-Krishantha Fedricks-
Father බලන්න වටින චිත්‍රපටයක්. එය 88-89 භීම සමයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ ස්වභාවයත් ප්‍රාදේශීය දේශපාලනය සමඟ විවාහප්‍රාප්ත චණ්ඩි සංස්කෘතියේ දේශපාලන ආර්ථිකයත් ග්‍රාමීය තාරුණ්‍යය දෙයාකාරයකට ප්‍රචණ්ඩකරණය කෙරෙන ආකාරයත් ඉන් නිරූපිතයි.
ඒ අඳුරු අත්දැකීම් සහ අන්තර්ලීන දේශපාලනය 90 දසකයේ බයිස්කෝප්වලට ආවේණික ත්‍රාසය, භීතිය සහ කුතුහලය රැගෙන එන ගමන් ම පයිට් පහයි සිංදු තුනයි ෆෝමියුලාවත් ආරක්ෂා කරගෙන ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි.
කොහොම උණත් අර බයිස්කෝපමය අද්දැකීම් නැවත මතක් කරදෙමින් හැව්ලොක් මෝල් ස්කෝප් සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබීම නිසා ගැලරියේ ඉඳගෙන උඩබලාගෙන චිත්‍රපටය නැරඹීමට සිදුවීමත් ආහ්ලාදජනක අද්දැකීමක්.
හෙට අනිද්දට හඳයගේ "සඳ දඩයම"ත් හෝල්වලට ආවා ම මේ චිත්‍රපට දෙක ඔස්සේ 2024 පටන් වෙනත් ආකාරයකින් අපේ ඇඟේ හැප්පෙන 88-89 දේශපාලනය ගැන සාධනීය සාකච්ඡාවක් මේ සිනමා කෘති දෙක ම පාදක කරගෙන ගොඩනැඟෙනු දැකීම තවත් එක් බලාපොරොත්තුවක්.

ප.ස.
සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු කාලබද්ධ චිත්‍රපටයක් වන Fatherහි කාලාවකාශය ලෙස 80-90දසක ප්‍රතිනිර්මාණය කිරීමට කලා අධ්‍යක්ෂවරයා සැලකිය යුතු වෙහෙසක් ගෙන තිබීමත් අගය කළ යුතුයි. අසෝක වීදුරු, අලියා ගිනිපෙට්ටි, සනී කාර්, ඩියුරෝ සරම් ඒ අතීතය පිළිබඳ නොස්ටැල්ජික මතක ඇවිස්සීමට සමත්. අර මයිකල් මන්ත්‍රීතුමාගේ ගෙදර මිදුලේ තියෙන ජේ. ආර්. ජයවර්ධනයේ කටවුටය ඩිජිටල් ප්‍රින්ට් එකක් නොවී හෑන්ඩ්මේඩ් එකක් උණා නම් තවත් තාත්විකයි.

සටහන - ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කලා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය)
(මෙම සටහන 'Krishantha Fedricks' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)











