Udithe Lakmal Kahadawaarachchi
ආසියානු මහාද්වීපය තුළ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතුරින් දැවැන්තම හෙවත් සුවිසල්ම උළෙල ලෙසින් වර්ගීකරණයන්ට හා ශ්‍රේණිගතකිරීම් වලට ලක්වන්නේ දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලයි (BUSAN INTERNATIONAL FILM FESTIVAL).
ආසියානු කලාපීය නිර්මාණකරුවන්ගේ චිත්‍රපට උදෙසා මූලික අවධානය ලබා දීමේ අරමුණින් 1996 වර්ෂයේදී ඇරඹි බූසාන් උළෙලේ 30 වෙනි අදියර පසුගිය 17 වෙනිදා ආරම්භ වූ අතර එහි සමාප්තිය අද දිනයේදී (26 වෙනිදා) සනිටුහන් වීමට නියමිතය. සැලකියයුතු මට්ටමේ ව්‍යුහාත්මක වෙනස්කිරීම් සමග ඇරඹි 30 වෙනි අදියර, තරගකාරී අංශ 04 ක් ඇතුළුව සිනමා අංශ 23 කින් සමන්විතවන අතර, එහිදී උළෙලේ ප්‍රධානතම තරග අංශය (MAIN COMPETITION SECTION) යටතේ උළෙල නියෝජනය කිරීමට කාන් සම්මානලාභී විමුක්ති ජයසුන්දරගේ "සාංකා" (SPYING STARS) නම් වූ චිත්‍රපටය සමත්ව තිබේ.

උළෙලේ ප්‍රධානතම තරග අංශයේ තරගකාරිත්වය අසියානු කාලපීය රටවල සිනමාකරුවන්ට සීමාවීම හෙවත් විශේෂිකරණය වීම නිසාවෙන්, 'ෆිඇප්ෆ්' (FIAPF) "II කාණ්ඩ වර්ගීකරණයට යටත් තරගකාරී වෘත්තාන්ත සිනමාපට උළෙලක්" හෙවත් "තරගකාරි විශේෂිත වෘත්තාන්ත සිනමාපට උළෙලක්" (COMPETITIVE SPECIALIZED FEATURE FILM FESTIVAL) ලෙසින් බූසාන් සිනමා උළෙල වර්ගීකරණය වේ.
1996 වසරේ සිට 2024 වසර දක්වා අසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන්ගේ කුලුඳුල් සහ දෙවෙනි සිනමා නිර්මාණ උදෙසා පමණක් උළෙලේ ප්‍රධානතම තරග අංශය විවෘත වූ අතර, ඒ අනුව නවක නිර්මාණකරුවන් ලෙසින් ප්‍රසන්න විතානගේ 1996 දී (අනන්ත රාත්‍රිය), ලින්ටන් සේමගේ 1999 දී (පාදඩයා), අරුණ ජයවර්ධන 2011 දී (නිකිණි වැස්ස), සංජීව පුෂ්පකුමාර 2016 දී (දැවෙන විහඟුන්) සහ සුබා සිවකුමාරන් 2018 දී (නොමියෙන මතකය) එකී තරග අංශය නියෝජනය කිරීමට සමත්වූහ.
2025 වසරේ සිට නවක- ප්‍රවීණ භේදයකින් තොරව ආසියානු කලාපීය ඕනෑම සිනමා අධ්‍යක්ෂකවරයෙකූගේ නිර්මාණයක් උදෙසා උළෙලේ ප්‍රධානතම තරග අංශය විවෘත වේ. ඒ අනුව විමුක්ති ජයසුන්දරගේ 05 වෙනි දීර්ඝ වෘත්තාන්න කේවල නිර්මාණය වන "සාංකා" ඇතුළුව ආසියානු කලාපීය අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ 14 ක් මෙවර උළෙලේ ප්‍රධානතම තරග අංශය යටතේ තරග වදී.
බූසාන් උළෙල දියත් කළ පළමු වසරේම (1996 දී) ශ්‍රී ලංකාව එහි ප්‍රධානතම තරග අංශය නියෝජනය කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක් ගෙනදෙන්නක් වන අතර, එසේම එකී අංශය යටතේ පිරිනැමූ "හොඳම ආසියානු නවක අධ්‍යක්ෂක සඳහා වූ ගෞරවනීය සඳහනකින්" (HONORABLE MENTION FOR BEST NEW ASIAN DIRECTOR) පිදුම් ලැබීමට ප්‍රසන්න විතානගේ ('අනන්ත රාත්‍රිය' තුළින්) එහිදී සමත්ව තිබීමද කැපී පෙනේ. එතැන් සිට 2024 දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපට 04 ක් උළෙලේ ප්‍රධානතම තරග අංශය නියෝජනය කිරීමට සමත්ව තිබුනද, එහෙත් එකී එකදු චිත්‍රපටයකට හෝ සම්මානයකට හිමිකම් කීමේ අවස්ථාව හිමි නොවුණි.
ඒ අනුව වසර 29 කට පසුව උළෙලේ ප්‍රධානතම තරග අංශය යටතේ පිරිනමන සම්මානයකින් පිදුම් ලැබීමේ අවස්ථා විමුක්ති ජයසුන්දර හරහා ශ්‍රී ලංකාවට හිමිවේද, නොවේද යන්න අද දින පැවැත්වෙන සම්මාන රාත්‍රියේදී දැක ගැනීමට හැකිවේ. ප්‍රධාන තරගකාරී අංශය යටතේ සම්මාන 06 ක් පිරිනැමීමට නියමිත අතර ඒ සමග පිරිනමන මූල්‍ය ත්‍යාගවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 24 කට හෙවත් කෝටි 2.4 කට ආසන්න වේ.
1996 වසරේ සිට 2025 වසර දක්වා ප්‍රධාතම තරග අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකේය චිත්‍රපට 06 ට අමතරව, තවත් ශ්‍රී ලාංකේය චිත්‍රපට 13 ක් නිළ තෝරාගැනීම් (OFFICIAL SELECTIONS) ලෙසද , චිත්‍රපට 03 ක් ආරාධිත චිත්‍රපට (INVITED FILMS) ලෙසද බූසාන් උළෙලේ "තරගකාරී නොවන අංශ" නියෝජනය කිරීමට සමත්ව ඇත. එයට අමතරව 2023 වසරේදී "කිම් ජීසෝක්" නම් වූ තරග අංශය (KIM JISEOK COMPETITION) නියෝජන කරමින් එකී අංශය යටතේ පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දියානු නිෂ්පාදනයක් වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "පැරඩයිස්" චිත්‍රපටය සමත්විය.
ශ්‍රී ලංකා- ප්‍රංශ- ඉන්දියානු සාමුහික නිෂ්පාදනයක් ලෙසින් එළිදකින "සාංකා" චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත්වේ. ඉන්දිරා තිවාරි, හිදායත් හසීර්, සෞම්‍ය ලියනගේ, කෞෂල්‍යයා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා යන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවෙන "සාංකා"හි සංස්කරණය සමන් ඇල්විටිගලගෙනි.
සටහන - උදිත ලක්මාල් කහඳවආරච්චි
@Udithe Lakmal Kahandawaarachchi
(මෙම සටහන 'Sri Lankans at International Film Festivals' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)











