සත්‍යා චෞද්රි අසාධ්‍ය පිළිකා තත්ත්වයකින් පීඩා විඳීන තැනැත්තියකි. ඇය සිය ළමා කල හොඳම මිතුරිය රූප් ගෙන් ඉල්ලා සිටින්නේ, තම වියෝවෙන් පසු සැමියා දේව් සමඟින් විවාහ වී ඔහු රැකබලා ගන්නා ලෙසයි.
රූප් එයට එකඟ වේ. නමුත් විවාහයෙන් පසු දේව් රූප්හට පවසන්නේ මෙම විවාහය ආදරයක් නොමැති ගෞරවය පමණක් ඇති විවාහයක් බවයි. එයින් කැලඹීමට පත් වන රූප් සංගීතයෙන් සැනසීම සොයා යයි. ඇය සංගීතය හදාරන්නේ, ගණිකා මඩමක හිමිකාරිය වන බෙහාර් බෙගම් නම් කාන්තාවක ගෙනි. සිය සැමියාගේ ප්‍රකාශන ආයතනයේද සේවය කරන රූප් ගණිකා මඩම ආශ්රිත කලාපය පිළිබඳ ලිපි මාලාවක් ලිවීමට පටන් ගනී. මෙම කාරණයේදී ඇයට සල්ලාල ජීවිතයක් ගත කරන කම්මල්කරුවකු වන සෆාර් මුණ ගැසේ. රූප්, බෙහාර්, සෆාර්, දේව් මෙන්ම බල්රාජ් චෞද්රි යන අයගේ ජීවිත එකිනෙක බැඳී ඇත්තේ කෙසේ ද? ඉදිරියේදී ඔවුන්ගේ කතාව කුමන දිසාවකට ගමන් කරනු ඇති ද?
ඉන්දීය නිදහසට පෙර අවධිය (1945 පමණ කාලය) පසුබිම්කර ගත් පසුගිය අප්‍රේල් 17 වැනිදා තිරගත වීම ආරම්භ කළ Kalank හින්දි චිත්‍රපටය දිග හැරෙන්නේ මෙලෙසිනි. බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන පෙළේ නළු නිළියන් සය දෙනෙකුගේ රංගනයෙන් ඔපවත් වන මෙම සිනමා නිර්මාණයේ මධුරි ඩික්සිත් බෙහාර් බෙගම් ලෙසත්, සෝනක්ෂි සිං සත්‍යා චෞද්රි ලෙසත්, ආලියා භාත් රූප් ලෙසත්, වරූන් ධවාන් සෆාර් ලෙසත්, ආදිත්‍ය රෝයි කපූර් දේව් ලෙසත් පණ පොවන අතර සංජේ දත්, බල්රාජ් චෞද්රි ලෙස රංගනයෙන් දායක වී සිටිති. 90 දශකයේදී බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් පෙම් යුවළක් ලෙසින් Saajan, Thanedaar සහ Khalnayak වැනි චිත්‍රපට වලින් පසුව සංජේ දත් සහ මධුරි ඩික්සිත් රිදි තිරයේ එකට දක්නට ලැබෙන්නේ වසර 25ට පමණ පසුව වීමත් මෙම චිත්‍රපටයේ විශේෂත්වයකි. Saajan චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දෙදෙනා ප්‍රේමයෙන් බැඳී සිටි අතර 1993 වසරේදී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට අදාළ චෝදනා මත සංජේ දත් අත්අඩංගුවට පත්වීම සමඟින් එම සබඳතාවයට තිත තැබුණි.
Kalank චිත්‍රපටය මීට වසර 15ට පමණ පෙරදී කරන් ජොහාර්ගේ පියා යෂ් ජොහාර්ගේ බලාපොරොත්තුවකි. යෂ් ජොහාර් එහිදී බෙහාර් බෙගම් චරිතයට තෝරාගෙන තිබුණේ ශ්‍රී දේවිය. නමුත් ඇයගේ අකල් වියෝව හේතුවෙන් එම චරිතය භාර වූයේ මධුරි වෙතටයි. Jodhaa Akbar, My Name Is Khan, Student of the Year වැනි චිත්‍රපටවල සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ අභිෂේක් වර්මන්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය Kalank චිත්‍රපටය යි. අර්ජුන් කපූර් සහ ආලියා භාත් රංගනයෙන් දායක වූ 2 States අභිෂේක්ගේ කුලුඳුල් බොලිවුඩ් අධ්‍යක්ෂණය යි.
කරන් ජොහාර්, සජිද් නදියද්වාලා, හිරූ ජොහාර් සහ අපූර්වා මෙහ්තා විසින් නිෂ්පාදනය කර ඇත. ප්‍රීතම් විසින් මෙහි ගීතවල සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර සංචිත් බල්හාරා විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත. ශ්‍රෙයා ගෝෂාල්, අර්ජිත් සිං, නීති මෝහන්, ජාවද් අලි ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනයෙන් දායක වීය. පසුගිය සතියේ අන්තර්ජාලය වෙත මුදා හැරුණු"Aira Gaira" නම් සමූහ නර්තනයකින් යුතු ගීතය මේ වන විට මිලියන 18ක තරම් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගන්නට සමත් වී තිබේ. ක්‍රීති සැනොන්, ආදිත්‍ය රෝයි කපූර් සහ වරුන් ධවාන් එම ගීතය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දී ඇත.
මෙම චිත්‍රපටයේ මධුරි ඩික්සිත් වැඩි කතාබහක් නොමැති ගැඹුරු චරිතයකට පණ දී තිබෙන බව පැවසෙන අතර ඇයගේ නර්තනයකින් ඔපවත් වී තිබෙන "Tabaah Ho Gaye" නම් ගීතයේ කොටසක් ඉකුත් සතියේ අන්තර්ජාලයට මුදාහැරීම සමඟින් පරම්පරා ගණනක රසික රසිකාවන් අතරේ එය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.
යතේජා ඥානරත්න
සරසවිය