lan englan tam

ආදරයේ නොකියවූ පරිච්ඡේදය “නීරා” දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘විසල් ආදරේ’ වැනි ආදරණීය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ “නීරා” නවතම සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී දැන් තිරගත වෙනවා.

ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වෙනවා.

‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.

 

මතු දැක්වෙන්නේ ‘නීරා’ චිත්‍රපටය ගැන “Blu Berry” ෆේස්බුක් පිටුව හරහා පළවූ රසවත් සටහනක්.

(උපුටා ගැනීම)

අද 'නීරා' බැලුවා. බදාගෙන හාදුවක් දෙන්න හිතෙන තරමේ 'හොඳ' අවසානයක් එක්ක තිර පිටපත ලිව්ව එක ගැන සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට ස්තූතිවන්ත වෙනව මුලින්ම. ඒත් එක්කම, තමන්ගේ කලින් චිත්‍රපටි දෙක ම අභිබවා යන මට්ටමේ තුන්වෙනි නිර්මාණයක් කරන්න මහන්සි වුණ වාසව බදුගේට සුබ පතනව නීරාවත් බොක්ස් ඔෆිස් වාර්ථා අතරට අරගෙන යන්න ලැබේවා කියල!

චිත්‍රපටියේ කතාව ගැන අබමල් රේණුවක දෙයක් මෙතන ලියන්න අදහසක් නැහැ මට. නමුත් අයිති කරගන්න හෝ අයිති වෙන්න කිසිම ඉඩක් නැති බව දැන දැනත් මව්වත් ගුණ පෑව පිරිමි දෙන්නෙක් ම ජීවිතේ හිටිය 'රශ්මි' කෙනෙක් විදිහට, සීට් එක ඇතුළට ගිලා බහින තරමට ම බරපන්තියෙන් වැදුන දර්ශන කිහිපයක් තිබුණ බව කියන්න ඕනේ. සහ චිත්‍රපටියේ සමහර සිදුවීම් නිසා සංවේදි පාර්ශව කම්පනයට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා watch at your own risk කියල අනතුරු අඟවන්නත් කැමති.

සුමිත්‍රා රාහුබද්ධ වගේ ප්‍රවීණ ලේඛිකාවක් අතට තිර පිටපතේ බර පවරල ලබපු නිදහස නිසා ද මන්දා, වාසව සිනමාකරණය ගැන (වැඩි ද කියලත් හිතෙන තරමේ) විශාල අවධානයක් දීලා තිබුණා. සමහර දර්ශන සුරංගනා කතාවක් වගේ පුදුම ලස්සන යි. ඒ ලස්සන ඕවර්ඩෝස් වුණ තැන් දෙක තුනකුත් නොතිබුණා නෙමෙයි. නමුත් සමස්තය ගැන ප්‍රේක්ෂකයෙක් වශයෙන් මම තෘප්තිමත්.

වාසවගේ පළවෙනි චිත්‍රපටිය, ආදරණීය ප්‍රාර්ථනා තනිකර දිව්වේ යසස් මැදගෙදරගේ සංගීතයට පිහිටවෙන්න. නමුත් යසස්ව පළිහ විදිහට පාවිච්චි නොකර, සිංදුවලින් දුවන නිර්මාණයක් වෙනුවට නිර්මාණයේ රස උළුප්පන්න සංගීතය යොදාගන්න තරම් වාසව පරිණත වෙලා තිබුණා නීරා ඇතුළේ. ඒ වගේ ම සංගීත අධ්‍යක්ෂකවරයා වුණ යසස් මැදගෙදර, 90 දශකේ ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන්න පුළුවන් දහන් ගැට සියල්ල (කපටි කෛරාටික විදිහට) නිර්මාණය ඇතුළට උස්සගෙන ඇවිත් තිබුණා. සමාවෙන්න ඕනේ ස්පොයිල් කරනව නම්, නමුත් මල්ගුඩියේ සද්දෙත් ඔයාට නීරා ඇතුළේ ඇහුනොත් පුදුමවෙන්න එපා!

ප්‍රියසාද් පවුල ගැන ඔයාට විවේචන තියෙන්න පුළුවන් ඉහටත් උඩින්. නමුත් ශනුද්‍රි නිළියක් විදිහට පවතින්නේ එයාගේ පවුලේ කලා සම්බන්ධකම් නිසා කියල හිතෙනව නම්, මං යෝජනා කරනවා ඔයාට වහාම ගිහින් නීරා බලන්න කියලා. තමන් කොයිතරම් දක්ෂ රංගන, නර්ථන ශිල්පිනියක් ද කියන කාරණාව ශනුද්‍රි නැවත නැවතත් නීරා හරහා ඔප්පු කරනවා. ඉටි රූපයක් වගේ හැඩ ගෑනු ළමයෙක්ගේ රූපේ විනාස නොකර, එයාව දේවදූතියක් තරම් ලස්සනට තිරයට අරගෙන ආව කැමරාව පිටිපස්සේ හිටිය වාසලටත්, පින්සල පිටිපස්සේ හිටිය වේශ නිරූපණ ශිල්පියටත් මගේ ආදරය!

