය තරමට ම රසවත් කතා එකතුවකි. කෙවින් හාට් රංගවේදියාට ජුමන්ජි වෙල්කම් ටු ද ජන්ගල් එතරම් රසබර අත්දැකීමක් නොවුණේ රූගත කිරීම් කළ හවායි දූපතේ සිටි මකුළුවන් සහ සන්ධි පාදකයන් නිසයි. ඔහු කිසිසේත් ම කැලයට අලුම් කරන්නෙක් ද නොවේ.
රූගත කිරීම් කෙරුණේ හවායි දූපතේ වුවද සිනමා පටය නරඹන්නකුට සිතෙන්නේ එය අප්‍රිකානු වනාන්තරයක් බවය. රොබින් විලියස්ම්ගේ සිය දිවි නසා ගැනීමෙන් පසුව වැඩි දෙනෙක් චෝදනා කළේ 1995 ජුමන්ජි සිනමා පටයටයි. එනිසා 2017 තිරගත වන දෙවැන්න ඔහුට උපහාර පිණිස නිර්මාණය කෙරිණි. මේ වන විට ජුමන්ජි තෙවැන්නකට පිඹුරුපත් සැකසෙමින් පවතී.
බොක්ස් ඔෆිස් වාර්තා පිහිටු වූ කොංග් - ස්කල් අයිලන්ඩ්, එක්ස් - මෙන්, ෆර්ස්ට් ක්ලාස් වැනි සිනමාපට ගණනාවකම සංගීත සංයෝජකයා වූ හෙන්රි ජැක්මන් මේ සිනමා පටයට ද සංගීතය සපයයි. ජුමන්ජි දෙවැන්න සෝනි පික්චර්ස් එන්ටර්ටෙයින්ට්මන් බෙදා හැරීමකි. 2017 වසරේ තිරගත වූ පුදුම සහගත, කුතුහලය අවුලන සිනමාපට අතරින් අංක එකේ සිටින බව බොහෝ විචාරකයන්ගේ අදහසයි.
චම්පිකා දීපානි