ජනප්‍රිය ගායන ශිල්පී හා සංගීතවේදී සංඛ දිනෙත් පිළිබඳව අපූර්ව සටහනක් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න විසින් එක්කර තිබුණා.
ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහායි.
සංඛ දිනෙත්ගේ ගායනයන් පිළිබඳව සිය අදහස් ඇසුරින් ලියා තිබූ මේ සටහන හරහා ලක්මාල් විසින් සංඛට හෘදයාංගම යෝජනාවක් ද සිදු කර තිබුණා.
මතු දැක්වෙන්නේ එම සටහනයි.
(උපුටා ගැනීම)
"තමන්ම ලස්සන කූඩුවක් හදාගෙන ඒක තමන්ම ඇතුලෙන් ලොක්කරගෙන, එතෙන්ට එන එවුංට විතරක් පේන්න ඇහෙන්න සිංදු කියමින් ඉන්න හුදකලාම ගායකයා සංඛ දිනෙත්ද...?
පහුගිය දෙසැම්බර් මාසේ සංඛගේ "සංඛේත" ෂෝ එක බලපු දවසේ ඉඳල මට දිගටම හිතුණ දෙයක් මේක. සංඛ සහ මම ඉස්සරලාම හම්බවෙන්නේ තිසර ඉඹුලානගේ 'නිනෝ ලයිව්' චිත්‍රපටියේ මියුසික් කරගන්න 2007 වගේ දවසක අපි කළුතර සංඛලාගේ ගෙදර ගිය වෙලාවක.... එතකොට මට මතක විදියට සුපර්ස්ටාර් ඉවරවෙලා තිබුණේ... සංඛ සෑහෙන්න හිට්...

මම කොහොමත් ඔය ගායක ගායිකාවන්ට, ජනප්‍රිය චරිත වලට ටිකක් දුර හිංද මම පැත්තකින් තමයි හිටියේ... රණතිසරුන් දෙන්න තමයි කතාව කරගෙන ගියේ.... මට ලොකුවට සංඛයව සෙට් උණෙත් නෑ, ඌ මාව තඹේකටවත් ගණං ගත්තෙත් නෑ....
ආයේ අපි කතාකරන්නේ 2017 කූඹියෝ රිලීස් උණාට පස්සේ දවසක ඌ කෝල් එකක් දීලා උඹද බං අරක කලේ කියලා ඇහුවම... එතකොට සංඛ තරුවක්... ඌට මාව මතකද කියලාවත් මම හිතලා තිබ්බේ නෑ... ඔය අවුරුදු දහයක කාලේ ඇතුලත සංඛ සිංදු කිව්වත් මම ඉන්න කලාපයට ඒ සිංදු ආවේ නෑ.... ඇහුණා... හැබැයි ඇතුල්වුණේ නෑ....
හැබැයි සංඛයා ආපහු මගේ ලෝකයට කඩාගෙන ආවේ ඌ 'හිතින් යන අය' සිංදුව කිව්වට පස්සේ.
පිරිමි දෙන්නෙක් ආදරය ගැන ටෝන්ස් දෙකකින් සිංදුවක් කිව්වම ඒක ලංකාවේ මාර අත්දැකීමක්. වටින් විට මේ වගේ සිංදු ආවත් මේ සිංදුවේ ප්‍රකාශණය මාර වෙනස් එකක්...
කපුගේගේ සහ දිවුල්ගනේගේ 'රුවක් ඇදෙනවා' ගත්තොත් එතන තියෙන්නේ එකෙක් අනිකව ගොඩදාගන්න හදන මිත්‍රත්වයක්නේ. ඊටපස්සේ "පලංචියේ ලී ඉරුවේ" සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි කියන කොට තියෙන්නේ පොදුවේ එක කෙල්ලට දෙන්න ලව් කිරීමේ අර්බුදය. හැබැයි දිල්ෂාන් පතිරත්නගේ වචන එක්ක (දිල්ෂාන් කියන්නේ හැමිමණෙන්නම ලියන බේසිකයෙක් ඉතිං) 'හිතින් යන අය' සිංදුව ආවම වයස් කාංඩ දෙකක දෙන්නෙක් ආදරේ ගැන තමන්ගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක කියනවා... ඒක හෙණ සොමියක් සෙට්වුණා.
මට.... ඊටපස්සේ ආයෙම මේ ළඟදි නිම්න දෙව්පුර වීඩියෝ එක හදපු 'ලොවට හොරෙන්' සිංදුව...
මේ අතර විටින් විට සංඛයාගේ සිංදු මම ඇහුවා... ඇහුණා..... ටිකක් ගැඹුරින් ඒ ගැන හිතුවම මට හිතුණ එක තමයි ඇයි සංඛ දිනෙත්ව එක ප්‍රමාණයකට එහා ලංකාවේ ගායන ලෝකයේ හයිලයිට් නොවෙන්නේ කියන ප්‍රශ්නය. සංඛට මාර ගෝල්ඩන් කටහඬක්, කටහඬ පාලනයක්, විශාල සංගීත දැනුමක් වගේ මහ විශාල පරාසයක් තියන මිනිහෙක්. මේක කියවන ගොඩ දෙනෙක් නොදන්න සෑහෙන ජනප්‍රිය සිංදු ගොඩක් සංඛගේ තනු නිර්මාණ. එතකොට....?
මේක ගැන මම පුද්ගලිකව හිතන එක තමයි සංඛ තමන්ගේ "ගායනයේ ප්‍රකාශණය" එකම රාමුවකට හිරකරලා කියන එක. ඒ රාමුවෙන් පැනපු 'හිතින් යන අය' අපිට සැරටම දැනුනේ ඒකයි කියන එක.... ආදරය ගැන සංඛයගේ "ගායන ප්‍රකාශණය' නිතරම ඒකමිතිකයි. ඒ නිසාම නිශ්චිත ඒකට ආශා කරන ප්‍රෙක්ෂකාගාරයෙන් පිටත ඉන්න විශාල පිරිසකට සංඛයා මිස්වෙනවා... ඒ කියන්නේ ඌම රත්තරං කූඩුවක් හදාගෙන ඌම ඒක ඇතුලතින් ලොක්කරගෙන.....
මේක සංඛ නැවත සංඛ එක්කම කළයුතු සංවාදයක් කියලා මම හිතන්නේ... මොකද දැන් සංඛයා මගේ වයසේ... අපි අවුරුදු හතළිස් ගණන්වල මුල ඉන්න මිනිස්සු... දැන් මේ බබ්ල් එක කඩාගෙන ඒකෙන් එළියේ ප්‍රේක්ෂකාගාරය එක්ක ගණුදෙනු කරන්න සංඛ පටන් ගන්න ඕනේ... කූඩුවේ දොර ඇරලා එළියට එන්න ඕනේ.... එළියේ ලෝකයට ඌ ළඟට එන්න දෙන්න ඕනේ....