සෙනිත්ව මුලින්ම දකින්නේ ටික්ටොක් හරහා. තත්පර ගාණක විඩීයෝ කෑල්ලක් තුන් හතර පාරක් බලන්න පොළඹවපු නිවුණ රූපයක් එක්ක අහිංසක හිනාවක් එයාට තිබුණා. ටික්ටොක් එකේ අහම්බෙන් දැකපු පිරිමි ළමයා ඊට මාස කිහිපයකට පස්සේ චිත්‍රපටි ට්‍රේලරේකින් දකින්න ලැබුන ම මම පුදුමත් වුණා, "නළුවෝ නැතුව ද ටික්ටොක් කොල්ලෙක් ගත්තේ වාසව!" කියල හිතලා. නමුත් සෙනිත් කියන්නේ ලංකාවේ සිනමාවට ගැළපෙන රූපයක් වගේ ම පෞරුෂයක් තියන දක්ෂ ශිල්පියෙක් බව මට තේරුණේ අද එයාව පුළුල් තිරයේ දකිද්දි. තමන්ගේ පළවෙනි (?) රංගන අභියෝගයට සාර්ථකව මූණදුන්න සෙනිත්, තාත්විකව අඬන්න වගේ ම තාත්විකව කේන්ති ගන්නත් තව ටිකක් ඉගෙනගන්න ඕනේ කියල මම හිතනව. හොඳ හැදෑරීමක් එක්ක තව ලොකු දුරක් කලාව ඇතුළේ යන්න සෙනිත්ට සුබ පතනවා.

ප්‍රධාන චරිත දෙකට අමතරව මගේ අවදානය වැඩියෙන් ම දිනාගත්තේ නැන්දම්මගේ චරිතෙට පණ පොවපු කෞෂල්‍යා ප්‍රනාන්දු. වසරේ හොඳ ම නැන්දම්මා වගේ සම්මානයක් දෙන්න හිතාගෙන ඉන්නව නම් කවුරුහරි කෙනෙක්, ඒක සුනිලා අම්මට තමයි නිතරඟයෙන් යන්නේ! ඒ දෙබස් ටික කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රඟපෑම ගැන කතා කරන්න තරම් වටින මනුස්සයෙක් නෙමෙයි මම.

චිත්‍රපටියේ ඇඳුම් පැළදුම් තේරුව කෙනා කවුද? කවුරු වුණත් හොඳ ඇහැක් තියන කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්‍යෙන් ම! ඒ ඒ චරිතවලට උපරිම සාධාරණයක් වෙන විදිහට වර්ණ ඇතුළු සියලු නිර්ණායක සලකල බලලා තේරීම් කරල තිබුණා. ඇඳුම් පැළඳුම්වල ලස්සන උපරිමෙන් ම මතු කරන්න, වේශ නිරූපණ ශිල්පියගෙනුත් උපරිම සහයෝගය ලැබිල තිබුණා. උදාහරණයක් විදිහට කතාව පටන් ගද්දි ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමේ උන් ටික, ඇත්ත උන් වගේ ම බොහොම තාත්වික හඩු පාටකින් නිර්මාණය ඇතුළට අරගෙන ඇවිත් තිබුණා. ඒ කොටසම ඇති ඇඳුම් නිර්මාණයේ සහ වේශ නිරූපණයේ ගුණාත්මකභාවය ගැන නිගමනේකට එන්න.

නීරා කියන්නේ වාණිජ චිත්‍රපටියක්. ඒ බව ඔළුවේ තියාගෙන ගිහින් බැලුවොත් සෑහෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් නිර්මාණයක් ඔයාට දකින්න ලැබෙයි. ඉදිරිපත් කරල තියන විදිහ නැවුම් වුණාට අපි හැමෝම කලින් දැක්ක කතාවක් තමයි චිත්‍රපටිය ඇතුළේ තියෙන්නේ. ඒ හේතුව නිසා ම තව දවස් කිහිපයක් ඇතුළත මහ පරිමාණෙන් ස්පොයිල් වෙන්න නියමිත යි. පරක්කු නොවී ගිහින් බලන එක මොකටත් හොඳයි.

 (මෙම සටහන "Blu Berry" ෆේස්බුක් පිටුව ඇසුරිනි.)

 

"නීරා" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom