lan englan tam

‘ගැහැණු ළමයි’ ගැන අශෝක හඳගම කියූ කතාව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රංශ තානාපති කාර්යාලයත් ලෙස්ටර් - සුමිත්‍රා පදනමත් එකතුවෙලා සංවිධානය කළ ‘ගැහැණු ළමයි’ චිත්‍රපටියේ ප්‍රතිෂ්ඨාපිත (restored) පිටපතේ විශේෂ ආරාධිත දර්ශනයක් පසුගිය දවසක Scope සිනමා සංකීර්ණයේ පැවැත්වුණා.

ඒක මුල් වරට ප්‍රදර්ශනය කෙරුනේ 1978 මාර්තු මාසයේ. ඒ කාලේ නිදහස්වෙන හැම චිත්‍රපටියක් බලන්නම පුරුදු වෙලා හිටපු අපි මේකත් බලන්න ඇති. ඒත් එහෙං මෙහෙන් ඇහැ ගැහුණු clips ඇරුණු විට චිත්‍රපටියක් හැටියට පොඩ්ඩක්වත් මතක නෑ. මේ ගැන අහල තියෙන කතා නම් අනුවේදනීයයි.

 

498214412 1632278221494084 5076262276283647181 n 1

 

‘ගැහැණු ළමයි’ සුමිත්‍රා ගේ පළමු චිත්‍රපටියයි. ඒක හරිම අව්‍යාජ චිත්‍රපටියක් කියලා හිතෙනවා. ඒක හදලා තියෙන්නෙත් ඇයට අයත් ඉඩමක් විකුණලාලු. තමන්ට කියලා දරු මුනුබුරන් නැති ලෙස්ටර් - සුමිත්‍රා යුවල කරලා තියෙන්නේ තමන්ට අයත් පාරම්පරික ඉඩකඩම් විකුණලා film හදපු එක තමයි.

 

eded0d60 30a8 11f0 8519 3b5a01ebe413.jpg ගැහැනු ළමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්

 

මේක වසන්ති චතුරාණි (කුසුම්) ගේ පළවෙනි චිත්‍රපටිය. අජිත් ජිනදාස (නිමල්) එතකොටත් යන්තම් නළුවෙක් වෙලා. කැමරා කරපු එම්. එස්. ආනන්ද ට තිබිලා තියෙන්නෙත් හොඳ ඇහැක්. චිත්‍රපටයේ රූප රාමු සංවිධානය (composition) හරිම මනස්කාන්තයි. ආනන්දගේ දියණිය ශ්‍යාමා ආනන්දත් එක ගැහැණු ළමයෙක්. දමයන්ති ජයසූරියත් එහි ගැහැණු ළමයෙක්. ජෙනීටා සමරවීර කුසුම් ගේ සොහොයුරිය. මේ සේරම ගැහැණු ළමයි අද හැට පැනලා. ඒ වුනාට ඒ කාලේ සිනමාවට නැවුම් මුහුණු.

 

gahanu lamai bbc web large

 

කුසුමුයි නිමලුයි ආදරවන්තයෝ. නෑකමින් නෑනයි මස්සිනයි. ඒ වුනාට නිමල්ගේ පවුලට යමක් කමක් තියෙනවා. කුසුම් ලාට එහෙම නෑ. ඒ හින්දා කවදාවත් ඒ දෙන්නා එකතු වෙන්නේ නැහැ. නිමල් එයාගෙ ගමන යනවා. විශ්ව විද්‍යාලයට ගිහින් පළමුව තමන්ගේ ඉස්කෝලෙම පත්වීමක් ලබනවා. දෙවනුව ඩී. ආර්.ඕ වෙලා ඒ ගමටම එනව.

කුසුම් මේ හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්නවා. (ඒ තමයි ඒ කාලෙ, ඒ කියන්නේ චිත්‍රපටයේ හැටියට හැට ගණන්වල, සමාජ යථාර්ථය.) ගැහැණු ළමයි චිත්‍රපටිය පටන් ගන්නේ එතනින්. තරුණ සුනිල් ආරියරත්න ලියපු වියෝ ගී ගැයෙනා හදේ…ගීතය නිමල් මෙන්ඩිස් ගේ සංගීතය මුහු වෙලා ඇහෙනවා. කාලය ඔහේ ගලාගෙන යනවා.

මේ චිත්‍රපටියට දායක වුණු හැමෝම ගැනම ඇති වන්නේ අසීමිත ආදරයක්. ඒ වගේම හොයාගන්න පුළුවන් හැම කොටසක්ම එකතු කරලා ප්‍රතිෂ්ඨාපනය කරන්න මහන්සි වූ හැමෝටමත් අපගේ ප්‍රණාමය. ඒ වගේම චිත්‍රපටිය ආයෙ පාරක් බලන්න අවස්ථාවක් දැන් ඉන්න ප්‍රේක්ෂකයින්ට ලැබෙනවා නම් වැදගත්.

 

සටහන - අශෝක හඳගම

මෙම සටහන - "Asoka Handagama" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

kemadasa

shungara

Back to top
Go to bottom