මොකද "සංඛේත" ෂෝ එක පුරාවටම තිබ්බේ සංඛයා තමන්ගේ ප්‍රේක්ෂකයට කොච්චර ලව්ද කියන එක. සංඛ හෙණ කුඩා හිතක් තියන අහිංසක මනුස්සයෙක්. මම හිතන්නේ ෂෝ එක පුරාවටම සිංදු පණහකට වඩානං කියන්න ඇති. එදා ආව ප්‍රේක්ෂකාගාරයට උපරිම සැපක් දෙන්න, තමන්ගේ ලව් එක උපරිම දෙන්න සංඛ වුණ මහන්සිය හිතාගන්න බැරිතරම්. සංඛට පුළුවන්නම් එක එක ප්‍රේකෂකයා වෙනුවෙන් එක සිංදුව ගානේ කියනවා මට ෂුවර්... එච්චර ලව් එකක් තමන්ගේ අසන්නා, තමන්ගේ ප්‍රේක්ෂකයා ගැන සංඛට තියෙනවා.... අවසාන හරියෙදි ෂෝ එක කරපු ෂෙහාන් අරූස් පස් පාරක් විතර ස්ටේජ් එක අයිනට ආවා මම හිතන්නේ දැන් නවත්තමු කියන්න... ලයිට් ඕෆ්කරලා ආයෙ ඔන්කරලත් සිංදුවක් කිව්වා... සංඛයා වේදිකාව උඩ සතුටෙන් උතුරමින් හිටියේ... සංඛට පුළුවන්නං ඌ එළිවෙනකල් සිංදු කියනවා මට ෂුවර්...
ඉතිං මචන්, දැන් උඹේ "ආදරය පිළිඹඳ මෘදු වේදනාවේ" ප්‍රකාශනයේ රත්තරං කූඩුවෙන් එළියට එන්න කාලය හරි. උඹේ ඔය ලස්සන කටහඬ ඒක නොඅහපු විශාල පිරිසකට අහන්න දෙන්න කාලය හරි... මේක චෝදනාවක් එක්ක ගැටගැහුණු උඹට ඉතාම ආදරේ මිනිහෙක්ගේ යෝජනාවක් මචන්...
ජය සතුට සහ ආදරය...
මීට හිතවත්
ලකා..."
(උපුටා ගැනීම අවසන්)

සටහන - ලක්මාල් ධර්මරත්න
මෙම සටහන ලක්මාල් ධර්මරත්න ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.











