lan englan tam

වහා නොබිඳිය යුතු අලුත් මකුළු දැලකි - මධුශාන්ත බණ්ඩාර ( poetry collection))

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-චූලානන්ද සමරනායක -

එක්ටැම් ගෙය යනු සියුම් අරුත් මතු කරනා රූපකයකි.

එය එක් අතකින් සිපිරි ගෙයක් බඳුය. උන්මාද චිත්‍රා සිර කරන ලද්දේ එහිය. එහෙත් පෙම වලකන්නට ඒ එක්ටැම් ගෙයට හැකිවූවේද නැත. එක්ටැම් ගෙයක් ලෙස දක්වන තවත් ඉදිකෙරුමක් ඇත. ඒ ප්‍රදීපාගාරය නමි. එක්ටැම සහ ප්‍රදීපාගාරය එකට වෙලන ලද්දේ එනමින්ම නිපදවන ලද සිනමා පටයයි. එය අයිති වනුයේද අතීතයටමය. ඉදින් මේ එක්ටැම සහ ප්‍රදීපාගාරය නව කවියකුගේ නිර්මාණයට විෂය වෙයි. ඔහු එක්ටැම නැතිනම් ප්‍රදීපාගාරය තුළින් විමසනුයේ මිනිස් ස්වභාවයෙහි ඇති විෂම හැසිරීම් ය. එක්ටැම අකම්පිතය. එය අනෙකාගේ ප්‍රතිචාර නොතකා සිය මෙහෙවර ඉටු කරයි. ඒ සයුරෙහි අතරමං වීමට යන නැතිනම් මග සොයන යාත්‍රාවනට පිහිට වීමය. එහෙත් මෙසේ පිහිට ලබනා යෝධ නැව් පෙරලා ප්‍රදීපාගාරය සමච්චලයට ලක් කරයි. ඒ අතර මේ කුළුණු ගුන සහිත ටැම කුඩා ඔරු වෙත නිබඳ පිහිට සලසයි. කවියා මේ රූපකය හරහා මිනිස් හදවතෙහි සුන්දර පාර්ශවයක් විවරණය කරන අතරම ප්‍රේමය නම් මිනිස් හැඟුමෙහි සංකීර්ණත්වයද සිතුවම් කරයි.

හිත මතක ගනුදෙනු සඟවගෙන

අඳුරු එක්ටැම් ගෙයක මුල්ලක

ඈත යන නැව් දෙසම බල බල

පාර පෙන්වයි එන්න වෙරළට

දියඹෙහි සරන කුඩා ඔරු වෙරළ සොයාගන්නෙ එහි එළියේ පිහිටෙනි.

බොහෝ දෑ හිත තුළ දියව ගිය

එළිය ලෙස නික්මෙයි දියඹ වෙත

කුඩා ඔරු මග නොදැන පාවෙන

පිං දිදී එයි නිබඳ වෙරළට

එහෙත් යෝධ නැව් වනාහී උඩඟු වස්තූන්ය.

ඔය එළිය මට අරුමයක් නොව

දැක තිබේ එක්ටැම් ගෙවල් මම

කියූ ළඟටම ආ නැවක් යයි

උඩඟු කොඩියක් සුළඟෙ වන වන

 

මධුශාන්ත යනු ව්‍යාංගාර්ථවත් බසක් කෙරේ දැඩි ආශක්ත බවක් දක්වන්නෙකි. ඔහුගේ සෑම කවියකම දක්නට ලැබෙනුයේ ඒ ලක්ෂණයයි. වහා නොබිඳිය යුතු අලුත් මකුළු දැලකි මැයෙන් එන කවද මෙපරිදිම ව්‍යංගාර්ථවත් බසක් කෙරේ විශ්වාසය තබන්නකි. මකුළු දැල් කඩා අලුත් වන්නට තැත්ත දරනා පැරණි නිවසක් සහ ඒ මකුළු දැල් කඩනා මෙහෙයුම් දෙස නිරීක්ෂණාක්ෂියෙන් පසුවන කථකයා ගේ සිතුවිළි දිගහැරුම නැවුම් බවක් දනවන කාව්‍යෝක්ති නිපදවන්නට ඔහු දරන උත්සාහයට සාක්ෂි සපයයි. සිය පැවැත්ම අහිමි කරනු ලබනා මකුළුවා සහ එ දෙස බලා හිඳිනා හුදෙකලා කථකයා සමපාත කරනා අවසානය මෙපරිදිය.

ඇඳෙ හිඳ නෙත් යොමමි වහලට

පෙනේ හිස් අවකාශයක් මට

තනිවෙලා ඉන්නා මකුළුවාට

නොමැත හිත දැල් තවත් වියනට

 

බහුභාණ්ඩික ලෝකයක තරගකාරී ජීවන අරගලය යනු සෑම නිමේෂයක් පාසාම අපට අප අහිමි කරවමින්, අනෙකා අපෙන් ඈත් කරවමින් මිනිසා හුදු වියරු යන්ත්‍රයක් බවට පත් කරන්නකි. මිනිසා යනු ඒ තමන් සතුට සොයා යන්නේ යයි විශ්වාස කරමින් ඒ යන්ත්‍රගත ජීවිතය බදා වැළඳ ගන්නෙකි. ඒ යන්ත්‍රය වරක් පණ ගැන්වූ පසුව නැවතුමක් නැත. දළඹුවා ගොඩනැගිලි මුදුනටම නැග්ගා යනුවෙන් රචිත කවිය තුළ කවියා මේ කටුක පැවැත්මේ විසුළු ස්වභාවය මතුකර දක්වයි.

