සමාජ මාධ්‍යයෙන් ද සෑහෙන තරම් ඈත් වී, මෙවැනි සටහන් නොලියවෙන තරම් ලීවීමේ වැඩක යෙදී සිටින කාලයක, ‘Father’ චිත්‍රපටය නැරඹූ වහාම ඒ ගැන මේ සටහන ලියන්නේ සෑහෙන කලකට පසුව බලන ලද හොඳ චිත්‍රපටයක් ගැන කිසිවක් නොලියා ඉන්නට බැරි නිසාය.
හොඳ චිත්‍රපටයක් විසින් ප්‍රේක්ෂකයෙකු තුළ අවුළවනු ලබන කම්පනය පිළිබඳ එය ම හොඳ සාක්ෂියකි.

මුලින්ම කිව යුත්තේ මෙහි ප්‍රචාරණ කටයුතු ගැන එතරම් පැහැදීමක් නොතිබුණු බවයි. එහෙත් ඒ කුමක් ඔළුවේ තබාගෙන ගියා වුවද චිත්‍රපටය පටන් ගත් මොහොතේ සිට එක දිගටම අවසන් ජවනිකාව දක්වා ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම නිර්මාණකරුවාගේ දක්ෂකමයි. 'Father' චිත්‍රපටයට ලකුණු ලැබෙන පළමුවැන්න එයයි.
චිත්‍රපටය සඳහා තෝරාගත් තේමාව අපතේ නොයවා ප්‍රවේශමෙන් පාවිච්චි කිරීම දෙවැන්නයි. යුක්තිය යනු කුමක්ද යන ප්‍රශ්නය චිත්‍රපටය පුරාම සාකච්ඡාවට ලක් කරනු ලබන්නේ ලංකාවේ ඉතා අඳුරු යුගයක අසන්නට ලැබෙන ඛේදනීය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද කතාවක් ඔස්සේය. ඇතැම් සිනමාකරුවන් කරන්නාක් මෙන් ඒ හා සම්බන්ධව විවිධ මත දරන ප්‍රේක්ෂකයන් සියල්ලම පිනවීමට නිර්මාණකරුවා උත්සාහ නොකරයි. ඔහු මේ සිදුවීම් දාමය පිළිබඳ දරන නිශ්චිත, පැහැදිලි ස්ථාවරය ඔස්සේ චිත්‍රපටය දිග හැරෙන අතර එම දෘෂ්ටිකෝණය ඔස්සේ එම කතාව කියවීමට සිනමාපටය විසින් ම යෝජනා කෙරේ.
දූෂිත රාජ්‍ය තන්ත්‍රයක් සහ ක්‍රමයක් විසින් පීඩිත භාවයට පත් වන සාමාන්‍ය පුරවැසියන් නියෝජනය කරන ඩෙස්මන්, ඒ පීඩාවට විරුද්ධව නැගී සිටින සිදුවීම් පෙළක් ලෙස චිත්‍රපටය දිග හරින සිනමාකරුවා එම දූෂිත ක්‍රමය විසින්ම ඇති කරන වාතාවරණය හමුවේ 88/89 කාලයේ දකුණේ හට ගන්නා සන්නද්ධ නැගිටීම ද වාර්ගික පීඩිතභාවය ඔස්සේ උතුරේ බිහිවන නැගිටීම ද යුක්තිය ඉල්ලා සිටීමෙහි කෝණයෙන් කල්පනා කර බැලීමේ අවකාශයක් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒම චිත්‍රපටයේ වැදගත් ප්‍රවේශයකි. සමාජ අසාධාරණය සහ පීඩනයේ ප්‍රතිපලයක් ලෙස පැන නගින ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිනමා පටය හරහා ගොඩ නැගෙන කතිකාව ඩෙස්මන්ගේ චරිතය මවන්නට නිර්මාණකරුවා විසින් යොදා ගන්නා ලද සැබෑ චරිතය පිළිබඳ පූර්ව නිගමන හෝ උපකල්පන බැහැර කර සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයෙකුට පැහැදිලිව ග්‍රහණය කර ගත හැකිය යනු මගේ කල්පනාවයි. නොඑසේ නම් එසේ කළ හැකි තැනට චිත්‍රපටය ගොඩ නගා තිබේ.
අවසානයේදී සැබෑ යුක්තිය යනු මෙය දැයි විමසීම සිනමාපටය විසින් ම ඉල්ලා සිටින අතර එහිදී අධ්‍යක්ෂවරයා මැදිහත් වීම ( ඔහු එය සිදු කරන්නේ ඔහු පාවිච්චි කරන ආකෘතිය නිසා වුවත්) ඊට කලින් චිත්‍රපටයෙහි සිදුවීම් ඔස්සේම ඉදිරිපත් වූවා නම් මෙම සිනමාපටය තිබෙනවාට වඩා ගැඹුරකට ගෙන යන්නට තිබුණු බව සිතමි.
ප්‍රධාන චරිතයට පණ පොවන පූජන දන්දෙනියගේ රගපෑම් අති විශිෂ්ට ය. ජගත් මනුවර්ණ සහ ශ්‍යාම් ප්‍රනාන්දුගේ ප්‍රතිභාව කැපී පෙනේ. අනෙක් සෙසු චරිත ද සියල්ලක් ම පාහේ ඉතා හොඳ රංගනයක යෙදෙති.
සංගීතය ගැන විශේෂයෙන් කතා කළ යුතුය. මතක ඇති කාලයක සිට බලන ලද චිත්‍රපට සියල්ලම අතරින් තේමා ගීතක් ලෙස වඩාත් ම හද බැඳ ගත්තේ මෙහි එන " පරසතු යායේ" ගීතයයි. අනෙක් ගීත සියල්ලම පාහේ ප්‍රශස්ත මට්ටමක පවතී.
සංස්කරණය ද ඉතා හොඳය. සිනමාරූපී බව අතින් ඉහළ ය. සමහර ජවනිකාවල යම් යම් දුබලතා තිබුණද එය සමස්තයට බලපෑමක් එල්ල කරන්නේ නැත.
මග නොහැර නැරඹිය යුතු චිත්‍රපටයකි. කවදා හෝ දෙවැනි වතාවටත් බලන්නට සිතා සිටිමි.
සාර්ථක කුළුදුල් නිර්මාණය වෙනුවෙන් Chaminda Jayasuriya සහෝදරයාට සුබ පතමි.!

සටහන - කත්‍යානා අමරසිංහ
(ප්‍රවීණ ලේඛිකා හා ග්‍රන්ථ පරිවර්තිකා)
(මෙම සටහන 'Kathyana Amarasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)











