අමිල කලාකෘති රැසකට නවාතැන් සැපයු නොත්‍ර දාම්
මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ, කලාකෘති විශාල ප්‍රමාණයකට නවාතැන් සැපයු පැරිස් නුවර නොත්‍ර දාම් දේවස්ථානයේ පසුගියදා හටගත් ගින්න නිසා, මේ අග්‍රගණ්‍ය නිර්මාණ සදහටම මෙලොවට අහිමි වේ යැයි බොහෝ දෙනකු බියෙන් පසුවිය විය.
ගොතික් ශෛලියට අනුව නිම කළ නොත්‍ර දාම් හි වහලට යොදා තිබූ දැවමය නිර්මාණ කොටස් සම්පුර්ණයෙන්ම පාහේ ගින්නෙන් අළු වී ගිය අතර ඒවා 13 වැනි සියවස දක්වා අතීතයකට හිමිකම් කියනු ලැබී ය. කෙසේ වෙතත් ගලින් කරන ලද නිමවුම් සුරක්ෂිතව ඇති බවයි දේවස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ආරක්ෂා වූ කලා නිර්මාණ
අති පුජනීය වස්තුවක් ලෙස දේවස්ථානය විසින් සලකනු ලබන යේසුස් වහන්සේ හිස ලූ කටු ඔටුන්න ගින්නෙන් ආරක්ෂා වී තිබෙනවා. එසේම Tunic of Saint Louis ඇතුළු ප්‍රධාන කෞතුක භාණ්ඩ ද සුරක්ෂිතව ඇති බව යි දේවස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Mays de Notre Dame නම් සිතුවම ඇතුළු සැලකිය යුතු කලාකෘති ප්‍රමාණයක් ඉදිරි දිනවලදී සුප්‍රකට ලූව්ර කලාගාරය වෙත ගෙන යාමට කටයුතු මේ වනවිට සුදානම් කර තිබෙනවා. ඒවායෙහි ආරක්ෂාව ලූව්ර කලාගාරය වෙත බාර දෙන බවයි දේවස්ථාන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටින්නේ. නොත්‍ර දාම් හි ඉදිරිපස ගොඩනැගිල්ල සහ ඝන්ටාර කුළුණු දෙක ද ගින්නෙන් ආරක්ෂා වී ඇති අතර 13 වැනි සියවසේ ඉදිකළ රෝස කවුළු ද ගින්නෙන් ආරක්ෂා වී තිබෙනවා.
එසේම මධ්‍යකාලින යුගය දක්වා අතීතයකට හිමිකම් කියන ලෝක ප්‍රකට වූ දේවස්ථාන ඕගනය සුරක්ෂිතව ඇති බවත්, ගින්නෙන් කඩා වැටුණු වහල කොටසෙහි මුදුනෙහි සිටි තඹ කුකුළා ද පසුව සොයා ගැනීමට හැකිවූ බවත් වාර්තා වෙනවා. මිට අමතරව මූර්ති, පිළිම සහ සිතුවම් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වීමට නොදී ආරක්ෂා කරගැනීමට හැකි වූ බව යි වාර්තා වන්නේ.
ආධාර යුරෝ මිලියන 650 ඉක්මවයි
ගින්නෙන් විනාශ වූ නොත්‍ර දාම් දේවස්ථානය යළි ගොඩනැගීමට ලබා දුන් ආධාර යුරෝ මිලියන 650 ඉක්මවා ඇති බව එක්සත් රාජධානි ඩේලිමේල් පුවත්පත වාර්තා කරනවා. ප්‍රංශයේ ධනවත්ම පුද්ගලයා වන බර්නාඩ් ආර්නොල්ට් යුරෝ මිලියන 200ක මුදලක් ලබා දීමත් සමඟ ලබාදුන් ආධාර මුදල් ප්‍රමාණය යුරෝ මිලියන 650 ඉක්මවූ බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිතුවමින් උපහාර දක්වයි
වසර 850ක දිගු ඉතිහාසයක් ඇති නොත්‍ර දාම් දේවස්ථානයට ගෞරව උපහාර දක්වමින් නිර්මාණ ශිල්පින් ඇඳි සිතුවම් කිහිපයක් මීළඟට මිරර් ආට්ස් අපි ඔබ වෙත ගෙන ඒමට සිතුවා. මේ සිතුවම් බොහොමයක ප්‍රංශ සාහිත්‍යධර වික්ටර් හියුගෝ රචිත The Hunchback of Notre Dame කෘතියේ එන ක්වාසිමොඩෝ නම් චරිතය දක්නට ලැබීම විශේෂත්වයක්.
https://mirrorarts.lk/featured/5104-nd-n-190417#sigProIdc4e2f34adb