බිල්ඩිමේ කවුළුව තුළින් නෙත යොමා බැලුවොත් පෙනේ

කෝෂගත දළඹුවන් කොම්පියුටර් මුවට නෙත දල්වතේ

ගොරවමින් වැහි හතක් වැස්සත් නොමදැනේ එළි පහලියේ

හෙට උදෙත් යළි සිනාසීගෙන සිතිජයෙන් ඉර මල පිපේ

 

තරුණ කවියකුට මගහැර යානොහැකි දෙයක් වෙත්නම් ඒ ප්‍රේමයමය. වර්තමාන කවියට වැඩියෙන්ම විෂය වනුයේද ප්‍රේමය සහ වියෝගයමය. මේ දෙක අතර සැමවිටම තරගයකි. නිම නොවනා තරගයකි. එහෙයින් මේ හැඟුම විෂය කරගන්නා කවිය බොහෝ විට ඕලාරික වෙයි. කවියෙන් රසිකයා දුරස් කරන්නට ඒ බොහෝ සේ හේතු වෙයි. මෙය කවියෙහි මෙන්ම ගීතයෙහිද හොඳින්ම විද්‍යාමානය. මධුශාන්ත කවියා මා තුළ මහ මුහුද නම් කවෙහිදී මේ ප්‍රේමයෙහි අසිරිය වඩා සියුම් ලෙස විඳින්නට සහ සිතුවම් කරන්නට තැත් දරයි. හුදෙකලාවේ පෙමෙහි සුව විඳිනා දෙදෙනාගේ සිතුම් සහ දෙබස් මුහු කරමින් ඔහු ප්‍රේමය යන සංකල්පය විග්‍රහ කරන්නට තැත් දරයි.

කළු බිතු තිරය නමින් එන කවියද පොදු අත්දැකීමක් වෙනස් මානයකින් සිතුවම් කරන්නට කවියා දක්වන සමත්කම මතු කර දක්වන්නකි. දර ලිප් සහිත නිවෙස්හී කුස්සියේ ලිපට ඉහලින් බිත්තිය යනු නිබඳවම කලු පැහැය දරන්නකි. එය කෙතරම් සුදු කළද මද කලකින් යළි කලු සලුවම හඳියි. කවියා අප වෙත පැණයක් යොමු කරයි.

එම කොටස කලු වුනේ

තුන් ගල් ලිපේ පිච්චෙන

දර ශෝකය දැනීමෙන්ද?

 

කවියා ඉන්පසුව ලිපෙහි ක්‍රියාකාරීත්වය වෙතින් මෑත්ව ලිප ගිනි දල්වන්නිය වෙත යොමු වෙයි.

වේලකට හාල් හුණ්ඩුවක්

නැතිකමින් ළතැවෙන

ගැහැනියක දුටිමි

හිරමණය මත වාඩි වී

දුක් සුසුම් ලන

ඇගෙ සුසුම් හඩ ඇසිණි

බිත්ති අතර තෙරපෙන...

 

අපේ දේශපාලනය යනු රැවටිල්ල සහ වංචාව පදනම කොට ගත්තකි. රැවටීම සහ රැවටීමට ලක්වීම දෛනික සම්ප්‍රදාය බවට පත්ව තිබේ. තමන් රැවටෙන බව දැන දැනම උගුලට පා තබන, අනෙකා රැවටීම පහසු බව දැන ඒ ක්‍රීඩාව ජයටම පවත්වාගෙන යන සමාජයක සිංහ හම පොරවා ගත් බැටළුවන්ගේ දඩ කෙළිය උත්කර්ෂවත්ය. කවියා මේ උත්කර්ෂවත් දඩ කෙළියෙහි තතු මතු කරලන්නේ ඊට ගොදුරු වන්නන් දෙස රසික අවධානය ඉල්ලා සිටිමිනි. මේ දඩ කෙලියෙහි අවසානයේ රවටනු ලබන්නවුන් සහ බෙදී වෙන්ව සිටිනා සමාජය කවියා අපට ගෙනහැර පාන්නේ මෙලෙසිනි.

අපේ බැටළුවන් ගොදුරු කර

උන්ගේ සාගින්න නිවාගනු ඇත

අපිට වී ඇටයක් දෙනු ඇත

අපි වී කුරුල්ලන්ය

ඒ ඒ අත්තේ වහපු

කවියා ව්‍යංගාර්ථවත් බසක් කෙරේ වැඩි රුචියක් සහ විශ්වාසයක් තබන බවක් පෙනෙන බව මුලදීම කීවෙමි. එහෙත් කවියා එහිදී පරෙස්සම් විය යුතු ස්ථානයක්ද තිබේ. ඒ කවියෙහි ව්‍යංගය මගින් තමන් මතු කරන්නට තැත් දරනා අර්ථය ව්‍යාකූල හෝ යටපත් නොකරනු පිණිසය.

 

327450950 1606072656575347 1180435109958596956 n 1

සටහන - චූලානන්ද සමරනායක 

 (ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක)

(මෙම සටහන 'Chulananda Samaranayake' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom